ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මේ වන විට එකම එක පඹගාලකි. සාමන්‍ය ව්‍යවහාරයේ “පිස්සු හොඳම එක” ලෙස හඳුන්වන්නේ මෙයදැයි දැන් දැන් සිතේ. මන්ද යත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සියළු දෙනා කැඳවා ප්‍රකාශ කළේ ආණ්ඩුව කාබනික පොහොර ප්‍රතිපත්තියෙන් ඉවත් නොවන බව ය.
එසේ කියමින් ඔහු තවත් කරුණක් එම කතාවේ දීම කීවේ ය. එනම් ආණ්ඩුව රසායනික පොහොර ආනයනය නොකළත් පෞද්ගලික අංශයට ගෙන්වා අවශ්‍ය අයට ලබාදිය හැකි බව ය. ආණ්ඩුව නොගෙන්වුවද පෞද්ගලික අංශයට ගෙන්වීමේ හැකියාව මේ අනුව ඇතිවනු ඇත. නමුත් ඊට අදාළ ගැසට් නිවේදනයක් තවමත් නිකුත් වී නොමැත.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය කිසිවෙකුට හෝ තේරුණේ ද යන්න සැකය. ඔහුගේ එම ප්‍රකාශය හමාරවී පැය 24 ක් යන්නටත් මත්තෙන් කලින් තහනම් කර තිබූ පළිබෝධනාශක පහක් ගෙන්වීමට අවසර දෙමින් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය..එහෙත්, ඇමතිවරයා සඳහන් කර සිටියේ එමම ගැසට් නිවේදනය නීති විරෝධී බවකි. එම ගැසට්ටුව නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා මින් පෙර ද එක් සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධ නාශක ගෙන්වීමට දෙවරක්ම යෝජනා කළ බැවින් ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වෙමින් පවතින බව ද ඇමතිවරයා සඳහන් කළේය.එම නිසා ඔහු එම තනතුරින් ඉවත් කිරීමට උපදෙස් දුන් බවද ඔහු කීවේය. එසේම ග්ලයිෆොසෙට් තහනම තවමත් එලෙසින්ම ක්‍රියාත්මක බව ද ඇමතිවරයා සඳහන් කළේය. පළිබෝධනාශක රෙජිස්ටාර් ජේ.ඒ සුමිත් මාධ්‍ය වෙත කියා තිබුණේ තමන් ක්‍රියාත්මක කළේ රජයේ උපදෙස් පමණක් බව ය. එම නිසා තමන් තනතුරින් ඉවත් කළ නොහැකි බව ද ඔහු පවසා තිබිණ.
මෙලෙස ඇමතිවරයා එකක් කියද්දී රෙජිස්ටාර්වරයා තව එකක් කියයි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය “පිස්සු හොඳම එක” තත්වයට පත්ව ඇතැයි අප මුලින්ම කීවේ එබැවිනි. එසේම ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ඉදිරියේ නම නොකියා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විවේචනය කළේ ය. ඒ “ඉන්න බැරිනම් යන්න” කියා ය. මන්ද යුරියා යනු නරක පොහොරක් නොවන බවත් එය සිරුරේ ආලේප කරන ක්‍රීම්වර්ගවල ද ඇතැයි කියමින් නියමිත ප්‍රමිතියෙන් යුතු රසායනික ශාක පෝෂක ආනයනය කිරීමට කටයුතු කරන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා කළ ප්‍රකාශය ජනාධිපති වරයාට”ඇලජික් වූ”බැවිනි.
රජයේ ප්‍රතිපත්ති අනුව වැඩ නොකරන්නේ නම් පන්නා දමන බවට ජනාධිපතිවරයා කීවේ ඔහු ට ය. වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේ රජය යටතේ පත්වූ තුන් වැනියා ය. මින් පෙර සිටි ලේකම්වරුන් දෙදෙනෙක්ම රාජකාරී කළ නොහැකි බව කියමින් ඉල්ලා අස්වූහ.
