බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් පරීක්ෂක පිළිබඳ විමර්ශනයක්

පසුගිය දා දුම්රියක් තුළ කූඩයක දමා ගොස් සිටිය දී සොයාගත් බිළිඳාගේ මව බණ්ඩාරවෙල මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක‍්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමේ දී, සැකකාරියගෙන් ප‍්‍රශ්න කිරීමේ දී හා විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිළිමත් වීමකින් තොරව සැකකාර කාන්තාව අපහසුතාවයට ලක්වන ආකාරයෙන් කටයතු කර ඇතැයි බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.එහිදී ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අදාළ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සැලකිලිමත් නොවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කර තිබේ.එමෙන්ම එම කාන්තාව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අවස්ථාවේ මාධ්‍ය කරුවන් තම කාර්යාලයට කැඳවා ගෙන එම මව ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීමත් ඇතැම් මාධ්‍ය මඟින් සෙස්සන්ට හඳුනා ගත හැකි අන්දමින් ඇගේ ඡායාරූප සහ වීඩියෝ පට ප්‍රචාරය කිරීමත් සමාජයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

කාලීන පුවත්