බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ජනාධිපති තරගයට?

ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ඔබාමාත් ඉදිරියේ දී ජනාධිපති ධුරයට පත් වෙයි ද? ඇය සම්බන්ධයෙන් මේ දිනවල එරට මාධ්‍ය තුළ පළවන තොරතුරු නිසා බොහෝ දෙනෙකු තුළ මෙවැනි කුතුහලයක් ඇතිව තිබෙන බව පෙනෙනවා.

මේ වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත යි. එය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනි දින යි. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිට නියමිතව සිටින්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනා යි. බයිඩ්න් ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ඉදිරිපත් වනු ඇති අතර ට්‍රම්ප් ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්‍ෂයෙන්. මේ වනවිට මේ දෙදෙනාගේ ජනාධිපතිවරණ ව්‍යාපාර ඉදිරියට යමින් ඇති අතර ජනාධිපතිවරණය පිලිබඳ උණුසුම කෙමෙන් ඉහළ යමින් තිබෙනවා.

කෙසේ නමුත් බයිඩ්න් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාට රටේ ඇතැම් පිරිස් මෙන්ම ඔහුගේ පක්‍ෂයේම ඇතැමුන් ද කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔහු තරගයෙන් ඉවත් විය යුතු බවටත් අදහස් මතුවෙමින් තිබෙනවා.

මෙයට හේතුව බයිඩ්න් ගේ වයස නිසා මතුව ඇති ගැටලු යි. ඔහු ගේ වයස මේ වනවිට අවුරුදු 81 ක්. ජනාධිපතිවරණයෙන් ඔහු යම්හෙයකින් ජය ගතහොත් ඊළඟ ධුර කාලයේ වැඩ බාරගන්නා විට වයස අවුරුදු 82 ක් වනු ඇති අතර එම ධුර කාලය අවසන් කරන විට අවුරුදු 86 ක් වනු ඇති.

බයිඩ්න් තවත් ධුර කාලයක් සඳහා සුදුසු කායික මානසික තත්ත්වයක නොසිටින බවයි බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙන්නේ. මෙයට සති කිහිපයකට පෙර කරන ලද ජනමත සමීක්‍ෂණයකින් ද මේ බව ප්‍රකාශ වී තිබුණා. එම සමීක්‍ෂණයට සහභාගි වූ ඇමරිකානු ඡන්දදායකයන්ගෙන් සියයට 72 කට ආසන්න සංඛ්‍යාවක් එම අදහස දරා තිබෙනු දැකිය හැකි වුණා.

බයිඩ්න්ගේ වයස සම්බන්ධ මෙම ගැටලුව වඩාත් අවධානයට ලක් වීමට පටන් ගත්තේ පසුගිය දා ඔහු සහ ට්‍රම්ප් අතර පැවැති ප්‍රසිද්ධ විවාදයකට බයිඩ්න් මුහුණ දුන් ඉතා දුර්වල ආකාරය නිසා යි. ඔහු ඉතා දුබල කටහඬකින් කතා කළ අතර ඔහු ගේ සමහර ප්‍රකාශ අපැහැදිලි සහ ව්‍යාකූල බවක් ගත්තා. වෙනත් සුදුසු අපේක්‍ෂකයකුට ඉඩ දී බයිඩ්න් ජනාධිපති තරගයෙන් ඉවත් විය යුතු බවට වඩාත් ප්‍රබල ලෙස අදහස් මතුවන්නට පටන් ගත්තේ එයින් පසුව යි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පරාජයට පත් වනු ඇති බවටත්, ට්‍රම්ප් ලොකු ජයග්‍රහණයක් ලබනු ඇති බවටත් අදහස් මතු වෙමින් තිබෙනවා.

මෙයට ටික දිනකට පෙර ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයක් දියත් වුණා. ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ දේශපාලන රැළියක් අමතමින් සිටියදී යි. වෙඩික්කාරයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහුගේ ජීවිතය බේරුණේ අනූ නවයෙන්. මෙම සිද්ධිය නිසා ට්‍රම්ප්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකියි. ඒ නිසා බයිඩ්න්ට එල්ල වන අභියෝගය තවත් දරුණු වනු ඇතැයි අපේක්‍ෂා කරන්න පිලිවන්. මෙම තත්ත්වය තුළ, තරගයෙන් ඉවත් වන ලෙස බයිඩ්න්ගෙන් කෙරෙන ඉල්ලීම් තවත් වැඩි විය හැකියි.

යම් හෙයකින් ඔහු තරගයෙන් ඉවත් වුවහොත් ඩිමොක්‍රටික් පක්‍ෂයේ ඊළඟ අපේක්‍ෂකයා කව්රුන් විය යුතු ද යන්න ගැනත් මේ දිනවල ලොකු කතාබහක් තිබෙනවා. මේ ලිපිය ආරම්භයේ පැවසු පරිදි මිෂෙල් ඔබාමා ගේ නම කරළියට ඇවිත් ඇත්තේ මෙම පසුබිම තුළ යි.

පසුගිය දා එක්තරා ප්‍රධාන පෙලේ ආයතනයක් විසින් කරන ලද තවත් ජනමත සමීක්‍ෂණයක දී අපූරු කාරණයක් ප්‍රකාශයට පත්ව තිබුණා. එනම් ඩිමොක්‍රටික් පක්‍ෂයට සම්බන්ධ පුද්ගලයන් අතරින් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කළ හැක්කේ මිෂෙල් ඔබාමාට පමණක් බවයි.

බයිඩ්න් තරගයෙන් ඉවත් වුවහොත් ඔහු වෙනුවට තරගයට ඉදිරිපත් වීමට වැඩි ඉඩක් තිබෙන්නේ මේ වනවිට උප ජනාධිපති ධුරය දරන කමලා හැරිස්. නමුත් ඇයට වුව ද ට්‍රම්ප් පරාජය කිරීමට හැකි වනු ඇත් ද යන්න සැක සහිත බවයි ඉහත සමීක්‍ෂණයෙන් පෙනී ගියේ. හැරිස් සහ ට්‍රම්ප් අතර තරගයක් ඇති වුවහොත් හැරිස්ට ඡන්දදායකයන්ගෙන් සියයට 42 කගේ සහය පළ වනු ඇති බව සමීක්‍ෂණයෙන් ප්‍රකාශ වී තිබුණා. අනෙක් අතට ට්‍රම්ප්ට සියයට 43 කගේ සහය පළ වනු ඇති බව පැවසුණා. නමුත් මිෂෙල් ඔබාමා සහ ට්‍රම්ප් අතර තරගයක් ඇති වුවහොත් එහි දී මිෂෙල්ට සියයට 50 කගේ සහය පළ වනු ඇති බවයි ප්‍රකාශ වී තිබුණේ. එවැනි තරගයක දී ට්‍රම්ප්ට සහය දෙනු ඇත්තේ සියයට 39 ක් පමණක් බවත් සමීක්‍ෂණයෙන් පැවසුණා.

ට්‍රම්ප් පරාජය කළ හැකි එකම පුද්ගලයා මිෂෙල් බව පැවසුණත් ඇය මෙම තරගයට ඉදිරිපත් වේවි ද යන්න බෙහෙවින් සැක සහිත යි. ජනාධිපති ධුරය දැරීමට තමා තුළ අදහසක් නැති බව ඇය බොහෝ අවස්ථාවල පවසා තිබෙනවා. මිෂෙල් සඳහන් කරන්නේ එය තමාට ගැලපෙන කටයුත්තක් නොවන බව යි.

“මේ රටත්, ලෝකයත් යහපත් තැනක් බවට පත් කරන්න තව හුඟක් ක්‍රම තිබෙනවා. මා දැනටත් එවැනි බොහෝ දේ කරමිනුයි ඉන්නේ. තරුණ පරපුර සමග සමීපව කටයුතු කරමින් සිටින අතර වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කිරීම සඳහා මෙරට පවුල්වලට උදව් කරමින් සිටිනවා. ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ වාඩි වී කටයුතු කිරීම මට ගැලපෙන කටයුත්තක් නොවෙයි” යනුවෙන් ද මිෂෙල් වරක් පවසා තිබුණා.

මේ වනවිට 60 වැනි වියෙහි පසුවන මිෂෙල් යම් විදියකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගතහොත් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක් වනු ඇති.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්