නිසි වේලාවට ආහාර නොගෙන ආහාර වේල් මග හරින දරුවන්ට දෙමාපියන් ” ගැස්ට්‍රයිටිස් හදාගන්න ද ලෑස්ති වෙන්නෙ? ” යනුවෙන් දෝෂාරෝපණය කරන අන්දම ගැන ඔබටත් අත්දැකීම් තිබෙනු නිසැක ය.
ආමාශයේ දැවිල්ලක් හටගත් විට දී “ගැස්ට්රයිටිස්වත් ද දන්නෙ නෑ” යනුවෙන් ඔබ ඕනෑතරම් සැක පහළ කර තිබෙන්නට ද පුළුවන. මේ රෝගය අපේ සමාජය තුළ එපමණට ම බහුල ය.
බොහෝ දෙනෙකු මෙම රෝගය හඳුන්වන්නේ “ගැස්ට්‍රික්” ලෙසිනි. ගැස්ට්‍රික් යන්නෙහි සරල අරුත ” ආමාශයට සම්බන්ධ” යන්නයි. මෙම රෝගය ” ගැස්ට්‍රයිටිස්” වන අතර එනම් ආමාශ ප්‍රදාහය යි.
ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙකුට ඇතිවිය හැකි මෙම රෝග තත්ත්වය බහුලව දකින්නට ලැබෙන්නේ තරුණ සහ මැදිවියේ අය තුළ ය.
ගැස්ට්‍රයිටිස් රෝගය ආකාර දෙකකි.
* හදිසියේ යම් හේතුවක් මත හටගන්නා ගැස්ට්‍රයිටිස් එනම් acute gastritis
* දිගුකාලීනව පවතින ගැස්ට්‍රයිටිස් හෙවත් chronic gastritis
මේ කුමන ගැස්ට්‍රයිටිස් රෝගයේ දී වුවද බහුලව දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් තිබේ. ඒ උදරයේ නාභියට උඩ කොටසේ ඇතුළතින් දැනෙන පිච්චෙන ස්වභාවයේ දැවිල්ලයි. ඊට අමතරව සමහර අයට විස්තර කර කියන්නට අපහසු තරමේ වේදනාවක් උදරයේ දැනෙන්නට පුළුවන. බඩ පුරවා දැමීම, අඩු ප්‍රමාණයක් ආහාර ගත්තත් කුස පිරීම සහ ඒ අනුව හුස්ම ගැනීමට පවා අපහසු ගතියක් දැනීම, කුස පිරුණු විට නිතර උගුරට එන ස්වභාවය ගැස්ට්‍රයිටිස් රෝගයේ තවදුරටත් දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ වෙයි. උදරයේ දැවිල්ල ස්වභාවය බොහෝ විටම ඇතිවන්නේ නියම වෙලාවට ආහාර නොගත් විට ය. එසේ ම ආහාර ගෙන විනාඩි 15 ක් – 20 ක් වැනි කාලයක දී ත් බොහෝ විට මෙම දැවිල්ල හටගැනීමට ඉඩ ඇත.
කෑම අරුචිය, ශරීරය කෙට්ටු වීම වැනි ලක්ෂණ ද කලාතුරකින් මෙම රෝගයේදී හට ගැනීමට පුළුවන. එවැනි ලක්ෂණ වයස්ගත අයෙකුට පවතිනවා නම් එය වෙනත් රෝගයක ලක්ෂණයක් වීමට ද හැකියාව ඇති නිසා කල් නොයවාම වෛද්‍යවරයකු හමුවීම ඉතා වැදගත් ය.
ගැස්ට්‍රයිටිස් රෝගය මතුවීමට බලපාන හේතු :
මේ රෝගය දෙආකාර බව ඉහත සඳහන් කළෙමු. ඒ අනුව මේ රෝගය හටගැනීමට බලපාන සාධකද රෝගයේ ආකාර අනුව සුළු සුළු වෙනස්කම් සහිතව ඇතිවේ.
හදිසියේ හට ගන්නා ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වීමට ඇතිවීමට බලපාන හේතු :
* නිතර මත්පැන් පානය නොකළත් අවස්ථාව ලැබුණු විට (සාදයක් වැනි අවස්ථාවකදී ) අධික ලෙස මත්පැන් පානය කිරීම
* සමහර ඖෂධ වර්ග වැඩිපුර ගැනීම.( ඇස්ප්‍රීන් කාණ්ඩයට අයත් ඖෂධ සහ බෲෆන් වැනි ඖෂධ මීට උදාහරණ වේ.)
* කිසියම් හේතුවක් මත ඇතිවන තදබල මානසික ආතතියක් ( නිදසුන් වශයෙන් ලොකු සැත්කමකට මුහුණ දීමට සිදුවීම, පිළිස්සීම වැනි විවිධාකාර හදිසි අනතුරුවලට මුහුණදීමට සිදුවීම, දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන්නට සිදුවීම දැක්විය හැකිය.) මෙහිදී සිතට තදබල ආතතියක් දැනීම නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වීම මීට හේතුවයි.
* ආමාශයේ පවතින එක්තරා බැක්ටීරියා වර්ගයක් වන H. pylori වැඩිවීම
දිගුකාලීන ගැස්ට්‍රයිටිස් හටගැනීමට බලපාන සාධක :
* දිගු කලක් තිස්සේ පැවති ආහාර රටාව වෙනස් වීම
* දීර්ඝකාලීන මත්පැන් පානය
* දුම්පානය
* දිගු කලක් තිස්සේ පවතින මානසික ආතතිය
* කැෆේන් අඩංගු පාන වර්ග නිතර ගැනීම
* මත්පැන් පානය කරන අය මේදය සහිත ආහාර නිතර ගැනීම
මේ සඳහා ඉහත දැක් වූ හේතු සාධක බලපෑවද ගැස්ට්‍රයිටිස් හට ගැනීමට බලපාන ප්‍රධානම හේතුව නිසි වෙලාවට ආහාර නොගෙන ප්‍රධාන ආහාර වේල් මඟ හැරී යාමයි. දරුවකු ඝන ආහාර ගැනීමට යොමු වූ දා සිටම දිනකට තුන් වේලක් ආහාර ගැනීමට පුරුදු වෙයි. ඒ අනුව අපේ ශරීරය මේ තුන් වේල නියමිත වෙලාවකට ගැනීමට හුරු වනු ඇත. එලෙස ආහාර රටාවකට ශරීරය හුරු වූ පසු ඒ ආහාර වේල් ගැනීමට නියමිත කාලයන් හිදී ආමාශය තුළ අම්ලය එකතු වන්නේ ආහාර ආමාශයට ලැබුණු පසු එය ජීර්ණය කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහාය. කාලයක් තිස්සේ ආහාර නිසි වෙලාවට ආමාශයට නොලැබෙන විට එම අම්ල, ආමාශයේ ආහාර රහිතව ක්‍රියාකාරී වීම හේතුවෙන් සෛල ස්ථරයට හානි සිදුවේ. ආමාශ ප්‍රදාහය යනු මෙයයි.
එනිසා නියමිත වේලාවට ආහාර වේල ගැනීමට නොහැකි වන අවස්ථාවකදී ආමාශයේ අම්ලවල ක්‍රියාකාරිත්වය අඩු කිරීම සඳහා කිරි කෝප්පයක්, යෝගට් එකක්, විස්කෝතු වැනි ආහාරයක් හෝ ගත යුතුය. මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක් නම් කිසිසේත් ෂෝර්ට් ඊට්ස් නමින් හැඳින්වෙන රෝල්ස්, පේස්ට්‍රි, මාළු පාන් වැනි කෙටි කෑම නොගත යුතු බවයි. ඒවායේ මේද අම්ල වැඩි නිසා එම ආහාර ගැනීම තවත් හානිකර වනු ඇත.
තෙල් අධික ආහාර සහ මිරිස් අධික ආහාර මඟින් ගැස්ට්‍රයිටිස් හට ගන්නේ යැයි මෙතෙක් සනාථ වී නැති නමුත් ගැස්ට්‍රයිටිස් රෝගය තිබෙන අයට මේ ආහාර හිතකර නොවේ. එමගින් තවත් රෝගය වැඩි විය හැකි නිසා ය. එසේම සමහර ගැස්ට්‍රයිටිස් රෝගීන්ට දෙහි, තක්කාලි වැනි ආම්ලික ආහාර රෝගය වැඩි වීම සඳහා හේතුවෙයි. මෙය සෑම ගැස්ට්‍රයිටිස් රෝගියකුටම සිදුවන තත්ත්වයක් නොවුණත් එවැනි තත්ත්වයක් තිබෙන රෝගීන් එම ආහාරවලින් වැළකිය යුතුය.
හදිසියේ හටගන්නා ගැස්ට්‍රයිටිස් තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් සහ ඊට අදාළ හේතුව පහ වී යාමෙන් පසු කෙටි කලකින්ම එය සුව වී යයි. නමුත් ඒ ගැස්ට්‍රයිටිස් වර්ගය කෙනෙකුට නිතර නිතර හට ගැනීම සිදු වුවහොත් එය දිගුකාලීන ගැස්ට්‍රයිටිස් තත්ත්වයට පත් වීමේ අවදානමකුත් තිබෙන බව කිව යුතුය.
මේ හැරුණු විට තවත් විශේෂයෙන් කිව යුත්තක් තිබේ. විශාදය නම් මානසික ආබාධයේ එක් ලක්ෂණයක් වන්නේ උදරයේ සහ පපුවේ දැවිල්ලයි. මෙය බොහෝ දෙනෙක් ගැස්ට්‍රයිටිස් රෝගය ලෙස වරදවා වටහා ගෙන කායික රෝග වෛද්‍යවරුන් හමු වීම සුලබ තත්ත්වයකි.
ගැස්ට්‍රයිටිස් රෝගය නිර්ණය කරන්නේ රුධිර හෝ මුත්‍රා පරීක්ෂණ වැනි දේවලින් නොව රෝගියා පවසන රෝග ලක්ෂණවලිනි. සමහර අවස්ථාවලදී රෝගයේ ස්වභාවයට අනුව මුඛ මාර්ගයෙන් ආමාශයට කුඩා කැමරාවක් යවා කරනු ලබන එන්ඩොස්කොපි පරීක්ෂණය කරන්නට සිදුවේ. එහිදී රෝගියාගේ ආමාශ ස්ථරයෙන් ලබා ගන්නා කුඩා සෛල කොටසක් බයොප්සි පරීක්ෂණය සඳහා යැවීමද සිදුකරනු ඇත. රෝගයට ප්‍රතිකාර කිරීමේ දී රෝගියා අනිවාර්යෙන්ම අවදානම් සාධකවලින් ඉවත් විය යුතුය.
ඉහත කී පරිදි නිසි වේලාවට ආහාර ගැනීම ඇතුළුව මත්පැන් දුම්වැටි සහ ඉහත දැක්වූ ආකාරයේ ඖෂධ වැනි ගැස්ට්‍රයිටිස් හටගැනීමට පිටිවහලක් වන සියලු සාධකවලින් ඉවත් වීම අවශ්‍ය වේ. ආතතිය ඇතිවන දේවල්වලින් ඈත් වීමත් ඉතාමත් වැදගත් ය. එසේම නිතර කහට තේ බීමද මේ රෝගීන්ට හිතකර වන්නේ නැත.
ගැස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන් සුව කළ හැකිය. නමුත් ඉහත කී සාධක නැවත නිතර මතු වුවහොත් රෝගය යළි හට ගැනීමේ අවදානමක් තිබෙන බව ද කිව යුතු වෙයි. අනෙක සාමාන්‍ය කෙනෙකුට වඩා මේ රෝගය කලින් වැළඳී තිබූ කෙනෙකුට ඉහත කී සාධක යළි ඉස්මතු වීම තුළින් නැවත රෝගය හට ගැනීමට තිබෙන හැකියාව ද වැඩි ය.
කෙසේ වුවද ගැස්ට්‍රයිටිස් අනිවාර්යයෙන් සුව කර ගත යුතු ය. නැතහොත් ආමාශයේ අම්ල ගතිය දිගින් දිගටම දිගුකලක් පැවතීම නිසා එහි සෛලවල වෙනස්කම් ඇතිවී කලාතුරකින් පිළිකා තත්වයක් හට ගැනීමට වුව බැරිකමක් නැත. එනිසා ගැස්ට්‍රයිටිස් යනු නොතකා නොහැරිය යුතු රෝගයකි.
කායික රෝග විශේෂඥ වෛද්‍ය කේමින්ද තිලකරත්න
සැකසුම – ඉන්දු පෙරේරා