පසුගිය දිනෙක මහා බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් සිය රටේ ධනවතුන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කොට තිබූ අතර එම ලැයිස්තුවෙහි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මූර්තිගේ නම් ද සඳහන්ව තිබීම විශේෂ ප්‍රවෘත්තියක් බවට පත්ව තිබිණි. එයට හේතුව වී ඇත්තේ දේශපාලනඥයකුට මේ සා ධනයක් හිමිව ඇත්තේ කෙසේද යන්න සහ එය එංගලන්තයේ මහ රජුවන චාල්ස්ගේ වත්කම් ද ඉක්මවා යන තැනට පත්ව ඇති බැවිනි.
විශේෂයෙන් අපේ රටේ දේශපාලනඥයින් මුලින් ම සාමාන්‍ය පුද්ගලයන් සේ සිට එකවර ප්රකෝටිපතියන් වීම පසුපස ඇති යථාර්ථය හෙළි කර ගත නොහැකි වීම නිසා අප තුළ ද එකවර මේ කාරණය පිළිබඳ යම් කුකුසක් ඇති වෙයි. පසුගිය වසරේ දී ප්රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ 275 ස්ථානයේ සිටි මේ යුවල මේ වසරේ දී එම ලැයිස්තුවේ 245 තැනට පත්ව තිබේ. ඔවුනගේ මුළු වත්කම් ප්‍රමාණය ප්‍රමාණයේ වටිනාකම ස්ටර්ලිං පවුම් මිලියන 651 කි. අපේ දේශපාලනඥයින් අතරින් යමෙක් කෝටිපතියකු වූයේ නම් එය පසුපස ඇත්තේ විවිධ රහස් කටයුතුය. ශ්‍රී ලංකාවේ සියලු දේශපාලනඥයින්ගේ වත්කම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි කාලයක සිට ඉල්ලීම කරනු ලැබුවත් බොහෝ දෙනෙක් තවමත් එය භාර දී නොමැත. භාරදුන් බොහෝ ඒවා අඩුපාඩු සහිතය. සැබවින්ම පැවසුවහොත් අප රටෙහි දේශපාලනඥයින් ධනය උපයා ගත් ආකාරය පිළිබඳ විනිවිද භාවයක් නොමැත.
නමුත් අපට වඩා උසස් දේශපාලන සංස්කෘතියක් සහිත මහා බ්‍රිතාන්‍යය තුළ එසේ නොවේ. එහි සියලු වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ විනිවිදභාවයක් තිබිය යුතුය. එය සාමාන්‍ය පුරවැසියාට මෙන්ම අගමැතිවරයාට ද පොදුය.
මෑතක දී නිකුත් වූ මූල්‍ය වාර්තාවලට අනුව රිෂි සුනක්ට වඩා ඔහුගේ බිරිඳ වත්කම් අතින් බොහෝ ඉදිරියෙන් සිටියි. 2022/2023 වසරේ රිෂි සුනක් ස්ටර්ලිං පවුම් මිලියන 2.2ක් උපයද්දී, ඔහුගේ බිරිඳ මූර්ති ස්ටර්ලිං පවුම් මිලියන 13ක් උපයාගෙන තිබිණි. ඔහුගේ බිරිඳට ඔහුට වඩා ආදායම් උපයන්නට හැකියාව ලැබී ඇත්තේ ඇයට සිය කෝටිපති පියාගෙන් හිමි වූ Infosys නම් තොරතුරු තාක්ෂණ සමාගම නිසාය.
ඔවුන් දෙදෙනාම මේ සා ධනස්කන්ධයක් උපයන්නේ මහජන ධනය සොරාකෑම හෝ වෙනත් ජාවාරම්වලින් නොව ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරවලිනි. මහා බ්‍රිතාන්‍ය මුල් කර ගනිමින් පවත්වාගෙන යන මේ ව්‍යාපාරවල සභාපතිත්වය දරනුයේ ජී.පී. හින්දුජා ය. රටවල් 48 ක් පුරා ව්‍යාප්තව පවතින මෙය රථවාහන, තෙල් සහ විශේෂිත රසායන වර්ග, බැංකු සහ මූල්‍ය, තොරතුරු තාක්ෂණය, සයිබර් ආරක්ෂිත පද්ධති, සෞඛ්‍යය, වෙළෙඳ, යටිතල පහසුකම් සැපයීම, මාධ්‍ය සහ වින්දනාත්මක සහ දේපළ ව්‍යාපාර දැකිය හැකි වේ. රිෂි සුනක් මහා බ්‍රිතාන්‍යයේ අගමැති වන්නට පෙර මෙවැනි දැවැන්ත ව්‍යාපාර අධිරාජ්‍යයක් තුළ ක්‍රියාකාරී ව වැඩකටයුතු කළ පුද්ගලයකු විය.
මහා බ්‍රිතාන්‍ය කොටස් වෙළෙඳ පල තුළ ආධිපත්‍යය පතුරුවා සිටින එකම ඉන්දියානුවන් වන්නේ රිෂි සුනක් සහ ඔහුගේ බිරිඳ පමණක් නොවේ. තවත් ඉන්දීය ප්රකෝටිපතියන් බොහොමයකට අයත් ව්‍යාපාර කොටස් වෙළෙඳ පල තුළ වැජඹෙනු දක්නට ලැබේ.
මහා බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්ෂිකව පළ කරනු ලබන මේ ප්රකෝටිපතියන් පිළිබඳ විස්තරයේ මෙවර සඳහන් කොට තිබුණේ මෙතෙක් සිටි බ්‍රිතාන්‍ය ප්රකෝටිපතියන්ගේ යුගය මේ වන විට අවසන්ව ඇති බවය. සිය ස්වදේශික ධනවතුන්ගේ වාසනාවන්ත සමය අවසන් වී ඇති බව මේ වාර්තාව සම්පාදනය කරනු ලැබූ රොබට් වොට්ස් සඳහන් කොට ඇත්තේ වේදනාබර ස්වරුපයකිනි. මහා බ්‍රිතාන්‍යය වැඩි කලක් ගතවන්නට පෙර ඉංග්‍රීසි ජාතිකයන්ට අහිමි වී යන බවට බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් තුළ මතයක් පවතී. මේ පුවත්පත් වාර්තාව එකී මතය තවත් සනාථ කරන්නක් බවට පත්ව තිබේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක