බ්‍රසීලයේ විරෝධතාකරුවෝත් ජනාධිපති මන්දිරයට කඩා පනිති

brazil

පසුගිය වසරේ මෙරට ‘අරගලය’ දියත් වූ අවස්ථාවේ එම අරගලකරුවන් ජනාධිපති මන්දිරය, අගමැති කාර්යාලය වැනි ස්ථානවලට කඩා වැදී ඒවා අත්පත් කර ගැනීම ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් විය. එම සිද්ධියෙන් පසු තවත් රටවල් දෙක තුනකින් ද ඊට සමාන සිදුවීම් වාර්තා වූ බව ද රහසක් නොවේ. පසුගිය දා තවත් එවැනි අලුත්ම සිද්ධියක් ද තව රටකින් වාර්තා විය. ඒ බ්‍රසීලයෙනි.

පසුගිය ඉරිදා (08) බ්‍රසීලයේ විරෝධතාකරුවන් තුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පා ගමනකින් පැමිණ එරට පාර්ලිමේන්තුව හා සමාන කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ද, ජනාධිපති මන්දිරයට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ද කඩා වැදී විශාල කළබලයක් ඇති කළහ. ඔවුන් මෙම ගොඩනැගිලිවලට යම් අලාභහානි සිදු කර තිබූ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ හෝ වේවා, බ්‍රසීලයේ මෙම විරෝධතාවට පසුබිම් වූ තත්ත්වය ලංකාවේ සිදුවීමට පසුබිම් වූ තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් බව ද සඳහන් කළ යුතුය. ලංකාවේ අරගලය ක්‍රියාත්මක වූයේ ජනතා ප්‍රසාදය අහිමි වූ පාලන තන්ත්‍රයකට එරෙහිව යි. නමුත් බ්‍රසීලයේ ඉහත කී විරෝධතාකරුවන් විරෝධය දැක්වූයේ ජනප්‍රිය පාලන තන්ත්‍රයකට විරුද්ධව ය. එනම් පසුගිය දා පැවැති එරට ජනාධිපතිවරණයෙන් ජය ලැබූ සුප්‍රකට වාමාංශික නායකයකු වන ලුලා ද සිල්වාගේ පාලනයට එරෙහිව ය. එදින මෙම විරෝධතාවට එක් වූයේ එම ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් ය. බොල්සොනාරෝ සැලකෙන්නේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම්පලයේ දක්‍ෂිණාංශික නායකයකු ලෙසිනි. පසුගිය 2020 වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජයට පත් වීමෙන් පසු ඔහු ගේ ආධාරකරුවන් ද ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී යකා නැටූ අන්දම ලෝකයේම අවධානයට ලක් විය.

බ්‍රසීලයේ බොල්සොනාරෝගේ ආධාරකරුවන් ඉහත කී ආකාරයෙන් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ඇතුළු ස්ථානවලට කඩා වැදුණේ බොල්සොනාරෝ මෙන්ම ඔවුන් ද ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය නොපිලිගන්නා නිසා ය. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ ජයග්‍රහණය සොරකම් කරන ලද බවකි. මෙම විරෝධතාකරුවන්ගෙන් ඇතැමුන් පවසන්නේ බ්‍රසීලයේ ආරක්‍ෂක අංශ මැදිහත්ව නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවය. හිටපු ජනාධිපතිවරයා කලක් එරට හමුදාවේ සේවය කළ නිලධාරියකු නිසා ආරක්‍ෂක අංශවල සහය තමුන්ට ලැබෙනු ඇතැයි විරෝධතාකරුවන් කල්පනා කරනවා විය හැකිය. ඔවුන්ගේ විරෝධතාව පැවැති අවස්ථාව් එම විරෝධතාව පාලනය කිරීමට ආරක්‍ෂක අංශ මුල දී එතරම් උනන්දුවක් දක්වා නැති බවට ද චෝදනා එල්ල වී තිබෙනු දැකිය හැකි විය. මේ අනුව පෙනී යන්නේ නව ජනාධිපති ලුලා ද සිල්වාගේ පාලනයට යම් තරජනයක් එල්ල වී ඇති බවයි. ඔහු ධුරයේ වැඩ භාරගෙන තවමත් ගතව ඇත්තේ දින කිහිපයක් පමණි. එරට ජනාධිපතිවරණය අවසන් වූයේ පසුගිය වසරේ ඔක්තෝබරයේ වුවත් ලුලා ද සිල්වා ධුරයෙහි දිවුරුම් දුන්නේ ජනවාරි 01 වැනිදා ය.

හිටපු ජනාධිපති බොල්සොනාරෝ මෙම දිව්රුම් දීමේ උත්සවයට සහභාගි නොවීම ද කැපී පෙනුණු සිද්ධියක් විය. නව ජනාධිපතිවරයකු දිව්රුම් දීමේ උත්සවයේ දී හිටපු ජනාධිපතිවරයා ඔහුට හෝ ඇයට උරහිස් පළඳනාවක් පැළඳවීම එරට සම්ප්‍රදායකි. බොල්සොනාරෝ උත්සවයට සහභාගි නොවීම නිසා මෙවර එම චාරිත්‍රය ද ඉටු කෙරුණේ නැත. මෙම උත්සවයට දින කිහිපයකට පෙර බොල්සොනාරෝ ඇමරිකාව බලා ගොස් තිබිණි. ඔහු මේ වනවිට ඇමරිකාවේ ෆ්ලොරිඩා හි රැඳී සිටින බව වාර්තා වේ. එහි දී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බවක් ද බොල්සොනාරෝගේ බිරිඳ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

බොල්සොනාරෝ ඇමරිකාවේ රැඳී සිටීම ගැන එරට ඇතැම් පාර්ශ්වවලින් විරෝධයක් පළ වෙමින් තිබේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්‍ෂයේ මන්ත්‍රීවරු ද ඒ අතර සිටිති. මේ නිසා ජනාධිපතිවරයා යම් පීඩනයකට හසුව සිටින බව ද වාර්තා වේ. ඩිමොක්‍රටික් පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වන ජෝකීන් කස්ත්‍රෝ පවසන්නේ බොල්සොනාරෝ වහාම නැවත බ්‍රසීලය වෙත යැවිය යුතු බවයි. ‘බොල්සොනාරෝ ෆ්ලොරිඩාවේ රැඳී සිටිය යුතු නැහැ. බ්‍රසීලය තුළ ත්‍රස්තවාදයකට මග පෑදූ මෙවැනි ඒකාධිපතියකුට ඇමරිකාව තුළ රැකවරණක් ලබා නොදිය යුතුයි’ මන්ත්‍රීවරයා පවසා තිබිණි. කෙසේ හෝ වේවා, බොල්සොනාරෝ ටිව්ටර් පණිවුඩයක් සටහන් කරමින් පවසා තිබුණේ ඉරිදා විරෝධතාකරුවන් හැසිරුණු ආකාරය තමා හෙලා දකින බවයි.

මේ අතර රටවල් රැසක නායකයන් ලුලා ද සිල්වාට සහය පළ කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනු ද දැකිය හැකි විය.

රජයේ ගොඩනැගිලිවලට කඩා පැන අලාභහානි කළ කළහකාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ලුලා ද සිල්වා ද පවසා තිබේ. මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ වාර්තාවලින් පැවසුණේ 1,500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර ලුලා ද සිල්වාට සහය පළ කරන පිරිස් ද දස දහස් ගණනින් වීදි බැස කලින් පැවැති විරෝධතාවට විරෝධය දැක්වීමට කටයුතු කර තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර