පොහොර ලැබෙන තුරු ඇරඹිය යුතු ජනපතිගේ “කොහොම හරි” වගා ක්‍රමය

“පිස්සන් රජ වුණත් එකයි… රජුන් පිස්සෝ වුණත් එකයි” යන හෙන්රි ජයසේනයන්ගේ “හුනු වටයේ කතාව”නාට්‍යයේ එන ගීත ඛණ්ඩය ශ්‍රී ලංකාව තුළ මේ වන විට දේශපාලන යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. ඒ “රජුන්”හෙවත් පාලකයන් ගන්නා තීන්දු තීරණවල ප්‍රතිඵල පුරවැසියන්ට භුක්ති විදින්නට සිදුව ඇති නිසාය. දැන අපි ඒ ඛේදනීය යථාර්ථය පසක් කර ගනිමින් සිටිමු.ලංකාවේ උතුරු මැද හා ඌව පළාත් වැසියන් දරුණු වකුගඩු රෝගයට ගොදුරු වන්නේ රසායනික පොහොර හා වල් නාශක නිසාවෙන් බවට “රජු”ගේ කේවට්ටයන් කටමැත දොඩවන්නට වීම මෙම ඛේදවාචකයේ මූලාරම්භයයි.

මෙහි හොඳම ප්‍රකාශය කරනු ලැබූවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය විසිනි. ඔහු කියා සිටියේ පොහොර හා කෘෂි රසායනවල තිබෙන බැර ලෝහ පසෙහි තැන්පත් වී ඒවා ජලමූලාශ්‍රවලට එකතු වන බව ය.පසුව ඒවා ජලය හරහා මිනිස් ශරීරයට ඇතුළුවන බව ද ඔහු කීවේය.

එහෙත් ,කෘෂි සහ පාංශු විශේෂඥයන් විසින් එය ප්‍රායෝගික සත්‍යයක් නොවන බව කියමින් බැහැර කළ ද එය නාථ දෙවියන් ගේ සොයා ගැනීමක් බව මහාචාර්ය චන්න ජයසුමන ද කියා සිටි බැවින් ජනාධිපතිවරයා ද ඔවුන්ගේ ප්‍රකාශය පිළිගනිමින් රසායනික පොහොර හා කෘෂි නාශක තහනම් කිරීමට පෙළඹුණි. ඇතැම් විට ගුප්තවාදී අදහස් සහිත ජනපති වරයා මිනිසුන් ගේ මතයට වඩා “දෙවියන්ගේ” මතයට ගරු කළ යුතු යැයි සිතන්නට ඇත.

මේ අන්ධභූත සිතුවිලි මත රට තුළ ක්‍රියාත්මක වන සකල විධ කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර තහනම් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටියේ 100%ක් කාබනික පොහොර මත පදනම් වූ කෘෂිකර්මයකට රට ගෙන යන බවකි. ගොවීන් කොපමණ විරෝධතා කළ ද ජනාධිපතිවරයා සිය තීන්දුව පස්සට ගත්තේ නැත.ඒ අනුව ජනාධිපති වරයා 2021 මැයි මාසයේ සිට මෙරටට රසායනික පොහොර හා කෘමි නාශක ආනයනය කිරීම තහනම් කළේය.

කාබනික පොහොර වගාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කවි ගී ලියැවෙන්නට වූයේ ඉන් පසුව ය.හෙළ රජ දවස රසායනික පොහොර තිබිණි දැයි සමහරෙක් ඇසූහ.මෙම ඔල්මොරොන්දම් මත ව්‍යාප්ත කරමින් කාබනික පොහොර ප්‍රචාරණය වෙනුවෙන් රුපියල් බිලියන 8 ක මුදලක් වෙන් කිරීමට ද රජය කටයුතු කර තිබුණි. එසේම කාබනික පොහොර නිෂ්පාදනය දිරිමත් කිරීම වෙනුවෙන් ගොවීන්ට මුදල් ගෙවන බව කීවත් අවසානයේ ප්‍රචාරණ වියදම මිසක් ගොවීන්ට ලැබුණු මුදලක් නොවීය.

මෙහි දී එවක කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අවිචාරවත් වචන හරඹයක යෙදෙමින් කියා සිටියේ පසුගිය මාස් කන්නයේ කාබනික පොහොර වගාව නිසා යම් අලාභයක් සිදුවුවහොත් එසේ අහිමි වන”හැම වී ඇටයකටම”ගොවීන්ට රජයෙන් වන්දි ලබා දෙන බවකි.එමෙන්ම කාබනික පොහොර මත මෙරට වී වගාව අතිශය සාර්ථක වන බව කී ඔහු එනිසා ඉදිරියේ දී එක”සහල් ඇටයක් වත්” පිටරටින් ගෙන ඒමට අවශ්‍ය නොවන බව ද කීය මහින්දානන්ද ඇමති වරයාගේ මේ ඇට දෙකේ කතා වලින් තහවුරු වූ එක කරුණක් තිබේ.එනම් ඔහු දේශපාලනික පුස්සෙකු බව ය.

එමෙන්ම කාබනික පොහොර වගාවේ නාමයෙන් මෙරටට ගෙන් වූ අශුචි මිශ්‍ර චීන පොහොර නැව ආපසු හරවා යැවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.7 වන්දි ගෙවීමට සිදුවීම මත මහින්දානන්ද ඇමති වරයා කියා සිටියේ එම පාඩුව පියැවෙන ලෙස නැවත චීනයෙන් ප්‍රමිතිගත කාබනික පොහොර ලැබෙන බව ය.එහෙත් ඒ කුප්‍රකට ගනුදෙනුවේ මුවාවෙන් කාගෙ කාගේත් සාක්කුවල පිරවුණු ධනස්කන්ධය හැරුණු කොට මොනම පොහොරක් වත් අප රටේ ගොවි ජනතාවට නොලැබුණි. දැන් මහින්දානන්ද ඇමති වරයාතම “කතා පෙට්ටියට”අගුළු දමා ගෙන සැඟව සිටියි.ඒ එදා මේ රටේ ගොවි ජනතාව තමන්ගේ හැඩතල සහිත පඹයන් පිච්චීම නව මුහුණු වරකින් ක්‍රියාත්මක කරනු ඇතැයි යන සාධාරණ සැකය මුල් කරගනිමිනි.

පසුගිය කන්නවල පාවිච්චියට ගෙනවිත් ඉතිරිව තිබූ යුරියා භාවිතා කරමින් ගොවීන් බහුතරයක් ඉකුත් මහ කන්නයේ වගාවන්හි නිරත වුව ද සුළුතරයකට එම අවස්ථාව ද අහිමිව ගොස් තිබුණි. එම නිසා මහ කන්නයේ අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් අඩු විය. ‍‌රසායනික පොහොර නොගෙන්වීමේ සැබෑ ප්‍රතිඵල පැමිණ ඇත්තේ මේ වන විටය. යළ කන්නයේ වගා කිරීම සඳහා ගොවීන්ට මේ වන විටත් රසායනික පොහොර නැත. එම නිසා ගොවීන්ට වගා කිරීමට හැකියාවක් නැතුවා මෙන්ම එය ඉදිරියේ ආහාර හිඟයක භයානක අනතුරක් මතු කර තිබේ.

යල කන්නයේ වගා කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. පොහොර නැති නිසා ගොවීහු අන්ත අසරණ වී හිඳිති. කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කියා සිටින්නේ පොහොර ආනයනය කිරීමට තවමත් හැකියාවක් නොමැති බව ය. ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 165,000 ක් දෙන බව කීවත් තවමත් එය දෙන දිනයක් ඔවුන් කියා නොමැති බව ය.එම නිසා මුං,කවුපී,සෝයා,කුරක්කන්,උඳු ආදී හැකි බෝගයක් වගා කරන ලෙස ඔහු ඉල්ලා සිටියි. පොහොර ප්‍රශ්නය තවත් පසෙකින් බරපතල වී ඇත්තේ රුසියා යුක්රේන යුද්ධය හේතුවෙනි. රසායනික පොහොර වැඩි වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ රුසියාව, යුක්රේනය හා බෙලරූස් රාජ්‍යයන්වල ය. එම නිසා පොහොර ආනයනය ලෝකයටම ගැටළුවක් වී තිබේ.

යුද්ධයේ අවසානය තවමත් පැහැදිලි නැති නිසා තමන් සතු පොහොර අපනයනය කිරීම අනෙකුත් රාජ්‍යයන් ද නතර කර ඇත. එම නිසා අපට තවමත් පොහොර ගෙන්වා ගැනීමට නොහැකිව තිබේ. යුද්ධය හේතුවෙන් ලෝකයම ආහාර අර්බුදයකට ද ගමන් කරමින් සිටියි. ඒ මන්ද වැඩිම තිරිඟු පිටි නිෂ්පාදනයක් සිදුවන්නේ යුක්රේනයේ බැවිනි.මේ නිසා යුරෝපය ද ආහාර අර්බුදයකට ගමන් කරමින් සිටියි. එම නිසා ඔවුන් තමන් සතු තිරිගු පිටි අපනයනය නතර කර තිබේ.

සාමාන්‍ය කාලවල දී ශ්‍රී ලංකාව සහල් මිල පාලනය කිරීම වෙනුවෙන් සහල් තොග ආනයනය කරනු ලැබිණ. නමුත් ලෝක ආහාර අර්බුදය හමුවේ සහල් ආනයනය ද දුෂ්කර වී තිබේ. සහල් නිෂ්පාදන රටවල් වන ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, පිලිපීනය හා ඉන්දුනීසියාව වැනි රාජ්‍යයන් ද සහල් අපනයනය නවතා තිබේ.

පවතින සියළු කාරණා නිසා ශ්‍රී ලංකාව උග්‍ර ආහාර අර්බුදයක් අබිමුවට පැමිණ සිටියි. මෙය බරපතල කාරණයකි. යල කන්නයේ බොහෝ ගොවීන් වගා කරනුයේ තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය වී තොග සඳහා පමණකි. එම නිසා යල කන්නයේ අස්වැන්නක් අලෙවිය සඳහා නිකුත් නොවෙනු ඇත. එයින් පීඩාවට පත් වන්නේ නාගරික ජන කොටඨාශයන්ය.ඒ අනුව මේ වසරේ අවසාන භාගය වන විට සහල් කිලෝවක් රුපියල් පන්සියයක් වේද?දහසක් වේද?යන්න තවම කාටවත්ම කිය නොහැක.

එහෙත් හොඳම කාරණය නම් සියළු අර්බුදවලට වගකිව යුතු ජනාධිපතිවරයා කෙසේ හෝ වගා කරන ලෙස ජනතාවට කියා සිටීම ය. කෙලෙසකින් හෝ පොහොර සොයා දීමට කටයුතු කරන බවත් එම නිසා කෙසේ හෝ වගා කරන ලෙසත් ඔහු කියා සිටියි. එතරම් විහිළුවක් ඉතිහාසය පුරාම දැක නොමැත. කෙසේ හෝ පොහොර සොයා දෙන්නේ කෙසේද? කියා අපහැදිලිය.

එදා ජනාධිපති වරයා කෘෂි විශේෂඥයන් කියන දේ තඹ දොයිතුවකට මායිම් නොකර උගත් මෝඩයන් වන වෛද්‍ය වරයකුගේ දෙදෙනකුගේ කීම මත පොහොර තහනම කළේ තමන්ගේ අභිමතය පරිදිය. එයට ආවඩන කෘෂිකර්ම ඇමතිවරයෙකු ද එම කාලයේ සිටියේ ය. ඊනියා කාබනික පොහොර තකතිරු ක්‍රියාව මත ජනතාව කබලෙන්ලිපට වැටුණා මිස ඔහු එදා කියු කිසිවක් අද ඉටුව නැත.

ඊයේ(01) ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට කතාකොට පොහොර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවය. නමුත් ඉන්දියාව තමන් සතු පොහොර අපනයනය කරන්නේ නැත.

ඔවුන් උත්සාහ කරන්නේ රුසියාවෙන් පොහොර මිලදී ගෙන මෙරටට ලබාදීමට ය. ඉතින් ගොවීන් කොහොම හරි වගා කරන්නේ කොහොමද? කියන පැනය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට සිදුවේ.ඵුගේ කතාව හරියට ශරීර කෘත්‍ය කිරීමට වැසිකිලියක් තනන තෙක් බලා සිටින්නට කියන්නාක් වැනිය.අප මෙම සටහන ඇරඹීම සඳහා ඉහත සඳහන් නාට්‍ය ගී ඛණ්ඩය යොදා ගත්තේ එබැවිනි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර