තමන් නිවසින් පිටතට යන සෑම අවස්ථාවකම තමන් අන් කතුන් හා ලිංගික සබඳතා පැවැත්වීමට යන බවට තම බිරිඳ අභූත චෝදනා නැගීම මත එක්තරා සැමියකු විසින් කරන ලද අසාමාන්‍ය ක්‍රියාවක් පිළිබඳව පසුගිය දිනයෙක ජනමාධ්‍ය මගින් අනාවරණය කරන ලදී. එනම්, ඔහු එසේ සිය බිරිඳගේ අභූත චෝදනාවට ලක් වූ අවස්ථාවක තම නිවසේ තිබූ පිහියකින් තම පුරුෂ ලිංගය කපා බිරිඳ අතට දීමට තැත් කිරීමේදී දරුණු ලෙස තුවාල සිදුවීමෙන් ඔහුට රෝහල් ගත වීමට සිදු වීම ය.
මෙවැනි සිදුවීම් මනෝ විද්‍යාත්මක සහ මනෝ වෛද්‍ය විද්‍යාත්මක විවරණයන් දෙකක් ඉදිරිපත් කළ හැක. එනම් එම ක්‍රියාව සිදු කළ පුද්ගලයා තමන් තුළ පැවැති පාලනය කර ගත නොකැකි වෛරය, ද්වේෂය ආදී සාධක මුල් කොට තමන් ජීවිතයට පවා තර්ජනයක් වන ස්වයං අනතුරු කෙරෙහි යොමු වීම ය. ද්වි අග්‍ර රෝගය (Bypolar disorder ) ආදී භාව විෂමතා මුල් කොට ගත් සයිකෝසීය රෝග මුල් කොට අසීමාන්තික ලෙස කෝපය ඉහළ නැංවීම් හේතුවෙන් සමහරෙක් මෙසේ කරති.නොඑසේ නම් සිතුවිලි දාමයන් භින්න වීම මුල් කොට ගත් භින්නෝන්මාදය (Schizophrenia ) වැනි මානසික ආබාධ මුල් කොට ද යමකු මෙවන් අනර්ථකාරී ක්‍රියාවකට පෙළඹිය හැක.
එහෙත්, මෙසේ මානසික සෞඛ්‍යමය අර්බුදයන් ගෙන් තොරව යමකු එවැනි ස්වයං ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට යොමු වීමට ඉවහල් වන වෙනත් සාධක ද තිබිය හැක. එනම් අප සාමාන්‍ය ව්‍යවහාරයේ දී “ඉවසීමේ සීමාව “යනුවෙන් හැඳින්වෙන තත්වය ඉක්මවා යාමෙනි.
කිසියම් පුද්ගලයකුට මානසික වශයෙන් දරා ගැනීමට අපහසු දරුණු ප්රතිරෝධතා එල්ල වනුයේ නම් ඒ තැනැත්තා ගේ සිතේ එසේ ප්රතිරෝධතා එල්ල කරන පුද්ගලයා, පිරිස,හෝ සමාජමය බලවේගය සම්බන්ධ ක්‍රෝධයක්, වෛරයක් ඇති වීමේ ස්වභාවික අවකාශයක් හට ගනී. ඒ අනුව නිරන්තරයෙන් එල්ල වන ඒ ප්‍රතිරෝධය හමුවේ ඊට සමාන්තර ලෙස කුළු ගැන්වෙන එම ක්‍රෝධය, වෛරය ආදී අයහපත් මානසික ආවේග යම් පුද්ගලයකු අපරාධ වලට පෙළඹීම සඳහා යොමු කෙරෙන අවස්ථා ද තිබේ. ලොව පුරා සිදුවන අනේක විධ අපරාධ වලින් සැළකිය යුතු කොටසකට මෙම මානසික සාධකය ඉවහල් වන බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන හැදෑරීම් වලින් අනාවරණය වී තිබේ. මෙය සායනික වශයෙන් නිර්වචනය කළ නොහැකි තත්වයක් වුවද ඒ ඒ පුද්ගලයාගේ මානසිකත්වය සහ පෞරුෂය මත රඳා පවතී.
