පෞද්ගලික බස් කොන්දොස්තර වරු මඟීන් ගසා කති

වැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව විධිමත් බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට රජය මෙතෙක් අපොහොසත් වීම මත හිතුමතේ බස් ගාස්තු අය කිරීමට ඇතැම් පෞද්ගලික බස් කොන්දොස්තර වරුන් පෙළඹී ඇතැයි මගීහු මැසිවිලි නඟති.ඒ අනුව රුපියල් දාහතරක් වන අඩුම බස් ගාස්තුව සඳහා රුපියල් විස්සක් දක්වා වන මිලක් අය කිරීමට පෙළඹී ඇති ඇතැම් පෞද්ගලික බස් කොන්දොස්තර වරුන් සෙසු බස් ගාස්තු ද සියයට විස්සක පමණ ප්‍රතිශතයකින් ඉහළ නංවා ඇති බවට මගී ජනතාව චෝදනා කරති.ඒ සම්බන්ධයෙන් එම කොන්දොස්තර වරුන්ගෙන් කරුණු විමසීමේ දී රජය මඟින් නියම කළ අලුත්ම ගාස්තුව එය බව හෝ බස් හිමියන් තමන්ට ගැනීමට නියම කළ අලුත්ම ගාස්තුව එය බව කියන බව ද ඒ අතර ඇතැම් පෞද්ගලික බස් කොන්දොස්තර වරුන් පැරණි ගාස්තුව යටතේ තව දුරටත් බස් ධාවනය කළ හොත් අඩුම තරමින් ඩීසල් වියදම වත් සොයා ගත නොහැකි බව පවසා මෙසේ මගීන් ගෙන් වැඩිපුර මුදල් ගසා කන බව ද මගීහු කියති.අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල ඉවත් කොට වෙළඳුන්ට තමන්ට හිතු හිතූ මිල ගණන් වලට භාණ්ඩ විකිණීම සඳහා රජය දුන් අවසරය තවත් අත්‍යාවශ්‍ය සේවාවක් වන ප්‍රවාහනය සම්බන්ධයෙන් ඒවා සපයන්නවුන්ටම ලබා දී පසෙකට වීම තුළින් රජය තම මූලික වගකීම වලින් පවා ඉවත් වී මහජනතාව අසරණ කොට ඇතැ‍යි මගී ජනතාව කියති.                                                                                                                                                                                                                                                                  මේ අතර ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසනුයේ ජාතික ගමනා ගමන කොමිසන් සභාව මගින් අනුමත කරන ලද නව බස් ගාස්තු සංශෝධනය අද(29) ප්‍රකාශයට පත් කෙරෙන බවය.එමෙන්ම රුපියල් දාහතරක් වන අවම බස් ගාස්තුව රුපියල් දහසය දක්වාත් සෙසු බස් ගාස්තු සියයට හතයි දශම පහේ පමණ සිට සියයට දහය දක්වා පමණක් ඉහළ නැංවීමට ඉන් යෝජනා කෙරෙනු ඇති බව රාජ්‍ය ඇමති වරයා කියයි. .එහෙත්,ඒ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන් පවසනුයේ ඉන්ධන සේම ටයර් සහ සෙසු අමතර කොටස් අලුත් වැඩියා ගාස්තු සේම සේවක පඩි නඩි ගෙවීම පිළිබඳව සලකා බලන විට වසර විස්සක් පැරැණි බස් ගාස්තු සම්බන්ධ මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීම කෙසේ වත් ප්‍රායෝගික නොවන බවකි.

කාලීන පුවත්