බ්‍රිතාන්‍යයේ නව අගමැති රිෂි සුනක් එරට ඉහළම ධනපතියෙක්

risi

බ්‍රිතාන්‍යය කලක් ඉන්දියාව යටත් කර ගෙන සිටියේය. දැන් ඉන්දීය සම්භවයක් සහිත අගමැතිවරයකු එරට බලයට පත්ව සිටියි. ඒ පසුගිය 25 වැනි දින අගමැති ධුරයට පත් රිෂි සුනක් ය.

සුනාක් එක්සත් රාජධානියේ අගමැතිකමට පත් වූයේ කලින් එම ධුරය දැරූ ලිස් ට්‍රස් ඉන් ඉල්ලා අස්වීම නිසාය. ලිස් ට්‍රස් එරට අඩුම කාලයක් අගමැති ධුරය දැරූ නායිකාව ලෙස ද ඉතිහාසගත වූවාය. ඇයට එම ධුරය දැරීමට හැකි වූයේ දින 45 ක කාලයක් පමණි.

ඇයගෙන් පසු එම ධුරයට පත්ව සිටින සුනක් මෙම වසර තුළ එක්සත් රාජධානිය පාලනය කරන තුන්වැනි අගමැතිවරයා වීම ද විශේෂත්වයකි. සැප්තැම්බර් 6 වැනි දින ලිස් ට්‍රස් බලයට පැමිණියේ ඊට කලින් අගමැතිකම දැරූ බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීම නිසාය. මේ තරම් ඉක්මනින් අගමැතිවරුන් මාරු වීම තුළින් පිලිබිඹු වන්නේ මේ වනවිට එරට දේශපාලන, ආර්ථික ක්‍ෂේත්‍ර තුළ ඔඩු දුවමින් ඇති අර්බුදයයි.

 රිෂි සුනක් අගමැති ධුරයට පත් වූයේ වාර්තා කිහිපයක් පිහිටුවමිනි. එරට එම ධුරයට පත් පළමු ආසියානු සම්භවයක් ඇති පුද්ගලයා ඔහු ය. එමෙන්ම වසර 200 කින් මෙපිට අගමැතිකමට පත් වූ ලාබාලම තැනැත්තා ද සුනක් ය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 42 කි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට පටන්ගෙන තවමත් ගතව ඇත්තේ වසර 7 ක් පමණක් වීම ද විශේෂත්වයකි. සුනක් මුල් වරට මන්ත්‍රීවරයකු ලෙස පත් වූයේ 2015 වසරේ යි.

සුනක් ඉන්දීය සම්භවයක් සහිත කෙනෙකු වන අතර හින්දු ආගමිකයකු ද වේ. ඔහු මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වූ අවස්ථාවේ දිවුරුම් දී තිබුණේ භගවත් ගීතාව මත අත තබා ය. ඔහුගේ පියාගේ මව්පියෝ මෙන්ම මවගේ මව්පියෝ ද ඉන්දියාවේ උපන් අය වූහ. ඒ, බි්‍රතාන්‍යයන් ඉන්දියාව පාලනය කළ කාලයේ ය. පසුව එම සීයලා සහ ආච්චිලා අප්‍රිකාවට සංක්‍රමණය වී තිබිණි. සුනක්ගේ මව්පියන් උපත ලබා තිබුණේ අප්‍රිකාවේදී ය. පසුව මෙම පවුල් නවසිය හැටේ දශකයේ දී එක්සත් රාජධානියට සංක්‍රමණය වූ බව සඳහන් වේ. රිෂි සුනක් උපත ලබා තිබුණේ 1980 වසරේ යි. ඒ බි්‍රතාන්‍යයේ සවුත්හැම්ප්ටන් නගරයේ දී යි.

සුනක් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ සිටින ධනවත්ම මන්ත්‍රීවරයකු ලෙස ද සැලකිණි. ඔහු විවාහ වී සිටින්නේ ඉන්දියාවේ බිලියනපති ව්‍යාපාරිකයකු වන නාරායන මූර්ති ගේ දියණිය අක්‍ෂතා මූර්ති සමගයි. ඇය ද ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙකි. රිෂි සුනක් ද දේශපාලනයට පිවිසීමට පෙර මූල්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළ රැකියාවන් කළ අයෙකු විය. රිෂි සහ අක්‍ෂතා දෙදෙනාගේ සමස්ත වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 730 ක් පමණ වන බව සඳහන් වේ. එය ලංකා රුපියල් බිලියන 300 කට ආසන්න වන්නකි. ඔවුන් දෙදෙනා මේ වනවිට දියණියන් දෙදෙනකුගේ මව්පියන් ය.

leesරිෂි සුනක් අගමැති ධුරයට පත් වූයේ එක්සත් රාජධානිය මෙන්ම ඔහු අයත් වන කොන්සර්වේටිව් පක්‍ෂය ද අර්බුද රැසකට මුහුණ දී ව්‍යාකූලව පවතින පසුබිමක් යටතේ ය. එක්සත් රාජධානියේ ආර්ථිකය මේ වනවිට ගැටලු ගණනාවකට මුහුණ දී සිටින අතර ඉදිරියට යමින් ඇති යුක්රේන යුද්ධය ද ඊට විශාල වශයෙන් බලපා තිබේ. රටේ ජීවන වියදම වැඩි වීම නිසා ජනතාව දිවි ගෙවන්නේ විශාල පීඩනයකිනි. මේ නිසා කොන්සර්වේටිව් පක්‍ෂය ද ජනතාව අතර අප්‍රසාදයට පත් වෙමින් තිබේ. මේ බව පසුගිය දිනවල පවත්වන ලද ජනමත සමීක්‍ෂණවලින් ද අනාවරණය වී තිබිණි. එරට විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වන කම්කරු පක්‍ෂය ජනප්‍රියත්වය අතින් මේ වනවිට කොන්සර්වේටිව් පක්‍ෂයට වඩා ඉදිරියෙන් සිටින බව ද මෙම සමීක්‍ෂණවලින් හෙලි වී ඇත. මේ නිසා කම්කරු පක්‍ෂ නායකයෝ ඉක්මනින් මහා මැතිවරණයක් ලබා ගැනීම සඳහා සටන් කරමින් සිටිති.

පසුගිය දා කොන්සර්වේටිව් පක්‍ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු එහි මන්ත්‍රීවරුන් අමතමින් සුනක් පැවසුවේ පක්‍ෂය සිය පැවැත්ම පිලිබඳ විශාල තර්ජනයකට මුහුණ දී සිටින බවයි. රටත්, පක්‍ෂයත් ගොඩ ගැනීම සඳහා බෙදීම් අමතක කර සමගි සම්පන්නව කටයුතු කිරීම අතිශයින් වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය තුළ සුනක් හමුවේ ඇති අභියෝග සුළුපටු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. දැන් කව්රුත් බලා සිටින්නේ මෙම අභියෝග ජය ගැනීමට ඔහු සමත් වේවි ද, නැතහොත් ලිස් ට්‍රස් මෙන්ම තවත් අසාර්ථක නායකයකු ලෙස ඉතිහාසයට එක් වේවි ද කියාය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර