බන්ධනාගාර තුළ සේදුම් කාරක දියර තහනම්

බන්ධනාගාර රැඳවියන්ට දෑත් සේදීමට ලබාදුන් සේදුම් කාරක දියර වෙනුවට සබන් ලබා දීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැඳවියෙකුට දෑත් පිරිසිදුකාරක දියර භාවිත කිරීමට අවසර හිමිවන බවයි.
පසුගිය දා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික සැකකරුවන් පිරිසක් දෑත් පිරිසිදු කාරක දියර පානය කර ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු මියගියේය.
අදාළ සිද්ධියෙන් අනතුරුව රැඳවියන් සඳහා දෑත් පිරිසිදුකාරක දියර භාවිතය තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ අතර දෑත් පිරිසිදු කාරක දියර පානය කිරීමෙන් මියගිය ඉරාන ජාතිකයින් දෙදෙනාගේ මෘතදේහයන් ඔවුන්ගේ ඥාතීන්ට භාරදීමට පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.සතියක් තුළ එම මෘතදේහයන් ඔවුන්ගේ ඥාතීන් ගෙන්වා භාරදීමට පියවර ගන්නා බව ඉරාන මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

කාලීන පුවත්