ජනතාවගේ විනෝදාස්වාදය තකා කවට බස් දොඩන බව පැවසෙන කාන්තාවක විසින් පසුගිය දිනයෙක බෞද්ධ සාහිත්‍යයේ එන සිද්ධාර්ථ කුමාරෝපත්තිය පිළිබඳව සඳහන් කරමින් සමාජයේ ඇතැම් කොටස් වලට රිදුම් දෙන කවට වදන් කිහිපයක් ඉදිරිපත් කොට තිබේ. “සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු ගමන් ඇවිද්දලු; කවියකුත් කිව්වා ලු” ආදී වශයෙන් ඇය පැවසූ නොසැළකිලිමත් කවට වදන් හමුවේ බෞද්ධ සමාජය තුළ හටගත් කැළඹීම හමුවේ ඒ කාන්තාව මේ වන විට අත්අඩංගුවට පත්ව තිබේ.
’‘නොසැළකිලිමත් දඩයම්කරු දඩයමක් වීමටත් නොනිසි විහිළු කරන්නා විහිළුවක් වීමටත් ඉඩ තිබේ” යන පැරණි චීන පිරුළ අනුව අප එම කාන්තාව පිළිබඳ වැඩිදුර කතා කළ යුතු නැත.
සිදුහත් කුමරුන් උපන් හැටියේ නෙළුම් මල් හතක් මත ඇවිද තමන් ඒකාන්තයෙන් බුදු වන බවට උදාන වාක්‍යයක් කීවේ කෙසේද? යන්න නූතන සමාජයේ ළදරු වියෙන් ළමා වියට එළැඹෙන බොහෝ දරුවන් තුළ පැන නඟින පැනයකි. එහෙත්, ඒ පැනයට පිළිතුර බොහෝ දෙමාපියෝ නොදනිති. ඒ සම්බන්ධයෙන් ඇතැම් මිත්තනියන්, මුත්තනුවන් පවසනුයේ “කටට එකක් ගසා” දරුවා නිහඬ කරවන සේ ය. ඒ අනුව එවන් දරුවන් පාසලේ සහ දහම් පාසලේ ප්‍රාථමික ශ්‍රේණිවල දී බුදු සමය ඉගෙනුම අරඹනුයේම බුදු සමය අභාව්යාත්මක,අද්භූතවාදී ආගමක් නොවෙද? යන කුකුස ද සිහියේ තබා ගනිමිනි.
ඉහත සඳහන් කවට බස් දොඩන කාන්තාව ද බුදු සමය සම්බන්ධයෙන් තම දැනුම ලබා ගෙන ඇත්තේ ද පාසලේ ප්‍රාථමික පන්තිවල දී පමණක් බැවින් ජීවිතයේ තරුණ විය ඉක්ම ගිය ද ඇගේ සිත තුළ ඒ හැඟීම තවමත් තදින් රෝපණය වී ඇති සේ ය. ඒ අනුව සිතා බලන විට ඇය කවට බසක් වශයෙන් ගෙන හැර දැක්වූ එම වදන ඇගේ යටි සිත තුළ එලෙසින්ම බලපවත්වන්නක් වීමට ද බැරි නැත.
අපගේ බුදු දහම ඉගැන්වීමේ සම්ප්රදාය අනුව පළමුව ඉගෙන ගත යුත්තේ බුදු සමයයි.නැතහොත් බුදු දහම පිළිබඳ වටපිටාව ය.ඒ අතරි`නුදු බුද්ධ චරිතයයි. සිද්ධාර්ථ කුමාරෝපත්තියේ සිට කුමරුන් ගේ ළමා කාලය, සරණ මංගල්‍යය, සතර පෙර නිමිති දැකීම, ගිහි ගෙය හැර යාම, දුෂ්කර ක්‍රියා,බුද්ධත්වයට පත්වීම ආදී වශයෙන් පෙළ ගැසෙන මෙම බුද්ධ චරිතය බුදුන් වහන්සේ ගේ පිරිනිවන් පෑම තෙක්ම විහිද යන වීර කාව්‍යයක් සේ පෙළ ගැසී තිබේ.
එහෙත්, අප කුඩා කල සිට ඉගෙනුම ලබන මෙම බුද්ධ චරිතය බුදුන් වහන්සේ මුල් කොට ගත් එකම මුලාශ්‍රයක් පදනම් නොවූවක් බවත් එය විවිධ සහ අබෞද්ධ පුරාණෝක්ති රැසක් එකි’නෙකට ගලපා සකස් කළ සිදුවීම් මාලාවක් බවත් අදත් බොහෝ දෙනෙක් නොදනිති.මේ වන විට මුළු ලෝකයේ බෞද්ධ ජනගහණය මිලියන පන්සියයක් පමණ බව පැවසෙන අතර ඔවුන් අතරේ එකි‘නෙකට සමානකම් සහ ප්‍රතිවිරුද්ධකම් සහිත බුද්ධ චරිත දහ අටක් පමණ ඇති බව ඔබ බොහෝ විට නොදන්නවා විය හැක.
මෙම මැයි විසි නව වන දාට එකසිය තිස් තුන් වන ජන්ම සංවස්තරය යෙදී ඇති හෙළයේ මහ ගත් කරු ලෙස විරුදාවලී ලත් මාර්ටින් වික්‍රමසිංහයන් විසින් 1973 වසරේ බුද්ධ චරිතය මුල් කොට ලියන ලද “බව තරණය” නවකතාව එවක ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය තුළ මහත් කැළඹීමක් ඇති කිරීමට සමත් විය. එම නවකතාවේ එන බුද්ධ චරිතය හා අප දන්නා බුද්ධ චරිතය අතර පවත්නා පරස්පරතා ඊට හේතු විය. ඒ අනුව එවක අපගේ බෞද්ධ සමාජයේ බොහෝ දෙනෙකු දුටුවේ වාමාංශික දේශපාලන ද්රෘශ්ඨියක සිටි මාර්ටින් වික්‍රමසිංහයන් බව තරණය රචනා කිරීමෙන් චේතනාත්මකව ම බුදු දහම නිග්‍රහයට ලක් කළ බවකි. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත අවසාන නව කතාව ද වූ “බව තරණය” සමාජයේ ගිහි පැවිදි පඬුවන් අතර මහත් ආන්දෝලනයට පාත්‍ර වූවක් ද යන්න මතු දැක්වෙන විස්තරයෙන් ඔබව පසක් වනු ඇත.
“බව තරණය” කළ එළි දැකීමෙන් මාස දෙක තුනකට පසු පසු එවක අප රටේ නමක් දිනා සිටි දිනාගත් භික්ෂූන් එකතුව ඊට එරෙහි උද්ඝෝෂණයක් දියත් කළහ. එවක ගිහි බෞද්ධ නායකන් ලෙස ප්රකටව සිටි ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන , ශ්‍රීමත් සිරිල් ද සොයිසා වැන්නවුන් සේම පරම විඥනාර්ථ බෞද්ධ සංගමය හා තරුණ බෞද්ධ සංගමය වැනි සංවිධාන ද “බව තරණය”බුදු සිරිත විකෘති කරන කෘතියක් බවත් ඉන් බුදුන්ට අපහාසයක් සිදුව ඇති බවක් පවසමින් සමාජයේ කලබැගෑනියක් ඇති කළහ.නමුත් එවක සාහිත්‍ය ක්ෂේත්රයේ කැපී පෙනුණු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා ගුණදාාස අමරසේකර වැන්නවුන් යථාර්ථවාදී රීතියට අනුව ලියැවුණු නව කතාවක් වන “බව තරණය” කෘතියෙහි බුදුන් වහන්සේට නිගා දෙන කිසිදු සටහනක් අන්තර්ගත වී නොමැති බවත් හැකි නම් “බව තරණය” කෘතියෙන් එවැනි කොටසක් ඉස්මතු කරන ලෙසත් පවසමින් ප්‍රති තර්කයක් මතු කළහ.නමුත් බව තරණය කියැවීමෙන් බොදු මනැස් දැඩි පීඩාවට පත් විය හැකි බැවින් රජය විසින් “බව තරණය” තහනම් කළ යුතු බවටත් එසේ නොකළහොත් රජයට විරුද්ධව දිවයින පුරා උද්ඝෝෂණ සහ රැස්වීම් පවත්වන බවටත් ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගේ සහභාගීත්වයෙන් 1974 මාර්තු මස රැස් වූ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ විධායක සමිතිය රජයට අනතුරු ඇඟවීමක් ද කොට තිබිණ.
මේ අතරතුර ගොඩමුන්නේ ධම්මානන්ද අස්ගිරි මහා නාහිමියන් විසින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය වෙත කරන ලද ලිඛිත දැනුම් දීමකින් පසු සංස්කෘතික අමාත්‍යයංශය විසින් කරුණු සොයා බලා වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදි.ඒ අතර ඒ සමඟම රජයට විරුද්ධව දේශපාලන පක්ෂ පිරිස් රජය අපහසුතාවට පත් කිරීම පිණිස මෙය දඩමීමා කර ගත් බව ද පෙනෙයි. “බව තරණය” විරෝධී උද්ඝෝෂකයන්ගේ බලපෑමෙන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු “බව තරණය” තහනම් කරන ලෙස කැබිනට් මණ්ඩලයට බල කළහ .ඒ වන විට අසූ තුන් වියැති මාර්ටින් වික්‍රමසිංහයන් කිසියම් මානසික ව්‍යාකූලතාවකින් මෙය ලියා ඇති බව කොටසක් කී අතර තවත් පිරිසකගේ මතය වූයේ මෙය අපේ රට වාමාංශික දේශපාලන කඳවුරක් කිරීම පිණිස මෙරටින් බුදු දහම අතු ගා දැමීම පිණිස වන සූක්ෂම වෑයමක් බව ය.එම කලබැගෑනිය ඊට පසු වසර එනම් 1975 තෙක් ද ඇදී ගිය අතර අගනුවර එක්සත් බෞද්ධ බල මණ්ඩලය නම් සංවිධානයක් විසින් ඒ වන විට පැවැති හදිසි නීතිය යටතේ මාර්ටින් වික්‍රමසිංහයන් සිරගත කරන මෙන් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය වෙතින් ඉල්ලීමක් ද කොට තිබිණ.නමුදු ඒ සම්බන්ධයෙන් ඇතැමුන් ගේ මතය වූයේ මෙය ඒ වන විට වාමාංශික බලය අවප්‍රමාණ වෙමින් පැවැති සමගි පෙරමුණු රජය මුළුමනින් බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් බව ය. එහෙත්, ඒ වන විටත් ලොව විවිධ රටවල බුද්ධ චරිත ලෙසින් හැඳින්වෙන කතා ප්‍රවෘත්තීන් සුසංයෝග කොට සිය නිර්මාණාත්මක පරිකල්පනය පුබුදු කළ මාර්ටින් වික්‍රමසිංහයන් ඒ සියලු බුද්ධ චරිත අතුරින් වඩා විශ්වසනීය බුද්ධ චරිතය මෙසේ විය යුතුයැයි යැයි සිතා බව තරණය රචනා කළ බව අපගේ වැටහීම ය.ඒ අතරේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “බව තරණය” මෙතරම් කලබැගෑනියකට හේතු වන්නක් නොවන බව පවසමින් එවක විද්‍යෝදය පරිවේණාධිපති පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශ නායක මාහිමියන් තැබූ සටහන බවතරණය පසු කාලීන මුද්‍රණයන් හි පසුවදන ලෙස යොදා තිබේ.
“සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි.සිංහල, පාලි, සංස්කෘත ඉංගිරිසී භාෂාවලින් ලියු බුද්ධ චරිත හැම එකක්ම වාගේම මම කියවා ඇත්තෙමි.මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹු වන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක ය.බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණ ය. මෙය වෙනත් භාෂාවන්නට ද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරිමට අතිශයින්ම සුදුසු ය.බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන්ගේ ඇති කළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නකුට උගත හැකි ය ” යනු ඒ සටහන ය.
බුදු දහමේ එන නිර්වාණය,බුද්ධත්වය, සංසාරය. අරහත් බව, ක්ලේශ ප්‍රහීණ කිරීම පවා ඉන් පෙර සිට පැවැති ආගමික සංකල්ප වූ අතර ඊට පෙර භාරතයේ පහළ වූ ආගමික ශාස්තෘ වරුන් සහ දාර්ශනිකයන් ඒ සම්බන්ධ විවිධ අර්ථ කථන ඉදිරිපත් කොට තිබිණ.බුදු සමය යනු එහි පරිනාමයේ විශිෂ්ඨතම ඵලයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය,ත්රිලක්ෂණය වැනි ධර්මතාවයන් හුදු බුදු දහමට පමණක් ආවේණික වූ ඒවා ය. නමුදු සාමාන්‍ය සමාජය තුළට එලෙස එක්වරම ඒ ගැඹුරු ධර්මයන් පිවිසුවිය නොහැක. ඊට පෙර ඒ දහම දේශනා කළේ කවුරුන් ද? යන්න සමාජයට පහදා දිය යුතුම ය. එසේ දේශනා කළ නැතැත්තා කිසිදු විශේෂත්වයක් නොමැති සාමාන්‍ය කෙනෙකු නම් ඒ ඉගැන්වීම පිළිගැනීමට පොදු ජනයා නොපෙළඹෙන බව පසුකාලීන බෞද්ධ ග්රන්ථ සම්පාදකයෝ මනාව දැන සිටියහ. දැනට මූලික බුදු සමය වශයෙන් ශාස්ත්‍රීය වශයෙන් විශ්ලේෂණය කළ හැකි ඉහත සඳහන් විශිෂ්ඨ ධර්ම කොටස් වටා බෞද්ධ සාහිත්‍යය නමැති ජනතාව වශී කරන “ආලවට්ටම්” එල්ලීමට ඔවුන්ට සිදු වූයේ එබැවිනි. බුදු දහමේ දාර්ශනික පසු හරය පසෙක තිබිය දී මේ වන විට අප හමුවේ ඇති බුද්ධ චරිතය විවිධ පරස්පරතා වලින් යුතු විවිධ පැහැයන් ගත් රෙදි කඩ මුට්ටු කොට මැසූ ඇඳුමක් සේ දැක්වීමේ වරදක් නැතැයි අපට සිතේ.
මෙම සටහනට පාදක වූ සිද්ධාර්ථ කුමාරෝපත්තියට පාදක වන අද්භූත සිද්ධීන් සත්‍ය නම් ඉන් සිදුහත් කුමරුන් ගේ බුද්ධත්වය පිළිබඳ කුමරුන් ගේ පියා ඇතුලු කිසිවකුටත් කිසිදු ගැටළුවක් ඇති නොවනු ඇත.ඊට හේතුව කුමරුන් මව් කුසෙන් පිටතට පැමිණි මොහොතේම ඉතා විස්මිත ලෙසින් ඒ බව පවසා තිබීම ය. එසේ නම් කුමරුන්ට නම් තබන මංගල්‍යයේ දී වේදයේ පරප්රාප්ත බමුණන් එකසිය අට දෙනකු රජ මැදුරට කැඳවන සුදොවුන් රජතුමා ඔවුනට කුමරුන් දක්වා දේහ ලක්ෂණ අනුව කුමරුන් පිළිබඳ ප්‍රති විමසුමක් නොකරනු ඇත.එමෙන්ම අප බුද්ධ චරිතය වශයෙන් හඳුන්වන වෘත්තාන්තයේ එම පුවත් සහ සූත්‍ර පිටකයට අයත් ගැඹුරු දාර්ශනික විස්තරයන් මඟින් ප්‍රතික්ෂේප වන අවස්ථා කොතෙකුත් තිබේ.ඒ බොහෝ සුත්‍ර වලින් බුදුන් වහන්සේ පොදු සමාජය හමුවේ සාමාන්‍ය මිනිසකු පමණක් වූ බව පැහැදිලි ය.එමෙන්ම අප දන්නා බුද්ධ චරිතයට අනුව සිදුහත් කුමරුන් සතර පෙරනිමිති වශයෙන් දකින තුරු මහල්ලකු, රෝගියකු, මළ සිරුරක් සහ පැවිද්දකු නොදැක සිටි බව හුදු සංකේතාතමක පරිකල්පනයක් ලෙස වැටහී යනුයේ උන් වහන්සේ ගේ ඇතැම් දේශනා මඟින් සමකාලීන වෛදික ඉගැන්වීම් පිළිබඳව සේම බ්‍රාහ්මණ ධම්මික ආදී සූත්‍ර දේශනාවන් හි එන ගව ඝාතනය සම්බන්ධ විස්තර මඟින් ආයුර්වේදීය මත පවා එළි දැක්වීමෙනි.බුද්ධ කාලීන සමාජයේ කෘෂිකර්මාන්තය හැරුණු කොට පැවැති සුවිසල්ම වෘත්තීය ක්ෂේත්රයක් වූයේ ගෝ රක්ඛ නමින් හැඳින්වුණු ගව පාලනයයි.
බුදුන් වහන්සේ ගෝ පාලක සූත්‍රය මඟින් විස්තර කරන දක්ෂ ගව පාලකයකුගේ ලක්ෂණ මඟින් උන්වහන්සේ හිහි කළ ඒ සම්බන්ධව ද විෂයානුබද්ධ පිරිපුන් දැනීමක් ලබා සිටි බව පැහැදිලි ය.ඒ අනුව බුදුන් වහන්සේ ගිහි කළ එවක සමාජ,ආර්ථික,සංස්කෘතික ආදී කරුණු සම්බන්ධයෙන් බොහෝ දේ දැන ඉගෙන සිටි විද්වත් තරුණයකු බව අතිශයින් පැහැදිලිය. ඉහත කරුණු අනුව පැහැදිලි වනුයේ අප බුද්ධ චරිතය වශයෙන් පිළිගන්නා සමස්ත වෘත්තාන්තය පසුකාලීන බෞද්ධ අට්ඨකතා සේම දිව්‍යාවදාන ය, ලලිත විස්තරය වැනි පසුකාලීන මූලාශ්‍ර ද එක් කොට තනා ගත් රසවත් කතා ප්‍රවෘත්තියක් බව ය. මෙය සිංහල සාහිත්‍ය කෘති වලදී තවදුරටත් පරිනාමය වී ඇති අතර විශේෂයෙන් දඹදෙණි යුගයේ ලියැවුණු පූජාවලිය වැනි කෘති මගින් ඉදිරිපත් කොට ඇති සංකල්ප මූලික බුදු සමයෙන් ඉවතට යන අවස්ථාවන් ද කොතෙකුත් සොයා ගත හැක.
එම පසුබිම යටතේ සිද්ධාර්ථ කුමාරෝපත්තිය පිළිබඳ ඉහත සඳහන් සංසිද්ධීන් සමකාලීන හින්දු ආගමික සංස්කෘතික ධාරාවට අයත් අද්භූතවාදී දේව කතා ආකෘතියට සමපාත ලෙස සැළකුණු බව ඒ සම්බන්ධ ශාස්ත්‍රීය විග්රහයක දී අනාවරණය කරගත හැකි වනු ඇත. බුද්ධ චරිතය තුළට පිවිසි මෙම අද්භූතවාදී සංකල්පම බුදුන් වහන්සේට පූර්වගාමී ජෛන ශාස්තෘවරයකු වන පාර්ශවනාථ චරිතයට හා බුදුන් වහන්සේට සමකාලීන ජෛන ශාස්තෘ වරයාණන් වන වර්ථමාන මහාවීර ගේ ජීවන චරිත තුළට අඩු වැඩි වශයෙන් පිවිසී ඇති අන්දම ද අපට මැනැවින් නිරීක්ෂණය කළ හැකි වනු ඇත. එම කරුණු අනුව අපට මෙම කරුණ සම්බන්ධයෙන් කීමට ඇත්තේ සිද්ධාර්ථ කුමාරෝපත්තිය පිළිබඳ වෘත්තාන්තයේ ඇති එම අද්භූතවාදී බව කවට කමකට හරවා ගත් ඒ දැනුම් අවබෝධයන් ගෙන් තොර කවට කාන්තාව ලුහු බැඳීම නතර කොට බුදු සමය හා සබැඳුණු එවන් පසුකාලීන මිථ්‍යාවන් ඉවත් කොට සැබෑ බුද්ධ චරිතය ධර්ම ශාස්ත්‍රීය වශයෙන් පිරිපහදු කොට සමාජය හමුවට ඉදිරිපත් කළ යුතු බවකි.සැබෑ බුද්ධ චරිතය සම්බන්ධයෙන් එම කාන්තාව ඇතුළු ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් වැඩි දෙනකු තුළ පවත්නා අනවබෝධයන් දුරු කළ හැකි එකම මං පෙත එය බව ද සිහිපත් කරවනු කැමැත්තෙමු.
කදුරුපොකුණේ සුමංගල හිමි