බලු කූඩුවේ කම්බි කපලා බලු රාළ කෙනෙකුව හොරකම් කරලා

අතීතයේ සිටම සුනඛයාගෙන් සිදු වූ ප්‍රධානතම මෙහෙයක් වූයේ තම හාම්පුතාට ආරක්ෂාව සැළසීමය.නමුත් අද කාලයේ තාලය අනුව තමන් හදන වඩන සුනඛයන්ට ආරක්ෂාව ලබා දීම හාම්පුතුන් ගේ අතිරේක වගකීමක් බවට පත් ව තිබේ.

පසුගිය දිනක අලුයම දෙකයි තිහට පමණ සිය කැබ් රථයෙන් ගොස් නිවාක සිටි රුපියල් අසූ දහසක් පමණ වටිනා සුනඛයෙකු පැහැර ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කටියාව යාය 6 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ව්‍යාපාරිකයෙකු මේ මස 22 (අද) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් උචිත ඒකනායක මහතා පසුගිය 19දා නියෝග කොට තිබේ.

ඉපලෝගම හල්මිල්ලෑව පාර, මානෑව පදිංචිකරුවෙකු විසින් ඉපලෝගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා මෙම සැකකාර ව්‍යාපාරිකයා සහ ඔහු විසින් සොරා ගන්නා ලද බව කියන රුපියල් අසූ දහසක් පමණ වටිනා රොට්වයලර් වර්ගයේ සුනඛයා සොයා ගැනීමට ඉපලෝගම පොලීසියේ නිලධාරීන් සමත්ව තිබේ.මේ වන විට එම සුනඛයා ද පොලිස් භාරයේ පසුවෙයි.

එම පැමිණිල්ලට අනුව මීට මාස දෙකකට පමණ පෙර මෙම සැකකාර ව්‍යාපාරිකයා විසින් පැමිණිලිකරුගෙන් රුපියල් හැත්තෑ දහසක් ගෙවා වෙනත් සුනඛයෙකු මිලදී ගෙන තිබේ.

එහි දී පැමිණිලිකරු සතුව තවත් සුනඛයන් සිටින බව දැනගත් සැකකාර ව්‍යාපාරිකයා මෙම රොට්වයලර් වර්ගයේ එම සුනඛයා කෙරෙහි ආශාවක් ඇති වී ඒ සුනඛයා පැහැර ගැනීමට සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය දිනක අලුයම දෙකයි තිහට පමණ සැකකාර ව්‍යාපාරිකයා තමන්ට අයත් කැබ් රථයෙන් පැමිණිලි කරුගේ නිවසට පැමිණ ඉතා සූක්ෂමව සුනඛයා ආරක්ෂිතව තබා තිබූ කුඩුවේ කම්බි කපා මෙම සොරකම සිදු කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

එහෙත්,මෙහි විස්මයට කරුණ නම් තමන් නාඳුනන පුද්ගලයකු පැමිණ තමන් පැහැර ගෙන යන තුරු මෙම සුනඛයා අඩුම තරමින් බිරුම් හඬක් වත් නොනැගීම ය.

ඉන් පෙනී යන්නේ මෙම සුනඛයා සිය කැමැත්තෙන්ම සොරකම් කළ තැතැත්තා සමඟ රහසින් පළා ගිය බවකැයි සමහරෙක් සිනා මුසුව කියති.

දමයන්ති ගමගේ

අරුමැසි පුවත්