බෙල්ජියමේ ලිංගික ශ්‍රමිකයන්ට ප්‍රසූත නිවාඩු, විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ

බෙල්ජියම තුළ ලිංගික ශ්‍රමිකයින්ට ප්‍රසූත නිවාඩු, විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පිරිනැමීමට නීති සම්පාදනය කොට ඇති බව පසුගිය දෙසැම්බර් 01 වැනිදා බී බී සී පුවත් සේවය වාර්තා කොට තිබිණි. මෙවැන්නක් වාර්තා වූ ලොව ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙය වූ කලී ලිංගික ශ්‍රමිකයා සතුව ඇත්තේ සුජාත ශ්‍රමයක් බවත්, ඔවුනට ද ගෞරවයක්, සුරක්ෂිත බවක් සහ අනෙකුත් සියලු වරප්‍රසාද හිමි විය යුතු බවටත් බටහිර රටවල් කලක් තිස්සේ සිදුකරගෙන ආ දැවැන්ත ව්‍යාපාරයක එක් ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකිය. ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ අරගලය පසුපස පවතින ගැඹුරු ඓතිහාසික අක්මුල් මෙහි දී අමතක කළ නොහැකිය.

වර්තමානයේ බොහෝ රටවල ලිංගික ශ්‍රමය සහ ශ්‍රමිකයා යන්න පිළිකුල් සහගත කාරණයක් ලෙස සලකා හෙලා දුටුව ද පැරණි සමාජය මෙයට වඩා බොහෝ සෙයින් වෙනස් තත්ත්වයක පැවතුණි. නිදසුනක් ලෙස පැරණි ඉන්දීය සමාජය දෙස අවධානය යොමු කළ හොත් බුද්ධ කාලීන සමාජය තුළ දක්නට ලැබුණු ‘නගර ශෝභිනිය’ සැලකිල්ලට ගත හැකිය. මේ නමින් හඳුන්වනු ලැබුවේ අන් කිසිවකු නොව ලිංගික ශ්‍රමිකයාමය. එකල නගර ශෝභිනියක් සමාජයේ ගෞරවය දිනා ගත් චරිතයක් වූ අතර රජවරු ඇතුළුව සමාජයේ ඉහළින් වැජඹෙන බොහෝ ප්‍රභූන් යැයි සම්මත පුද්ගලයින් මොවුන්ගෙන් සතුට ලැබීම සඳහා පැමිණියහ. මෙය ද හුදෙක් එක් වෘත්තියක් පමණක් ලෙස සැලකුණු අතර, නගර ශෝභිනියක් වන්නට උගත යුතු දෑ පැරණි භාරතීය ග්‍රන්ථයක් වූ කාමසූත්‍රයේ ද සඳහන්ව තිබේ. ඔවුන් කරා ප්‍රභූන් පැමිණියේ හුදෙක් ලිංගික සතුට සොයාගෙන පමණක් නොව ගීත, කවි, කතා ආදී සාහිත්‍යමය රසයන් ද විඳ ගැනීමට බව පෙනී යන කාරණයකි. ඉන්දියාවේ පැවති තන්ත්‍රයානය මනා සිහියකින් යුක්තව ශාරීරික සතුට විඳ ගැනීම තුළින් විමුක්තිය ළඟා කර ගත හැකි බව විශ්වාස කෙරිණි. එබැවින් එම විශ්වාසය තුළ ලිංගික ශ්‍රමිකයන්ට විශාල ගෞරවයක් පැවතිණි.

බෙල්ජියම් ජාතික මේ ලිංගික ශ්‍රම සපයන්නිය පවසන්නේ නව නීති නිසා සිය ජීවිත වර්ධනය වනු ඇති බවය

පැරණි ග්‍රීසියේ ද ලිංගික ශ්‍රමිකයාට සුවිශේෂ ස්ථානයක් හිමි විය. ඔවුන් හඳුන්වනු ලැබුයේ ‘හෙටයිරයි’ ලෙසින් වූ අතර ඔවුන් ඉතා උසස් අධ්‍යාපනයකට හිමි කම් කියු කාන්තාවන් වූ අතර වර්තමානයේ ගණිකා නිවාසවල වෙසෙන ගැහැනුන් මෙන් නොව මොවුන් බුද්ධිමය සහ දේශපාලන කටයුතුවලට ඍජුව දායක වූ පිරිසක් විය. ග්‍රීක සමාජයේ ප්‍රභූන් වෙනුවෙන් පවත්වනු ලැබූ උත්සවයක් වූ ‘සිම්පෝසියා’ සඳහා කාන්තාවන්ට ඇරයුම් නොලැබුණ නමුත්, හෙටයිරයි කාන්තාවන්ට මේවා සඳහා විශේෂයෙන් ඇරයුම් ලැබුණු අතර එවැනි අවස්ථාවල දී ඔවුන් ලිංගික ශ්‍රමයම පමණක් නොව රාජ්‍ය පාලනය සම්බන්ධව ඔවුන් උගත් දෑ පිළිබඳ සංවාදයන්වලට ද සහභාගී වූ බව දකින්නට ලැබේ. සැපත පමණක් මුල් කර ගත් ‘සුඛපරම සමාජ ක්‍රමය’ (Hedonistic societies) උපත ද ග්‍රීක සමාජය තුළ සිදු වූ අතර එය තුළ ද ලිංගික ශ්‍රමයට ගෞරවනීය ස්ථානයක් තිබිණි. ග්‍රීක දාර්ශනිකයකු වූ එපිකරස්ගේ අනුගාමිකයින් ද ශාරීරික සතුට යනු හුදෙක් ස්වාභාවික දෙයක් ලෙස සලකනු ලැබූ අතර ලිංගික ශ්‍රමිකයන් යනු නීති විරෝධී කාර්යයක නිරත වන්නන් ලෙස සැලකුණේ නැත.

බ්‍රිතාන්‍යයට කිතු දහම පැමිණෙන්නට පෙර ලිංගික ශ්‍රමිකයන් ඉතා ගෞරවනීය කොට්ඨාශයක් ලෙස ජීවත් වූ නමුත් කිතු දහම හඳුන්වා දීමෙන් පසු මොවුන් හුදෙක් පව්කාරියන් ලෙස පමණක් සලකන්නට පටන් ගැනුණි.

ලිංගික ශ්‍රමිකයන්ට ද සමාජයේ සෙසු පුද්ගලයන්ට ඇති අවස්ථාවන් තිබිය යුතුය යන්න බටහිර රටවල ප්‍රවණතාව වී තිබේ

බටහිර සමාජයන් තුළ ලිංගික ශ්‍රමිකයන්ගේ තත්ත්වය මෑත දශක කිහිපය තුළින් පැහැදිලි පරිණාමයකට ලක්ව තිබේ. ලිංගික ශ්‍රමිකයා ද සාමාන්‍ය ශ්‍රමිකයකු බවට පත් කරමින් බෙල්ජියම තුළ නීති සම්පාදනය වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. මේ නව නීති සම්පාදනය තුළින් බෙල්ජියම් රජය අපේක්ෂා කරන්නේ ඔවුන්ව සූරාකෑමෙන් වළක්වා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමය. ජර්මනිය ද ලිංගික ශ්‍රමය පිළිබඳ ප්‍රගතිශීලිව දකින රටක් වන අතර එහි ලිංගික ශ්‍රමය 2002 වසරේදී නීති ගත කෙරුණි. ඔවුනට ද රක්ෂණ, විශ්‍රාම වැටුප් සහ රැකියා ගිවිසුම්වලට එළැඹීමේ අවස්ථාව එමගින් ලබා දී තිබේ. නෙදර්ලන්තය, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ද ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් ප්‍රගතිශීලී නීති සම්පාදනය කොට තිබේ.

ලෝකයේ පවතින මේ ප්‍රගතිශීලී තත්ත්වය මත බොහෝ රටවල ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි ගෞරවය ද, ඇතැම් රටවල යම් පිළිකුල් තත්ත්වයක් ද පවතින මුත්, මෑතක් වන තුරු ඔවුන් කෙරෙහි දැක් වූ සැලකිලිවලට වඩා සහනශීලී පිළිවෙතක් අනුගමනය කිරීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබී තිබේ. ආගමික බලපෑම් නිසා පිළිකුලට ලක් වූ ලිංගික ශ්‍රකමියන් පිළිබඳ ආකල්ප දැන් කෙමෙන් ප්‍රගතිශීලි තත්ත්වයක් කරා හැරෙමින් පවතී.

ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැවැත්වුණු උද්ඝෝෂණයක්

ලිංගික ශ්‍රමිකයින්ට ප්‍රසූත නිවාඩු සහ විශ්‍රාම වැටුප් ලබා දීමට බෙල්ජියම ගත් තීරණය බොහෝ විට පිළිකුලට ලක් කරන ලද ප්‍රජාවක අයිතිවාසිකම් සාමාන්‍යකරණය කිරීමේ පියවරකි. ඕනෑම වෘත්තියක් මෙන් ලිංගික කාර්යයට ගෞරවය සහ ආරක්ෂාව අවශ්‍ය බව අවබෝධයක් ද එයින් පිළිබිඹු වේ. ඉතිහාසයේ පාඩම් අපට මතක් කර දෙන්නේ සමාජයේ ලිංගික ශ්‍රමිකයන්ගේ තත්ත්වය ස්ථාවර හෝ ඒකාකාරී නොවන අතර එය පුළුල් සංස්කෘතික, ආර්ථික සහ නීතිමය සාධකවල බලපෑමට ලක්ව ඇති බවයි. බොහෝ රටවල ප්‍රතිසංස්කරණ කටයුතු සලකා බලන විට, ලිංගික ශ්‍රමය සැපයීමේ නියැලෙන අයගේ ආරක්ෂාව, අභිමානය සහ අවස්ථා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට පොදු මතයක් ලොව පුරා වර්ධනය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර