පෞද්ගලික වාහන ආනයන තහනම ඉවත් කිරීම කල් යයි

පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකය තවමත් ස්ථාවර නොවීම සහ ඒ සඳහා පහසුකම් සැලැසීමට ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව නොමැතිවීම යන කරුණු මත පදනම්ව එලෙස තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියකු පැවැසුවේය.

පුද්ගලික වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදල් ප්‍රමාණයක් සෑම වසරකම මෙරටින් පිටතට ගලා යනු ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ලොරි, බස් සහ ට්‍රක් රථ මෙන්ම සංචාරය ක්ෂේත්‍රය සඳහා යොදා ගන්නා වෑන් රථ වැනි වාණිජ පදනමකින් යුත් වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ලබන මස සිට ඉවත්වනු ඇති බවද ආරංචි මාර්ග පැවැසුවේය.

කාලීන පුවත්