මහාචාර්ය උදිත් ජයසිංහ වියත්මඟ ප්‍රමුඛ පෙලේ සාමාජිකයෙකි. එහෙත්, ජනාධිපතිවරයා අදාළ රැස්වීමේදී කීවේ ලේකම්වරයා හෝ පොහොර අධ්‍යක්ෂවරයා හෝ ඕනෑම කෙනෙක් ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තියට විරුද්ධ නම් කරන්න පුළුවන් කෙනෙකුට දී තනතුරෙන් ඉවත්ව යා යුතු බව ය.ඔහු කියූ පුළුවන් කෙනා මොන මාදිලියක අයකු දැයි අපි නොදනිමු.
“ප්‍රතිපත්තියක් වශයෙන් අපි කරන්නේ කාබනික කෘෂිකර්මාන්තය, හරිත කෘෂිකර්මාන්තය පමණයි. ඒක මතක තියා ගන්න ඕනේ ලේකම්වරුයි අනික් හැම කෙනෙක්මයි. රසායනික පොහොර එක පුද්ගලික අංශයට භාර දෙන්න. ඕන කෙනෙකුට ඕන නම් ගෙන්නලා ඒක එතකොට ගොවියට ලබා දෙන්න පුළුවන්. එතකොට “අවේලබල්” තියෙනවානේ.එතකොට කාටවත් කියන්න බෑ මේක නැහැයි කියලා. හැබැයි සහනාධාරය දෙද්දී ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට විතරයි.” මේ ජනාධිපතිවරයා සිය වචනයෙන් කියූ දේය.ඔහුගේ මේ ප්‍රකාශය කුමන පදනමකින් කළ එකක් දැයි සිතා ගන්නට අපට නම් නොපුළුවන.ඒ හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය එකම පඹගාලක පැටලෙද්දී ගොවියා තවදුරටත් අමරුවේ වැටී හමාර ය. පොහොර සමාගම් රසායනික පොහොර තහනමට පෙර ගෙන්වූ රසායනික පොහොර ඔවුන් සතුව තිබේ. මීට පෙර හොර පාරෙන් විකුණු එම පොහොර ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව තමන්ට හිතුණු මුදලකට ප්‍රසිද්ධියේ විකිණිමේ අවකාශය ද සමාගම්වලට ලබාදී තිබේ.
. ආණ්ඩුවේ මේ වියවුල නිසා රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබද බරපතල ගැටළුවක් නිර්මාණය වී හමාර ය. කෘෂිකර්ම අමාත්‍යවරයා පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස උපදෙස් දුන් බව කීව ද තවම එම ගැසට් නිවේදනය අවලංගු වී නැත. එසේම පළිබෝධනාශක රෙජිස්ටාර් ඉවත් කළ බව කීව ද අලුත් කෙනෙකු පත් කර නැති නිසා ඔහු තවමත් නිතියට අනුව රාජකාරියේ සිටියි.පළිබෝධනාශක රෙජිස්ටාර් ජේ.ඒ සුමිත් රාජකාරීමය අවභාවිතාවක් කොට නොමැති බවට ද රාජ්‍ය නිලධාරීන් අතර මතයක් ගොඩ නැඟෙමින් තිබේ.ඔවුන් පවසන්නේ රාජ්‍ය නිලධාරීන් යනු දේශපාලනඥයන්ට හිතුමතේ එහා මෙහා කළ හැකි “ඉත්තන්” නොවන බව ය.අනෙක පලිබෝධනාශක රෙජිස්ටාර් ජේ.ඒ සුමිත් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුත්තේ ද ඔහු විසින්ම ය. නැතිනම් රෙජිස්ටාර් තනතුරට වෙනත් කෙනෙකු පත් කොට ඔහු ලබා ගැසට් නිවේදනය අවලංගු කළ හැකි ය. ඒ දෙකම තවමත් සිදුව නැත.ඒ අනුව අපට පැහැදිලිව පෙනී යන්නේ වගාවන්ට යොදන පොහොර මුල් කොට මෙවන් හත් පොළේ ගා ගැනීමක් මෙරට දේශපාලන ඉතිහාසයේ කවර කලක වත් සිදුව නොමැති බවකි.ලසන්ත වීරකුලසූරිය