ඉහත සඳහන් සැමියා එලෙස තම ජීවිතයට පවා දැඩි අන්තරායක් පමුණුවන එවන් ස්වයං ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට යොමු වන ලද්දේ කවර නම් හේතු සාධක පදනම් ව දැයි ඒ සම්බන්ධ මනෝ විද්‍යාත්මක විමර්ශනයකින් තොරව නිවැරදි ලෙස පැවැසීමට නොපුළුවන. එහෙත්, තම සහකරු හෝ සහකාරිය තමන් සම්බන්ධයෙන් පළ කරන අනිසි සැකය මුල් කොට සිදු කෙරෙන සාපරාධී ක්‍රියා ලොව සෑම සමාජයකින්ම සුලබව වාර්තා වෙයි. ලිංගිකත්වය යනු මිනිස් තිරිසන් සැමට එක සේ පොදු ස්වභාවික සත්ව ආවේගයකි.එනිසා එම ලිංගිකත්වය මුල් කොට මිනිසුන් සේම සතුන් අතරේ ද නොයෙකුත් ගැටුම් පැවැතීම ස්වභාවික ය. ඒ සඳහා වන ආසන්නම නිදසුන වනුයේ මිනිස් වාසයන් ආශ්‍රිතව ජීවත් වන සුනඛයන් අතර සිදුවන ගැටුම් දැක්විය හැක. එම සතුන් සෑම විටෙකම ගැටුම් ඇති කරගැනීමට කරුණු තුනක් මුල් වෙයි. එනම් ආහාර, වාසභූමිය සහ ලිංගිකත්වය යන හේතුන් ය. ඒ අතුරින් සුනඛකාදී පිරිමි සතුන් අතර ගැටුම් ඇති වන ප්‍රධානතම හේතුව වනුයේ ලිංගිකත්වයයි. මෙය තවත් සතුන් බොහොමයකට එක සේ පොදු ස්වභාවික නියාමයකි.
කාන්තාවන් සහ පුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි ආකර්ශනය වීම ජෛවමය සංසිද්ධියකි. එහෙත්, සතුන් අතර නොමැති මිනිසුන්ට පමණක් ආවේණික ශිෂ්ටාචාරය නම් වන සමාජ සාධකය මුල් කොට කාන්තාවන් සහ පිරිමින් යුගල වශයෙන් වෙන් කරන සංසිද්ධියක් තිබේ. එනම් විවාහයයි. නීතිමය සමාජමය හා සදාචාරාත්මක බන්ධනයක් වන විවාහයේ දී ඔවු`නොවුන් පොදු සමාජයෙන් වියුක්ත පවුල නම් වන වෙනම සමාජ ඒකකයක් වශයෙන් ස්ථාපිත විය යුතු බවට නියමයක්; සම්මතයක් තිබේ.එලෙස නීතිමය සහ සමාජමය පසුබිමක් නොමැති සාමාන්‍ය හෝ අනියම් පෙම්වතුන් පෙම්වතියන් අතරේ තම තමන් එකි’නෙකා ගෙන් බැහැර නොවී යුවලක් වශයෙන් එක්ව කටයුතු කළ යුතුය යන එකඟතාව සම්මතය පවතින බව පෙනෙයි. මෙය ද හුදෙක් ඉහත සඳහන් එකිනෙකා කෙරෙහි පවත්නා ලිංගික ආකර්ශනය මත පදනම් වන්නකි.
ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සමයි
බිඳුණු දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරයයි
යනුවෙන් මෑත භාගයේ අප රටේ පහළ වූ සුවිශිෂ්ට ගීත රචකයකු වන ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන් විසින් ලියන ලද ඒ ගී පද ඛන්ඩය ඉහත සඳහන් මනෝමය සංසිද්ධිය පිළිබඳ ඉතා අපූරු සරල කියැවීමකි.ඒ අනුව විවාහයකින් සේම ප්‍රේමයකින් අනො`න්‍ය වශයෙන් බැඳෙන යුවලක් තම සහකරු හෝ සහකාරිය බාහිර සබැඳියාවකින් තොරව හුදෙක් තමන් වෙතම නතු කරගැනීම සම්බන්ධයෙන් නිරතුරු සැළකිල්ලකින්; අවධානයකින් පසුවන බව රහසක් නොවේ. එමෙන්ම කලක් ඇවෑමෙන් එම විවාහය හෝ ප්‍රේම සම්බන්ධතාව ස්ථාවර තත්වයට පත් වූ පසු ඔවු’නොවුන් කෙරෙහි ඇති කර ගන්නා අනොන්‍ය විශ්වාසය මුල් කොට එම තීව්ර අවධානය යම් පමණකට අඩු කර ගන්නා බව ද පෙනෙයි. විශේෂයෙන් තරුණ විය ඉක්මවා, එළැඹෙන වයස අවුරුදු හතලිහ, පනහ, හැට ආදී දශක වල දී සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් ස්ථාපිත කර ගන්නා විශ්වාසය පෙරදැරිව “එයා නම් කවදාවත් එහෙම දේකට පෙළඹෙන්නේ නැහැ” යන ආකල්පය දරා ගැනීම බොහෝ සහකරුවන් සහකාරියන් තුළ පවත්නා සාමාන්‍ය ස්වභාවයකි.
එහෙත් අප මෙහි දී විමසුමට ලක් කරනුයේ එම ස්වභාවික සංසිද්ධිය නොවේ. ඊට පරිබාහිරව තම සහකරු හෝ සහකාරිය පිළිබඳව නිරන්තර වශයෙන් සැක උපදවා ගන්නා සහකරුවන් හා සහකාරියන් පිළිබඳව ය.මෙලෙස තම සහකරු හෝ සහකාරිය පිළිබඳව නිරන්තර සැක උපදවා ගන්නා පාර්ශව දෙකකි. ඉන් පළමු වැන්න තම විවාහක සහකරු ගේ හෝ සහකාරියගේ අනාචාර සම්බන්ධයක් හෝ පෙම්වතා ගේ හෝ පෙම්වතිය ගේ වෙනයම් සම්බන්ධයක් පිළිබඳව අත්දැකීම් මගින් නිශ්චිතව කරුණු අනාවරණය කරගත් පිරිස ය. සෙසු පිරිස වනුයේ ඒ සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් හෝ හේතු සාධක පදනමකින් තොරව තම සැමියා, බිරිඳ, පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳව නිරන්තරයෙන් අනිසි සැක උපදවා ගන්නා කොටස ය.තම සහකරු හෝ සහකාරිය සම්බන්ධ මෙලෙස අනිසි සැක උපදවා ගැනීම ලොව පුරා සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන ප්‍රකට නමක් තිබේ. එනම් ඔතොලෝ සහලක්ෂණය ( Othello syndrome) යන්න ය. ලෝක පූජිත නාට්‍යකරු විලියම් ශේක්ෂ්පියර් ගේ ඔතෙලෝ නාටකයේ එන ඔතොලෝ නම් යුද සෙන්පතියා තම බිරිඳ වන ඩෙස්ටමෝනා නම් සුරූපිනිය පිළිබඳව ඇති කර ගන්නා සැකයක් මත නිදි යහනේ දී ඇය ඝාතනය කිරීමේ සිදුවීම මීට පාදක වී තිබේ.
තම සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් අනිසි සැක උපදවා ගන්නා සමහරකු ඒ කෙරෙහි යොමු වනුයේ සිත තුළ පවත්නා යම් තැවීමක්, දෙගිඩියාවක් ද සමඟිනි.“මෙයා නම් එහෙම නැතුව ඇති; ඒ වුණත් ඉතින් ….” යන සිතුවිලි පෙරදැරි කර ගෙන ඔව්හු එසේ තම සහකරු සහකාරිය සැක කරති. එය ප්‍රධාන හෙවත් සයිකෝසීය මානසික රෝග ගණයට අයත් නොවන ග්‍රස්ති ගණයේ මානසික අර්බුදයක් වන Obsessive compulsive disorder වශයෙන් හඳුනා ගත හැක.
ඊට අමතරව බොහෝ විට වියපත් බවත් සමඟ ඇති වන චිත්ත වික්ෂේපය හෙවත් ‘ඩිමෙන්ෂියාව’(Dementia) මුල් කොට ඇතිවන ආත්ම විශ්වාසය බිඳ වැටීමේ ලක්ෂණයක් ලෙස ද ඇතැමුන් තුළ මෙම සහකරු හෝ සහකාරිය අනිසි ලෙස සැක කිරීමේ තත්වය ඇති විය හැක. තමන් ජීවත් වන පරිසරය තමන්ට නිවැරදි ලෙස ග්‍රහණය නොවන බැවින් තම සහකරු හෝ සහකාරිය වෙන’තක් බලා ගනු ඇතැයි යන නිශේධනීය සිතුවිල්ල මොවුන් තුළ පහළ වීමට අවකාශ තිබේ. එවන් අවස්ථාවල තම සහකරු හෝ සහකාරිය තමන් ආසන්යේම රඳවා තබා ගැනීමට මොවුන් ගෙන් සමහරෙක් උත්සාහ කරති.
මේ හැරුණු කොට මෝහාබාධ (Delusional disorder ) නමින් හැඳින්වෙන සයිකෝසීය චිත්තාවේගීය සංකීර්ණත්වයන් යටතේ ද සහකරු හෝ සහකාරි පිළිබඳ සැක උපදවා ගන්නා තත්වයක් ද නිරීක්ෂණය වන අතර මෙය සායනික වශයෙන් පැහැදිලි රෝග විනිශ්චයකට ලක් කළ හැක්කකි.සැබෑ අරුතින් ඔතෙලෝ සහලක්ෂණය යනු එයයි. ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්නායක වලට අනුව ICD 10-F 22යන කේත අංකයෙන් හඳුන්වන මෙම මෝහාබාධ විවිධ ස්වරූපයන් ගෙන් එළි දැක්වෙන මානසික රෝග ඛාන්ඩයකි. ව්යාථමය ඊර්ශ්‍යාව (Pathological jealousy ) නමින් ද මෙය හඳුන්වනු ලැබේ.. මෙම මෝහාබාධ හට ගැනීමට නිශ්චිත හේතුවක් මේ තාක් අනාවරණය නොවන අතර මෙය ජානමය සහ ඓන්ද්‍රීය සේම මොළයේ ජෛව රසායනික සහ විද්්‍යුත් බලපෑම් මත හටගත හැකි රෝග තත්වයක් බව මේ වන විට අනාවරණය වී තිබේ.එමෙන්ම මෙම මෝහාබාධ වලින් පෙළෙන්නවුන් එම සංසිද්ධියට පදනම් වන මානසික විෂමතාව හැරුණු කොට සෙසු සියළු කටයුතු වල දී සාමාන්‍ය ජීවිත ගත කරන බව ද කිව යුතු ය.
මෙහිදී මෙම මෝහාබාධයෙන් පෙළෙන්නවුන් නිකම් හෝ පදනම් විරහිත සාධකයක් මුල් කොට තම සහකරු හෝ සහකාරිය පිළිබඳව අනිසි සැක උපදවා ගනිති. තම සහකරු හෝ සහකාරිය සාමාන්‍ය දැන හැඳුනුම් කමක් පවත්වන කවර හෝ විරුද්ධ ලිංගිකයකු කේන්ද්‍ර කර ගනිමින් තම සිත තුළ අනිසි සැකයක් උපදවා ගන්නා ඇතැමෙකු ඒ සඳහා වන හේතු සාධක ගොනු කරගැනීමට නිරන්තර වෙහෙසෙති. එහෙත් එම සැකය නිශේධ වන කරුණු කොතෙක් ඉදිරිපත් වුව ද තම ස්ථාවරය වෙනස් කර නොගෙන ‘ඒ මත්තේම’ සිතමින් නිරන්තර චිත්ත පීඩාවට ලක් වීමත් ඒ ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් වල යෙදීමත් මෙම මානසික ආබාධයේ පොදු ලක්ෂණයකි. මෙහිදී මෙම අනිසි සැකය පුරුෂ පාර්ශවය තුළ හට ගැනීමෙන් ඒ ඔස්සේ තම සහකාරි දැඩි කායික, මානසික පීඩනයන්ට ලක් කර ගනිමින් තමන් එම තැනැත්තා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට ඇය ලවා
පාපොච්චාරණය කරවා ගැනීමට මෙන් සහකරුවා උත්සාහ කරයි.
එනමුදු එම සහකාරිය තම සහකරුගේ අනිසි සැකය මත පදනම්ව ව්‍යාජ පාපොච්චාරණයක් කළ හොත් එමගින් ඒ සහකරුවන් තුළ පවතින එම මෝහාබාධ තත්වය තවත් උත්සන්න වීමට පුළුවන. මෙය ඉතා අයහපත් තත්වයකි. එමෙන්ම තම සහකාරිය එලෙස පාපොච්චාරණයක් කිරීමෙන් වැළකී සිටීමෙන් ද එම සහකරුවෝ සහකාරියන්ට සිදු කරන මානසික පීඩනය ප්රචණ්ඩත්වය තව දුරටත් තීව්ර කරති.
ශේක්ෂ්පියර් ගේ ඔතෙලෝ හි ඔතෙලෝ නම් යුද සෙනෙවියා තම බිරිඳ වන සුරූපී ඩෙස්ටමෝනා පිළිබඳව සැක කරනුයේ ඇය තම කනිටු යුද සෙනෙවියකු වන මයිකල් කැසියෝ සමඟ අනියම් සබැඳියාවක් පවත්වන බවට ය. ඒ අනුව ඔහු වරක් ඒ සම්බන්ධයෙන් දෙවියන් ඉදිරියේ පාපොච්චාරණය කොට එම වරදින් නිදොස් වන ලෙස ඩෙස්ටමෝනාට බල කරයි. එහෙත් තමන් නිර්දෝෂී බැවින් එලෙස පාපොච්චාරණයක් කිරීමට අවශ්‍ය නොවන බව පවසන ඩෙස්ටමෝනා තමන් කිසිදු කිසිවකු සමඟ අනාචාර සම්බන්ධතාවයක් නොමැති බවට දෙවියන් හට කියා සිටියි. එහි ආසන්න ප්‍රතිඵලය වනුයේ ඉන් කෝපයෙන් වියරු වැටෙන ඔතෙලෝ ඩෙස්ටමෝනා නිදි යහනේම ඝාතනය කිරීම ය. එමගින් අනාවරණය කෙරෙන සමකාලීන සමාජ දේශපාලනය, ජාති මාමකත්වය, යුද්ධය පදනම් වන පුද්ගල මානසිකත්වය, ප්‍රේමය,ලිංගිකත්වය, ඊර්ෂ්‍යාව ආදී කරුණු සම්බන්ධ ඉදිරිපත් වූ සමාජ මනෝ විද්‍යාත්මක යථාර්ථය මුල් කොට ලොව මනෝ විද්‍යාව ස්ථාපිත වූ පසුකාලයේ දී ඔතෙලෝ ලෝක ප්‍රකට නාට්‍යයක් බවට පත් විය.
මෙහිදී ඇතැමුන් තම සහකාරිය හෝ සහකරුගේ අනියම් සබඳතාවයක් පිළිබඳව එක් පුද්ගලයකු පමණක් ඉලක්ක කොට එම සැකය ගොඩනංවා ගන්නා අතර තවත් පිරිසක් වරින් වර විවිධ පුද්ගලයන් තම සහකාරියට හෝ සහකරුට සම්බන්ධ කර එමගින් අනිසි සැක උපදවා ඔවුනට චෝදනා එල්ල කරති. මේ අතර මෙබඳු පුද්ගලයන් තම සහකාරිය ගේ හෝ සහකරුගේ නොමනා සම්බන්ධ අනිසි සැකයට ලක් වන බාහිර පුද්ගලයන්ට බැන වැදීම් සේම ඇතැම් විට ඔවුන් සම්බන්ධ සාපරාධී ක්‍රියාවන්ට යොමුවන අවස්ථා ද වාර්තා වෙයි.
මේ සියලු තත්වයන් යටතේ මෙම ඛාන්ඩයේ මෝහාබාධ වලින් පෙළෙන්නවුන් සායනික වශයෙන් ඉතා පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාවක් මනෝ වෛද්‍යවරුන් සතුව පවතී. නමුදු එසේ මෙම මෝහාබාධ සම්බන්ධයෙන් සායනික ප්‍රතිකාර ලබන අතරේ තම සහකරුවන් ගේ හෝ සහකාරියන් ගේ සැබෑ අනියම් සබඳතා හෙළි කරගත් සමහරුන් ඒ සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරුන්ට දෝෂාරෝපණය කරනු සහ ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදුකිරීමට පවා කටයුතු කරන අවස්ථාවන් පිළිබඳව ද අසන්නට තිබේ.
එහෙත්, මෙය ඉතා සූක්ෂම ලෙස විමැසීමට ලක් කළ යුතු තත්වයකි. මෙවැනි මෝහාබාධ තත්වයන් ගෙන් පෙළෙන්නවුන් සායනික පරීක්ෂාවට ලක් කිරීමේ දී මනෝ වෛද්‍යවරුන් විමසා බලනුයේ ඒ සම්බන්ධ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මනෝ වෛද්‍ය විද්‍යාත්මක නිර්නායක පමණි. ඒ හැරුණු කොට එම රෝගීන්ගේ සහකරුවන්ට හෝ සහකාරියන්ට වෙනයම් සබඳතා තිබේද? යන්න විමසා බැලීම වෛද්‍යමය, සායනික කාරියක් නොවේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවසන් වශයෙන් කිව යුත්තක් තිබේ. එනම් කිසියම් පුද්ගලයකු තුළ මෙවැනි මෝහාබාධ තත්වයක් ඇති බව සායනිකව තහවුරු වීම සහ ඒ තැනැත්තා ගේ සහකරු ගේ හෝ සහකාරිය ගේ චරිතවත් බව එකිනෙකට ඉඳුරාම වෙනස්; පරිබාහිර කරුණු බව ය. නොඑසේ නම් යමකුට මෙවන් මෝහාබාධයක් වැළඳීම මත ඒ තැනැත්තා ගේ සහකාරිය ගේ සහකරුගේ චරිත පාරිශුද්ධිය ඉබේටම ආරක්ෂා නොවන බව ය.
එමෙන්ම, මෙවන් මෝහාබාධ වැළඳුණු පුද්ගලයන් තම සහකරු හෝ සහකාරිය පිළිබඳ සැක උපදවා ගැනීම හුදෙක් ඒ තැනැත්තා ගේ මානසික විෂමතාවයන් මත යථාර්ථවාදී පදනමකින් තොරව සිදුවීම නිසා ඔවුන් ගේ සහකාරියන්ට සහකරුවන්ට තමන්ට රිසි පරිදි අනියම් සබඳතා ගොඩනඟා ගැනීමේ විකල්ප හැකියාවක් ද පවතී.නිදසුනක් ලෙස කිසියම් සැමියකු තම බිරිඳ හා නිවසට පැමිණෙන තැපැල්කරු අතර එවැනි සබැඳියාවක් ඇති බවට අනියම් සැකයක් උපදවා ගෙන ඒ අනුව නිරන්තරයෙන් අවධානය යොමු කිරීම එම බිරිඳට වෙනයම් අනියම් සබඳතාවයක් ගොඩනඟා ගැනීමට පහසු හැකියාවක් උදා කරයි. ඒ අනුව ඔවුන් ගේ මෙම අනිසි සැකය සියලු දොරඟුළු හැර දැමූ නිවසකට සොරුන් පැමිණෙන්නේ ද යන්න විමසීම පිණිස එහි එක් එක් දොරක් අබියස පමණක් රැකවල් යෙදීමට සමාන ක්‍රියාවකි.
ඒ කෙසේ වුව මෙවැනි මෝහාබාධ සඳහා ඉවහල් වන මොළයේ ජෛව රසායනික විෂමතා සමනය කරන නවීන ඖෂධ සහ ඒ සඳහා වන මනෝ චිකිත්සක ප්‍රතිකාර ද දැන් තිබේ.ඒ අනුව ජානමය සහ ඓන්ද්‍රීය හේතුන් මත පදනම් නොවන එවන් මෝහාබාධ සම්පූර්ණයෙන් සමනය කිරීමට හෝ ඒවා පාලනය කිරීමට පුළුවන .එනිසා ඒ සඳහා කළ යුත්තේ විධිමත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ය.
ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