බරෙත්තු කැන්දා ගත් සබරගමුවේ විස්මිත මහා ලේඛකයා ජී ඇල් ආරියපාල – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

vinivida

අපේ හිතමිත්‍ර රත්නපුරේ ජී ඇල් ආරියපාලයන් ගේ නිර්මාණයක් වූ බරෙත්තු ඓතිහාසික නව කතාව මේ අවුරුද්දේ මුල වකවානුවේදී දොරට වඩින බව මුහුණු පොත හරහා දැන ගන්නට ලැබුණි.ආරියපාලයන්ගේ නිර්මාණ වල රසවත් බව පාඨකයෙකු ලෙස හදුනාගෙන සිටි මට ඔහුගේ විස්මිත පරිකල්පන ශක්තිය ප්‍රත්‍යක්ෂයෙන්ම සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලැබුණේ මා රත්නපුර දිසාපතිවරයා ලෙස සේවය කළ 2011නොවැම්බර් සිට 2015 නොවැම්බර් කාල පරිච්ඡේදයේදී ය. රත්නපුර‍යට බලපාන ප්‍රධානතම ගැටළුව කළුගඟේ ගංවතුර බව කවුරුත් දනිති අනාදිමත් කාලයක සිට රත්නපුර වාසීන්ගේ බොහෝ දේ මේ ගංවතුරට බිලි විය.මා කුඩා කලදී ,සබරගමුවේ ඉලුඹකන්දේ ඉපදුණු මගේ ආච්චි අම්මාගෙන් රත්නපුරේ වර්ෂාවේ හා ගංවතුරේ බියජනක කථා අසා ඇත්තෙමි.මගේ ආච්චි අම්මා කියා දුන් පරිදි එක් බිහිසුණු වර්ෂා සමයක ඇයගේ නිජබිම වූ ඉලුඹකන්ද ගමම විශාල නාය යාමකින් වැළලී ගොස් ඇත.කුකුලේගමට මගුල් ගෙදරක ගොස් සිටි පවුල් දෙකක සාමාජිකයින් හැර ගම්වාසීන් අන් සියල්ලෝම නිදිපැදුරේම වැළලී ගියේ යළි කිසිදා ගොඩ නොඑන්නට ය. තමන් පැවත එන්නේ ඒ ඉතිරි පවුල් දෙකෙන් බව ඇය අපට කියා දුන්නා ය.අපේ ආච්චි අම්මා කිව් අනික් ගංවතුර විස්තරය අනුව රත්නපුරේ ගංවතුර සෑම වර්ෂශයකම සිංහල අවුරුද්ද පසුවී දින හතලිස් පහකින් එන්නකි.මේ ගංවතුරින් විශාල පිරිසකට උන්හිටිතැන් අහිමි වේ.හදිසියේම එන ගංවතුරට බිලිවී ජීවිත හානිවන ජීවිත ප්‍රමාණය ද විශාල ය.එක් ගංවතුරකදී රත්නපුර රෝහල යට වී රෝගීන් ඇතමෙකු පණ බේරාගත්තේ රෝහලේ ගොඩනැගිල්ලෙ මුදුන්‍ යටලීයේ එල්ලීගෙන ය.

මේ අන්දමේ ගංවතුර සහිත රත්නපුර පැරණි නිල වාර්තා වල සටහන්ව තිබූ ගංවතුර කතා අනුව ද අපේ ආච්චි අම්මාගේ කියමන් හුදෙක් කතන්දරම නොවන බව තහවුරු කළේ ය. වරක් ගංවතුරට කොටුවූවන් බේරාගන්නට ගිය දිස්ත්‍රික් ඉංජිනේරු මහතා ගංවතුරේම බිල්ලක් වී මියගිය ශෝචනීය සිද්ධිය ඒ ඔහුගේ දිවි පූජාව වෙනුවෙන් රත්නපුර පර්ගසන් විදුහලට හැරෙන මාර්ගය ආසන්නයේ පදික වේදිකාවේ අනික් පස ඇති ස්මාරකය මගින් සනාථ වෙයි.එකල රත්නපුරය කරවූ සුදු ජාතික දිසාපති වරයා ගංවතුර අවස්ථාවක කච්චේරියේ සිට අවශ්‍ය මෙහෙයුම් කටයුතු කරමින් සිටියදී දිසාපති මැදුරේ ඔහුගේ බිරිඳ තනිව සිට ඇත.දිසාපතිවරයාට බිරිඳ සිහිවූයේ සන්ධ්‍යා භාගයේදී ය. වහා ඔරුවකින් ගොස් ඒ වන විටත් වතුරෙන් කොටුවී තිබූ නිල නිවසට ගොඩ වූ ඔහු දුටුවේ ගංවතුරට බියෙන් තනිවම හඬමින් සිටි සිය බිරිඳව ය.තමාට ගංවතුර නිසා බිරිඳ පවා සිහිපත් නොවූ බව ඔහු අවංකවම සිය රාජකාරි දිනපොතේ ලියා ඇත .එමෙන්ම අනික් ප්‍රකට කථාව රත්නපුරේ ගංවතුර බසින විට කළුතරට ගංවතුර ගලන බවට වන කථාවයි.

අප අද කථා කරන ලේඛක ජී ඇල් ආරියපාලයන් 1980 දශකය ආරම්භයේදී ස්වකීය පරිකල්පන ශක්තිය හා නිර්මාණ කෞශල්‍ය භාවිතා කරමින් නිර්මාණය කළ “ස්වයංවරය”නව කථාවෙන් ප්‍රේමයෙන් පැරදුණු පෙම්වතෙකු රත්නපුර ගංවතුර ජයගැනීමට දුන් අපූරු විසඳුමක් පිළිබඳව සඳහන් කර ඇත.රත්නපුරේ ගංංවතුරට හේතුව සිය චරිත ලවා විස්තර කරන ආරියපාලයන් රත්නපුර නගරාසන්නයේ කළු ගඟේ අතු ගංගා පහකින් එකවර කළු ගඟට එකතුවන ජල කඳ රත්නපුරේ ගංවතුරට හේතුව බව හෙලි කරයි.ආරියපාලයන් ඊට විසඳුම අත් හදා බලවන්නේ සිය ස්වයංවරයේ චරිත මගිනි.විසඳුම වනුයේ අතු ගංගා තවකාලිකව අවහිර කර ප්‍රධාන ගඟට එකතුවන ජලකඳ සීමා කිරීම ය.

මෙසේ වූ රත්නපුර ගංවතුර වැලැක්වීම පිළිබඳව සෑම වර්ෂයකම ගංවතුරෙන් පසු බලධාරීන්ගේ සාකච්ඡාවට ලක්වෙයි.ටික දිනකින් ගංවතුර අමතක කරන බලධාරීහු ඊළඟ ගංවතුරෙන් පසු යළිත් ගංවතුර වැලක්වීම සාකච්ඡාවට ගෙන එති .අප අද කථා කරන ලේඛක ජී ඇල් ආරියපාලයන් 1980 දශකය ආරම්භයේදී ස්වකීය පරිකල්පන ශක්තිය හා නිර්මාණ කෞශල්‍ය භාවිතා කරමින් නිර්මාණය කළ “ස්වයංවරය”නව කථාවෙන් ප්‍රේමයෙන් පැරදුණු පෙම්වතෙකු රත්නපුර ගංවතුර ජයගැනීමට දුන් අපූරු විසඳුමක් පිළිබඳව සඳහන් කර ඇත.රත්නපුරේ ගංංවතුරට හේතුව සිය චරිත ලවා විස්තර කරන ආරියපාලයන් රත්නපුර නගරාසන්නයේ කළු ගඟේ අතු ගංගා පහකින් එකවර කළු ගඟට එකතුවන ජල කඳ රත්නපුරේ ගංවතුරට හේතුව බව හෙලි කරයි.ආරියපාලයන් ඊට විසඳුම අත් හදා බලවන්නේ සිය ස්වයංවරයේ චරිත මගිනි.විසඳුම වනුයේ අතු ගංගා තවකාලිකව අවහිර කර ප්‍රධාන ගඟට එකතුවන ජලකඳ සීමා කිරීම ය. ස්වයංවරය නව කතාවේදී මේ අත්හදා බැලීම සාර්ථක වී එහි ප්‍රධන චරිතය ප්‍රේමයෙන් පරාජිත වුවත් වීරයකු බවට පත්වෙයි.

මේ ආරියපාලයන්ගේ “ස්වයංවරය” මට යළිත් සිහිපත් වූයේ මගේ රත්නපුර සේවාකාලයේ දී සිදු වූ රත්නපුර ගංවතුර වැලැක්වීමේ අධ්‍යයනයක් නිසාය.එම අධ්‍යයනය සිදු කළේ ජල කලමණාකරණය පිළිබඳව ලොව ප්‍රකට ජ්‍යාත්‍යන්තර සමාගමක් වූ ඊශ්‍රායෙල් සමාගමකිනි.ඒ සඳහා ඔවුන්ට ආරාධනා කලේ වාරිමාර්ග අමත්‍යංශයයි.මාස ගණනාවක් රත්නපුර ප්‍රදේශයේ විවිධ දත්ත එක්‍ රැස් කරමින් සැරිසැරූ ඉහත සමාගම විසින් රත්නපුරේ ගංවතුර මට්ටම කළුගඟේ හා අතුගංගා වල පෝෂක කලාපවල වර්ෂාපතනය කළු ගං ද්‍රෝණියේ භූවිෂමතාවය ආදී දත්ත එක්‍ රැස් කරමින් දීර්ඝ අධ්‍යනයක් සිදු කරන ලදී.අවසානයේ මේ අධ්‍යයනයේ වාර්තාව පිළිබඳව වාරිමාර්ග අමාත්‍යංශයට රත්නපුරේ දේශපාලන නියෝජිතයින්ට හා ප්‍රධාන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමරයක රැස්වීමක් සංවිධානය කෙරිණ.
එකී විද්‍යාත්මක අධ්‍යයනයේදී ඔවුන් හෙලිකර ගෙන තිබුණේ රත්නපුරේ ගංවතුර කළුතර ගංවතුරට වැඩි බලපෑමක් නොකරන බව ය.කළුතර ගංවතුරට හේතුව කුඩා ගඟේ හා මගුරුගඟේ ඇතිවන ගංවතුර තත්වයයි.ඒ ගංගා දෙකෙන් ඉහල වර්ෂාපතනයකදී ගෙන එන විශාල ජල ප්‍රමාණය නිසා කළුතර පහත් බිම් යට කරමින් කළුතරට ගංවතුර ඇතිවන බවත් රත්නපුරේ ඇතිවන ගංවතුර කළුතරට බලපැම් කිරීම වලක්වා ඇත්තේ කළුගඟේ කිරිඇල්ලේ ඇල්ල පත්තිනි දේවාලය අසල පිහිටා ඇති ඇල්ල කපොල්ල නම් වූ ස්වාභාවික පිහිටීම නිසා බවත් එකී අධ්‍යයනයෙන් විද්‍යාත්මකව තහවුරු කෙරිණි. කළු ගඟේ ඉහල අතු ගංගා පද්ධතියෙන් එකතු වෙන ජලකඳ පහලට ඉක්මනින් ගලා ඒම වලක්වා ඇත්තේ ඇල්ල කපොල්ලෙනි. කලුගඟේ ඇල්ල කපොල්ල නිසා පහලට එන ජල ප්‍රමාණය පාලනය වී ඇති බැවින් ඉහළ මිටියාවතේ පහත් බිම්වල පිටාර ජලය දින කීපයක් රඳවා ගනියි. කළු ගඟේ අතු ගංගා පහකින් ඇල්ල කපොල්ලත් දෙනවක ගං මෝයත් අතර ප්‍රදේශයට දැවැන්ත ගංවතුරක් හට ගන්නේ වර්ෂා සමයේදී අතු ගංගාවලින් කෙටිවෙලාවක් තුළ කළු ගඟට එකතු කරන විශාල ජල ප්‍රමාණය නිසා ය මේ අතු ගංගා වලට වර්ෂාවෙන් ලැබෙන ජල ප්‍රමාණය කළු ගඟට එක්වීම ප්‍රමාද කළොත් රත්නපුර ගංවතුර ප්‍රශ්නය විසඳේ.ඒ සඳහා කළුගඟේ මල්වල ප්‍රදේශයේ හා වේ ගඟේ ස්ථාන දෙකක වියලි බැමි තුනක් ඉදිකර ඒවායින් වැසි සමයේ කළු ගඟට එකතුවන ජලය දින තුන හතරක් ප්‍රමාද කිරීම එම විසඳුම වේ.ඒ සමඟ ලෝකයේ විවිධ රටවල් මේ අන්දමින් වියලි බැමි බැඳ ගංවතුර තර්ජන සාර්ථකව වලක්වා ගෙන තිබීම පිලිබඳ උදාහරණ ද පෙන්වීය.

වියලි බැම්ම යනු ගඟේ නිශ්චිත තැනක ඉදිකරන අධික වැසිවලදී ගඟට එක්වෙන වැඩි ජලය පාලනය කරන ප්‍රධාන ගඟට පිටාර ජලය එකතු කිරීම ප්‍රමාද කරන බැම්මකි .ඒ බැම්මේ පහල මට්ටමේ සකසන කපොල්ලකින් සාමාන්‍යයෙන් ගඟට දැරිය හැකි ජල ප්‍රමාණයක් පමනක් නිරන්තරයෙන් නිකුත් වේ.ඉතිරි වැඩි ජලය බැම්මෙන් ඉහල ගබඩා වී ප්‍රධන ගඟට එකතුවීම දින තුනක් හතරක් ප්‍රමාද කරයි.මේ ජ්‍යාත්‍යන්තර ජල කලමණකරණ සමාගමේ විද්‍යාත්මක විසඳුම ය. මෙය අසා සිටි මට එක්වරම සිහිපත්වූයේ රත්නපුරේ ජී එල් ආරියපාලයන් ඊට වසර තිහකට පමන එහා අතීතයේ “ස්වයංවරය” නව කතාවේ චරිත මගින් ක්‍රියාත්මක කළ විසඳුම මේ විද්‍යාත්මක විසඳුම අතර ඇති සමානත්වයයි. ජී එල් ආරියපාලයන් ප්‍රායෝගික අත්දැකීම් හා නිරීක්ෂණයන් ඇසුරෙන් ස්වකීය ස්වකීය පරිකල්පන ශක්තිය භාවිතා කරමින් සිය සාහිත්‍ය නිර්මාණය හරහා වසර තිහකට පෙර රත්නපුර වාසීන්ගේ මහා ගැටලුවට සොයා දුන් විසඳුමම ලෝකයේ දියුණු ජල කලමණාකරන සමාගමක් නූතන තාක්ෂණික මෙවලම් හා දියුණු දත්ත පද්ධති යොදා ගනිමින් පරිගණක තාක්ෂණික විශ්ලේෂණයන් මගින් සිදු කළ විද්‍යාත්මක අධ්‍යනයකින් ද සොයා ගත් විසඳුම වීම කෙතරම් විස්මය ජනකද? යන්න මට හැඟීගියේ ඒ මොහොතේ ය. මෙය හරියටම සුප්‍රකට මාදුරු ඔය ජලාශයේ සොරොව්ව ස්ථාපිත කළ යුතු නිවැරදි ස්ථානය සොයාගැනීමට කැනේඩියානු ඉංජිනේරුවන් චන්ද්‍රිකා තාක්ෂණය ද සහිතව නූතන දියුණු මිනුම් ක්‍රම යොදා ගෙන කල ගණනය කිරීම් වලින් පසුව තෝරාගත් ස්ථානය සෑරීමේ දී වසර දහස් ගණනකට ඉහත පැරණි මාදුරුඔය ජලාශයක සොරොව්වේ නටබුන් සොයා ගැනීම මෙන් විස්මය ජනක සිද්ධියකි.

කලාතුරකින් බිහිවන රාජසිංහලාව නොමග යවා වනසන අරිට්ට කිවෙංඩුලා ගැනත් අවසානයේ ඔවුන්ට අත්වන ඉරණම ගැනත් ස්වකීය බලය රැක ගැනීමට එදිරිල්ලේලාව විනාශ වෙන්නට හැර කර ඇර සිටින විමලධර්මලා ගැනත් ආරියපාලයන්ගේ “බරෙත්තු” අසුරු කිරීමෙන් දැනගත හැකි ය.බරෙත්තු හා අන් චරිත ඓතිහාසික වුවත් එම චරිත වල සර්ව කාලීන බව ආරියපාලයන් සියුම්ව අපට වෙත අවබෝධ කරවයි.

මේ කළු ගඟේ රත්නපුර ගංවතුරට විසඳුම් හෙලිකළ රැස්වීමෙන් පසුව ජී එල් ආරියපාලයන් මුණ ගැසුණු පලමු මොහොතේම මේ සිද්ධිය ඔහුට විස්තර කළෙමි.එය සාවධානව අසා සිටි ආරියපාලයන් සිය මුහුණෙන් දැක්වූ ප්‍රතිචාරය හරියටම ශ්‍රී ලාංකිකයෙකු ලෙස මියගිය ආතර් සී ක්ලාක් නම් ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා සිය විද්‍යා ප්‍රබන්ධයකින් පෙන්වා දුන් පණිවුඩ හුවමාරු චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය පසු කාලයක යථාර්තයක් බවට පත්වන බව ඇසූ අවස්ථාවේදී ඔහු දැක්වූ ප්‍රතිචාරයට සමාන වන්නට ඇති බව මට සහතිකය.
මේ විස්මිත ලේඛකයා විසින් සිය නවතම කෘතියෙන් මෙවර කරලියට කැඳවා ඇත්තේ සබරගමුවේ දනන් තුඩ පරම්පරා කීපයක් තිස්සේ රැව්දෙන ඓතිහාසික සටන්කාමී චරිතයකි. පෘතුගීසීන්ට මහා හිසරදයක් වෙමින් සබරගමු ඌව දෙපලාතේ අනසක පතුරුවාගෙන ජනතාවගේ සටනක් දියත් කළ අන්තෝනියෝ බරෙත්තු නමින් පෘතුගීසි ලේඛකයන් විසින් හදුන්වනු ලැබූ එහෙත් සබරගමු වාසීන්ට කුරුවිට රාළ නම් ඔවුන්ගේම නායකයෙකු වූ මේ චරිතයේ අනාවරණය නොවූ කොටස් ස්වකීය අසාමාන්‍ය පරිකල්පන ශක්තියෙන් ප්‍රති නිර්මාණය කරමින් ජීඇල් ආරියපාලයන් සිය”බරෙත්තු” කෘතිය එළි දක්වා ඇත “බරෙත්තු”හි. සඳහන් වන ප්‍රතිකල් කොටුවේ විසූ , අසවේදු එදිරිල්ලේ, දොන් ජුවන් ධර්මපාල, සමරකෝන් මුදලි මැනුවල් මුදලි,වැනි චරිත මෙන්ම කාංගර ආරච්චි වීරප්පුලි වෙලේ විදානේ වැනි චරිත මෙකල බොහෝ සමාජ සංස්ථාවලදී අපට මුණ ගැසෙන බවත් වර්තමානයේ අඩුවක්ව පවතින්නේ අසවේදු දොන් ජුවන් සමරකෝන්, මැනුවෙල්ලාට එරෙහි කාංගර ආරච්චිලා වීරප්පුලිලා වෙලේ විදානෙලා ඒකරාශි කරන්නටත් නොමග ගිය එදිරිල්ලේලාට නිසිමග පෙන්වන්නටත් බරෙත්තුලා නොමැතිකම බවත් පෙනෙයි. එවන් බරෙත්තුලා සාමාන්‍ය සමාජයෙන් සොයාගෙන යුගයේ කාර්‍යභාරයට යොමු කරවන කපුරු ළමා එතනීලගේ අඩුවත් බවත් ආරියපාලයන්ගේ බරෙත්තු ඇසුරු කිරීමෙන් අපට පැහැදිලි වෙයි.

කලාතුරකින් බිහිවන රාජසිංහලාව නොමග යවා වනසන අරිට්ට කිවෙංඩුලා ගැනත් අවසානයේ ඔවුන්ට අත්වන ඉරණම ගැනත් ස්වකීය බලය රැක ගැනීමට එදිරිල්ලේලාව විනාශ වෙන්නට හැර කර ඇර සිටින විමලධර්මලා ගැනත් ආරියපාලයන්ගේ “බරෙත්තු” අසුරු කිරීමෙන් දැනගත හැකි ය.බරෙත්තු හා අන් චරිත ඓතිහාසික වුවත් එම චරිත වල සර්ව කාලීන බව ආරියපාලයන් සියුම්ව අපට වෙත අවබෝධ කරවයි.අද යුගයේ කාර්‍ය භාරය වන්නේ ග්‍රාමීය සමාජයේ බරෙත්තුලා වෙන්නට හැකි අය හදුනා ගනිමින් ඔවුන්ව පරංගි බල කොටු වී ඇති නූතන සමාජ සංස්ථාවලට ඇතුළුකර ඒවා තුළ අසරණව සිටින වීරප්පුලිලාට කාංගර ආරච්චිලාට වෙලේ විදානේලාට නායකත්වය දී නොමඟ ගොස් ඇති එදිරිල්ලේලා ද නිවැරදි කරවාගෙන ඒකරාශී කරගත හැකි කපුරු ළමාතැනීලා බඳු උපායශීලි නායකයින් හඳුනා ගැනීම බව අපට පැවසීමට සබරගමු මහා ලේඛක ජීඇල් ආරියපාලයන් “බරෙත්තු” කැඳවා ගත්තේද? නිගමනය පාඨකයින්ට භාර ය.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

අරුමැසි පුවත්