බුද්ධ පූජාවටත් තහංචි පමුණුවන අවුරුදු නැකත් පිළිපදින අපේ බෞද්ධයෝ – කදුරුපොකුණේ සුමංගල හිමි

budda

තවත් සිංහල අලුත් අවුරුද්දක් උදා වී තිබේ. උත්සව වර්ගීකරණයට අනුව විමසා බැලුවහොත් මෙම සිංහල අලුත් අවුරුද්ද සැලකෙනුයේ නැකත් මංගල්‍යයක් ලෙසිනි. අප ගේ සිංහල බෞද්ධයන් විසින් මහත් උනන්දුවෙන් අනුගමනය කරනු ලබන වසරේ එකම නැකත් මංගල්‍යය ද මෙයයි. සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ “පුණ්‍ය කාලය” වශයෙන් නම් කරන ලද හෝරා කිහිපයක් ද තිබේ. එහෙත්, එය බුදු දහමේ එන පුණ්‍ය සංකල්පයට ඉඳුරාම පටහැනි සේම එරෙහි බව ද ඒකාන්ත වශයෙන් ම කිව යුතු ය. ඒ මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව බෞද්ධයන් ගේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතුරින් පළමුවැන්න වන දානයට ද සෘජු තහංචි පැනවී තිබූ බැවිනි. ඊට හේතු වුයේ ඉකුත් අළුත් අවුරුදු දිනයේ (14) පෙ. ව.8.35 ට කා බී සියළු වැඩ අතහැර ඉෂ්ඨ දේවතානුස්මරණයේ යෙදී කටයුතු කරන ලෙසත් නැවත ආහාර පිසීමේ නැකත යෙදී තිබූ එදින ප.ව3.29. ට දී කිරි මුසු කිරිබතක් පිසීම සඳහා ලිප ගිනි මෙලවීමට සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවෙන් නියම කොට තිබීමත් නිසා ය. නමුදු මෙසේ සිංහල අලුත් අවුරුදු පුණ්‍ය කාලය සමරන බෞද්ධයන් ට අපගේ බෞද්ධ සම්ප්‍රදායට අනුව බුද්ධ පූජාව තැබීම පෙරටු කර ගනිමින් භික්ෂුන් වහන්සේට දහවල් දානය පිරිනැමීමේ පින්කමට අගුලු දමා ඇති අන්දම සම්බන්ධයෙන් මෙතෙක් සමාජ කතිකාවක් පැන නැගී නැත. ඊට හේතුව “අපි මෙදාට සංස්කෘතිය රකිනවා. බුදු සසුන රැක ගන්න අනික් දවස්වලට බැරියැ” යන සිතුවිල්ල ජන මනැසේ රෝපණය වී තිබීම නිසා ද විය හැක. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී අප සිංහල බෞද්ධයන් නිතර මොරගා කියන වදනක් තිබේ. එනම් අපගේ අදීන, උදාරතර සිංහල ජාතිය බුදු දහමින් සුපෝෂිත වූ බවකි. නමුදු ඒ සංස්කෘතියේ අග්‍ර ඵලය ලෙස හැඳින්වෙන සිංහල අලුත් අවුරුදු දිනයේ බුද්ධ පූජාව තැබීම පෙරටු කර ගනිමින් භික්ෂුන්ට දන් හැන්දක් බෙදීමට බෞද්ධයන්ට ඇති හිමිකම අහිමි වීම පිළිබඳව නිකමට හෝ කිසිවෙකුත් සිතා ඇති බවක් පෙනෙන්නට නැත.

අප ජන සමාජයේ පවතින නැකත් කෙළි, නැකත් උත්සව වලට ඉතා දිගු ඉතිහාසයක් ඇති බව ඇත්තකි. ඒ අප සමාජය නාමිකව හෝ බුදු සසුන වැළඳ ගැනීමට පෙර අතීතයේ ය. මහින්දාගමනයට පෙර ක්‍රි. පූ. 400 පමණ රජ කළ පණ්ඩුකාභය රජු සමයේ රජතුමා චිත්තරාජ නම් යක්ෂයකු සමඟ එක්ව හිඳ රති කෙළියෙන් සිත් අලවන නැකත් කෙළි නැරඹූ බව මහා වංශයේ දසවන පරිචඡේදයේ 87-88 ගාථා වලින් පැවසෙයි. එමෙන්ම, නව වන සියවසේ එක්තරා තරුණයකු විසින් ලියන ලදැයි සැළකෙන සීගිරි ගීයක ද බක් මාසයේ නව සඳ දුටු තමන් ස්ත්‍රී සැප ලැබීමට සුදුසු බවක් පවසා තිබීම මගින් මෙම අතීත නැකත් කෙළි හුදෙක් කාමාස්වාදය පදනම් කරගත් ලෞකිකත්වය තහවුරු කර ගැනීමේ අරමුණින් සංවිධානය වූ එවා බව පෙනේ. එහෙත් කවර හෝ හේතුවක් මත ග්‍රහ තාරුකා ආදිය සම්බන්ධ මිථ්‍යා විශ්වාස පෙරදැරිව නැකත් පිළිපැදීම සම්බන්ධනේ බුදු දහමින් කිසිදු පිටිවහලක් නොලැබේ.

නක්ඛත්තං පතිමානෙත්තං
අත්තෝ බාලං උපච්ජගා
අත්තො අත්ථස්ස නක්ඛන්තං
කිං කරිස්සන්ති තාරකා”

යන ගාථාවෙන් පැවසෙන අන්දමට ග්‍රහ තරු මත පදනම් වූ නැකත් අනුගමනය කරන්නට යාමෙන් බාලයන් හෙවත් අඥානයන් එහි අරුත හෙවත් ඉෂ්ඨාර්ථ සිද්ධිය ඉක්මවා කටයුතු කරති. ඉන් වැඩිදුරටත් පැවසෙනුයේ නැකත යනු යමකට සුදුසු වේලාව මිස ග්‍රහ තාරුකාවෝ කුමක් කෙරේද ? යන්න ය. එය ජාතක පාලියේ නක්ඛත්ත ජාතකය හා සම්බන්ධ ගාථා පාඨයකි.

අපගේ බෞද්ධ ජන සමාජය ග්‍රහ තරු මත පදනම් වන නැකත් පිළිනොපදින්නේ නම් පිළිපැදිය යුතු නැකත් මොනවාද? යන්න ද බුදු දහමේ ඉතා පැහැදිලි ලෙසම දක්වා තිබේ. අංගුත්තර නිකායේ තික නිපාතයේ මංගල වග්ගයට අයත් දස වන සූත්‍ර දේශනාවේ ඒ පිළිබඳ මනා විග්‍රහයක් තිබේ. වරක් දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන බුදුන් වහන්සේ උදෑසන දාන වේල වළඳා නිමාවේ මෙම සූත්‍රය දේශනා කළ බව සඳහන් ය.

සුනක්ඛත්තං සුමංගලං සුප්පභාතං සුවුට්ඨිතං
සුඛණෝ සුමුහුත්තෝ ච සුයිට්ඨං බ්‍රහ්මචාරිසු

ඉහත සඳහන් ගාථා පාඨයට අනුව බෞද්ධ සදාචාර මාර්ගයට අනුව තමන් හට සුදුසු සුබ නැකත තෝරා ගත යුත්තේ අප සිංහල බෞද්ධ ජන සමාජය නැකත් පිළිපදින ආකාරයට අන්ධානුකරණයෙන් නොවේ. එම නැකත තමන් විසින් තම බුද්ධියට අවනත පරිදි තෝරා ගත යුතු ය. ඉහත සඳහන් ගාථාවෙන් ප්‍රකාශ වනුයේ යමකු තම තුන් සිත පහදවා උදෑසන, දහවල, සන්ධ්‍යාව ආදී කවර වේලාවක හෝ යහපත් කාරියක යෙදේ නම් එය සුබ නැකතක් හා සුමඟුලක් වන බව ය. ඒ අනුව එම බෞද්ධ අර්ථ කථනයට අනුව කිව හැක්කේ බුදු දහමින් පැවසෙන ඒ සුබ මඟුල නැකත් වෙනුවට අප ජන සමාජය අද නැකත් භාවිතය “අවමඟුල්” පක්ෂයට හරවා ගෙන ඇති බවකි. අප එසේ පවසනුයේ මෙම නැකත් භාවිතයෙන් අප සමාජයට පුද්ගල, පවුල් ප්‍රජා හෝ පෞරුෂ වශයෙන් යහපතක් උදා වූ බවට පිළිගත හැකි කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැති බැවිනි. ඉන්දුනීසියාව නිජ බිම කොට ගත් බතික් විලාසිතාවන් ගෙන් සැරසී සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ව්‍යාජ දේශීයත්වයක් මහජනතාව හමුවේ මවා පාන ඊනියා විද්වතුන් තබා අප රටේ ජනතාව මහා සංඝ රත්නය යනුවෙන් හඳුන්වන භික්ෂූන් වත් මේ පිළිබඳ සමාජ කතිකාවකට අවතීර්ණ වී නැත.

මහා කාරුණික වශයෙන් සැළකෙන බුදුන් වහන්සේ ලෝක සත්වයා ගේ යහපත පිණිස දේශනා කළ ඇතැම් ධර්ම දේශනා වල දැඩි විවේචනාත්මක ස්වරූපයක් දක්නට ලැබේ. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එන උපාසක චණ්ඩාල සූත්‍රයේ එන මෙම බුද්ධ දේශනාව එවැනි දැඩි විවේචනයකි.
පඤ්චහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසකචණ්ඩාලෝ ච හෝති උපාසකමලඤ්ච
උපාසකපතිකිට්ඨෝ ච. කතමේහි පඤ්චහි? අස්සද්ධෝ හෝති, දුස්සීලෝ හෝති, කෝතුහලමංගලිකෝ හෝති, මංගලං
පච්චේති නෝ කම්මං. ඉතෝ ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවේසති. තත්ථ ච පුබ්බකාරං කරෝති.

ඉහත සඳහන් ගාථා පාඨයට අනුව මතු දැක්වෙන කරුණු පසට අනුව ඒ පුද්ගලයා උපාසක චණ්ඩාලයකු,උපාසක කසලයකු, උපාසක පිළිකුළෙකු බවට පත් වෙයි. ඒ කරුණු පස වනුයේ සද්ධාවෙන් තොර බව දුසිල්වත් බව ,අන්ධානුකරණ සංකල්ප මගින් යහපත් අපේක්‍ෂා කිරීම, කුසලාකුසල කර්ම සහ කර්ම ඵලය පිළිබඳ විශ්වාසයකින් තොර වීම,ශාසනික නොවන්නන්හට (ශ්‍රද්ධා සිතින් යුතුව) දාන මාන පිදීම යන කරුණු ය. මෙහි දී ඉහත ‘කෝතුහල මංගලිකෝ හෝති,යන උපාසක චණ්ඩල නිමිත්තට ග්‍රහ තරු විශ්වාසය මත පදනම් වූ අන්ධානුකරණ නැකත් භාවිතයෙන් තමන්ට යහපතක් උදාවන බව විශ්වාස කිරීම ඒකාන්ත වශයෙන්ම ඇතුලත් වනු ඇත. ඒ අනුව හුදෙක් ප්‍රඥාව යටපත් කොට සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර අනුගමනය කළවුන් ද උපාසක චණ්ඩාලයන්, උපාසක කසලයන් උපාසක පිළිකුලන් වශයෙන් සමාන්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් බුදුන් ගෙන් “බැනුම් ඇසූවන්” බව නිසැක ලෙසම කිව යුතු ය.

එමෙන්ම මෙහි දී කිව යුතු තවත් විශේෂ කරුණක් වෙයි. එනම් සෝපාක වැනි කුලහීන චණ්ඩාලයන්ට පවා බුදු සසුනේ ඉහළම පදවි ලබා දුන් බුදුන් වහන්සේ ශාසනික වශයෙන් අන්ත පිරිහීමට ලක් වූ බෞද්ධයන් මෙලෙස උපාසක චණ්ඩාලයකු,උපාසක කසලයකු, උපාසක පිළිකුළෙකු වශයෙන් උපහාසාත්මකව හැඳින්වීම සම්බන්ධයෙනි. “සියලු තථාගතයෝ ලෝක සම්මතය පදනම් කොට දෙසුම් පවත්වති” යනුවෙන් පවත්නා බුද්ධ භාෂිතය මත ඊට හේතුව සොයා ගැනීම ද අපහසු නැත. එමෙන්ම මෙහි දී කිව යුතු තවත් ප්‍රධාන කරුණක් තිබේ.එනම් සමාජය හමුවේ බෞද්ධ නායකයන් සේ පෙනී සිටින අප රටේ පාලක කාරකාදීන් බුදු දහමට සපුරා එරෙහි මෙම අන්ධ චාරිත්‍ර ප්‍රසිද්ධියේ සැමරීම හා ඔවුන් නිවැරදි මඟට ගෙන ඒමට අප රටේ මහ නා හිමි වරුන් ප්‍රමුඛ භික්ෂු ප්‍රජාව කිසිදු ආයාසයක් නොදැරීම ය.

කදුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