අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමරිකාවේ සිදු කළ පුද්ගලික සංචාරයක් අතරතුර එහි මේරිලන්ඩ් විහාරස්ථානයේ දී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ විදෙස් විශ්වවිද්‍යාල රැසක් ශ්‍රී ලංකාවට රැගෙන විත්, විදෙස් රටවලට ශ්‍රී ලංකාවේ සිසුන් යාමේ දී වැය කළ යුතු විශාල ධනස්කන්ධයක් ඉතිරි කර ගැනීමට හැකි සැලැස්මක් ගොඩනගන බවය. ඔහු මේ පවසන්නේ අන් කිසිවක් නොව ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන බවය.
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම සම්බන්ධව අප අසන පළමු අවස්ථාව මෙය නොවේ. ඒ සඳහා උත්සාහ කළ සෑම අවස්ථාවක දීම එයට ඇති වූ ඉමහත් විරෝධය මත ඒ යෝජනා හකුළාගන්නට සිදු විය. බොහෝ දෙනෙකුට පෞද්ගලික විශ්වවිද්‍යාල යන මාතෘකාව පවා පවතින්නේ ‘ඇලර්ජික්‘ තත්ත්වයකය. පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව පළ කරන ප්‍රධාන අදහසක් වන්නේ ඒවායේ ප්‍රමිතියක් නොමැති බව, ඉතාමත් අඩු අධ්‍යාපන සුදුසුකම්වලින් ඒවාට ඇතුළු වී ඉහළ ලකුණු ලබා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යන පිරිසට හා සමාන අවස්ථාවන් මුදලට ලබා ගැනීමේ හැකියාව ඇති වන බව ආදිය ය. විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ සලකා බැලීමේ දී නැගෙන චෝදනාවන් වන්නේ ඉතා අඩු ලකුණු මට්ටමකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ගොස් මුදලට ලබා ගන්නා වෛද්‍ය උපාධිය කෙතරම් විශ්වසනීය ද, එයින් බිහි වන වෛද්‍යවරයාගේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත් විය හැකි ද වැනි ඒවාය.
පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹුවහොත් සැබවින්ම මෙවැන්නක් සිදුවිය හැකිද?
මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට පෙර මුලින් ම සඳහන් කළ යුත්තේ අප රටේ මේ වන විටත් මුදල් දී හැදෑරිය හැකි උපාධි පාඨමාලා පවතින බවය. මේ වන විිට අප රටේ උපාධි පිරිනමන ආයතන 51ක් පමණ පවතින අතර එය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් තිබේ. ඉතිරි සියල්ල පෞද්ගලික විශ්වවිද්‍යාලයන් ය. මේ අනුව අධ්‍යාපන අමාත්‍යවරයාගේ සැලැස්මට අනුව ඉදිරියේ දී මේවාට අමතරව තවත් බොහෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිරියේ දී ඇති වනු ඇත.
රාජ්‍ය විශ්වවිද්‍යාල අප සිතන තරමට ම ‘හොඳ’ ආයතන ද?
පාසල් සිසුවකු ශිෂ්‍යත්ව විභාගය හැරුණු විට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වශයෙන් ප්‍රධාන විභාග දෙකකට මුහුණ දෙයි. මේ විභාග සියල්ල අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඉතා ඉහළ ගුණාත්මක භාවයකින්, විනිවිද භාවයකින් සිදු වන ඒවාය. යම් යම් අවස්ථාවල දී ගැටලුකාරී තත්ත්වයත් අසන්නට ලැබුණ ද සමස්තයක් ලෙස ගහතොත් ඒ විභාග සියල්ල යහපත් ප්‍රමිතියක පවතී. උසස් පෙළ අවසන් වී විශ්වවිද්‍යාලයට ඇතුළු වන සිසුවා තවදුරටත් එවැනි විනිවිදභාවයෙන් යුක්ත විභාගයකට මුහුණ දෙන්නේ නැත. මේ විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ විශ්වවිද්‍යාලය තුළ ම, එයට අවශ්‍ය ආකාරයට ය. හිතාමතාම සිසුන් අසමත් කරවීමේ අරමුණින් ප්‍රශ්නපත්‍ර සකස් කරන අවස්ථාවන් ද ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. නමුත් එහි සත්‍යතාව අපට තහවුරු කර ගත නොහැකිය. අනෙක විශ්වවිද්‍යාල සඳහා වූ කඩඉම් ලකුණු පසු කරන්නට නොහැකි වූ, එහෙත් උපාධියක් හැදෑරීමේ සිහිනය දකින දරුවන්ට එම සිහින මල් පල ගන්වන්නට ඉඩක් නැත. කඩ ඉම් ලකුණු පසු නො කළ, එහෙත් දක්ෂතා ඇති දරුවන් බොහෝ දෙනෙක් සිය ජීවිතය එතැනින් ම අවසන් කර ගන්නා අවස්ථාවන් ද එමටය. මුදලක් වැය කොට හෝ උපාධියක් ලබාගැනීමේ හැකියාවක් තිබේ නම් එය කෙතරම් හොඳ තත්ත්වයක් ද යන සිතිවිල්ල එවිට නිතැනින්ම ඇති වේ.
සැබවින්ම පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි කඩද?
මුලින් ම අප පෞද්ගලික විශ්වවිද්‍යාලයක් යනු කුමක් ද යන්න නිර්වචනය කර ගත යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් යනු රාජ්‍ය පාලනයෙන් මිදුණු අධ්‍යාපන ආයතනයකි. කෙසේ නමුත් මේවා ලාබ ඉපයිය යුතු ආයතන ලෙස නිර්වචනය කෙරෙන්නේ නැත. ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට විශ්වවිද්‍යාලයන් වන හාවඩ්, මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනය, සැම්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය ආදිය පෞද්ගලික ඒවාය. නමුත් මේවා අතමිට මොලවා කීයක් හරි ලබා දීමෙන් උපාධි ලබා ගත හැකි ඒවා නොවේ. සුබ පතන්නන්, ආදී විද්‍යාර්ථීන් ආදීන්ගේ අරමුදල්වලින් නඩත්තු වන මේවා මනා කළමනාකාරීත්වයකින් යුක්තව පිහිටුවන ලද අධ්‍යාපන සභාවකින් පාලනය වේ. මේවා පෞද්ගලික වුව ද ලෝකයේ ඉදිරි ගමනට ලැබෙන දායකත්වය පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
අපේ රටේ තැන තැන ඇති, ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් නොමැති, උපාධි නමින් ව්‍යාජ සහතික පත් ලබාදෙන ආයතන සහ විධිමත් ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාල සමග මේවා පටලවා ගත යුතු නැත. විධිමත් ක්‍රමවේදයකට අනුව පාලනය වන පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවාගන්නේ හුදෙක්ම ඔවුන්ගේ දක්ෂතාවය මත පිහිටා පමණි. මෙහිදී සිසුවාගේ මූල්‍යමය ශක්තිය පිළිබඳ කිසිවක් සොයා බලන්නේ නැත. කැල්ටෙක්, හාවඩ් වැනි විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමෙන් පසු, එම සිසුනට අදාළ උපාධි පාඨමාලා හදාරන්නට තරම් මූල්‍ය ශක්තියක් තිබේ ද යන්න සොයා බැලේ. වියදම දරාගන්නට යම් සිසුවකට නොහැකි වුවහොත්, ඔවුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ණය පහසුකම් ලබාදීම වැනි යෝජනා ලොව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල මුලින්ම සිසුන් වෙත ලබා දේ. මෙවැනි ලොව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ සිය රට වෙනුවෙන් දක්ෂ උපාධිධාරීන් බිහිකිරීම ඒකායන අරමුණ නිසාය.
ලොව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල අප රට තුළ ඇතිකරන්නේ නම්, බොහෝ දෙනෙක් තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල යන ‘ගෝනි බිල්ලාට’ බිය විය යුතු නැත. එය ‘ඇලර්ජික්‘ කරගත යුතු නැත. විවිධ අධ්‍යාපන සංගම්, ඇතැම් දේශපාලන පක්ෂ ආදිය මගින් අප සිත් තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ ඇතිකොට ඇත්තේ වැරදි ප්‍රතිරූපයකි. නමුත් අප දූපත් මානසිකත්වයෙන් මිදී ලෝකය වෙත හැරී බැලුවහොත් ලොව පුරා පවතින සත්‍යය අවබෝධ කරගත හැකිය. එසේ හෙයින් දරුවන් දහස් ගණනකගේ ජීවිත ගමන් කරන මාර්ගය වෙනස් කළ හැකි, ශ්‍රී ලංකාවට දක්ෂයින් බිහිකර ගත හැකි දොරටු විවෘත කරගැනීමට උත්සාහ කරනවා විනා ඒවා කඩා බිඳ දැමීමට උත්සාහ කළ යුතු නැත. එවිට සිදුවන්නේ දැනටමත් සෑම අතින්ම පසුගාමී තත්ත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකාව තව තවත් වලපල්ලට ගමන් කිරීම පමණි.
නිරංජන් චාමින්ද කරුණාතිලක