බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ බෝම්බ සිද්ධියේ පරීක්ෂණයන් මේ වන විට ප්‍රශ්න ගණනාවක් මතු කරන තත්ත්වයට පත්ව තිබේ.
දේවස්ථානයේ තිබී බෝම්බය හමුවන්නේ ඉකුත් 11 දා ය. එය පාස්කු ප්‍රහාරයට දින 1000 ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් 14 වන දින රට පුරා දේවස්ථානවල විශේෂ දේව පූජාවන් ලැහැස්ති කරමින් තිබූ වකවානුවකි.
බෝම්බ සිද්ධියට මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූවේ බෝම්බය පල්ලියේ තිබෙනවා දුටු එහි ආවතේව කරු නැතිනම් සන්ක්‍රිස්තියන්වරයා ලෙස කටයුතු කළ මුනී නැමැත්තෙකි. ඊට අමතරව නිතර දේවස්ථානය වෙත පැමිණෙන අවුරුදු දහ තුනක දරුවෙකු සහ එදින පැවැත්වෙන විශේෂ පූජාවක් වෙනුවෙන් සැරසිලි කිරීමට පැමිණි පල්ලියේ බැතිමතුන් දෙදෙනෙකි.
ඉන් අනතුරුව මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මාධ්‍ය හමුවක් කැදවා ප්‍රශ්න කළේ බෝම්බය හමු වූ දින පල්ලියේ සීසීටීවී කැමරාවල පටිගතව ඇති දර්ශනවල සවස තුනෙන් පසු දර්ශන පමණක් පරීක්ෂා කිරීමට උපදෙස් දුන් නිලධාරියා කව්රුන් ද යන්න ය. එදින උදෑසන සිට පටිගත වූ දර්ශන නොබලා සවස තුනෙන් පසුව පටිගතවූ දර්ශන පමණක් නැරඹුවේ කවර පදනමක සිට දැයි එතුමෝ ප්‍රශ්න කර සිටියහ.
කාදිනල් හිමියන් සිය මාධ්‍ය හමුවේ දී එදින උදෑසන පටිගතවූ සී.සී.ටී.වී දර්ශන මාධ්‍යයට මුදා හැරි අතර යම් පුද්ගලයෙකු කලබලයෙන් පැමිණ කිසියම් දෙයක් දේවස්ථානයේ ආසනයක් යට තබා ඉක්මන් ගමණින් පිටව යන දර්ශන එහි ඇතුළත්ව තිබුණි.
ඉන්පසු බුද්ධි අංශ ලබා දුන් තොරතුරු මත එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ ඇඹිලිපිටියේ සිටියදී ය. ඔහු කඩවත පදිංචි පුද්ගලයෙකු වන අතර ආයුද පෙන්වා මංකොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ පාපොච්චාරණය මත යැයි කියමින් පිළියන්දල ප්‍රදේශයේ විශ්‍රාමික කතෝලික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගන්නේ මේ අතරතුර ය.
වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙම බෝම්බය තැබූ බව සැකකරු පවසන්නේ යැයි පොලිසිය මාධ්‍ය වෙත තොරතුරු ලබාදී තිබුණි. ඊට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ රත්මලාන ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකු රුපියල් 50,000 ක කොන්ත්‍රාත්තුවක් මත මෙම බෝම්බය තැබීමට උපදෙස් දුන් බවකි.
එම කාරණය යටපත් වී දැන් වෛද්‍යවරයෙකු කරලියට ගෙනවිත් තිබේ. ඊට අමතරව සැකකරුගේ පාපොච්චාරණයක් යයි කියමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ මීට මාස හතරකට පමණ ඉහත දී නාරාහේන්පිට ලංකා රෝහලේ තිබී හමූ බෝම්බය තැබූවේ ද තමන් යන්න ඔහු පවසන බව ය.
එයට ද හේතුවක් තිබුණි. එනම් ලංකා රෝහලේ තිබී හමූ වූ බෝම්බයත්, පල්ලියේ තිබී හමූ බෝම්බයත් සකසා තිබූ අකාරය එක සමාන බැවිනි. මෙම බෝම්බ දෙකම ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බ බව ආරක්ෂක අංශ තහවුරු කර තිබුණි. මෙහි විශේෂත්වය වන්නේ එහි අගුල ඉතා සූක්ෂම ලෙස ගලවා එය කාල බෝම්බයක් ලෙස පරිවර්තනය කර තිබීම ය.
ලංකා රෝහලේ බෝම්බයේ ද ආරක්ෂිත අගුල ගලවා එය නූලක් අගුල ලෙස ගැට ගසා මදුරු දඟරයක් සවිකර තිබුණේ එය පිළිස්සි අවසන් වන විට නූල පිළිස්සි බෝම්බය පුපුරා යන ලෙසටය. මෙම බෝම්බය තබා තිබුණේ වැසිකිලියේ ය.
වැසිකිලියට ගිය තැනැත්තෙකු මුලින් මෙය දුටු බව කියූ අතර පසුව එම තැනැත්තාවම අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු එය අටවා පසුව එය සොයා ගත් තැනැත්තා වෙමින් රෝහලෙන් ත්‍යාගයක් ගැනීමට මෙය කර ඇති බව කියමිනි.
එසේම එම සැකකරුට බෝම්බය ලැබුණු ආකාරය ගැන මෙන්ම ඔහුගේ සොහොයුරෙකු එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයෙකු බව කියමින් සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට පත්විය.
ඔවුන්ගෙන් හතර දෙනෙකු මේ වන විට පොලිස් රැඳවුම් භාරයේ සිටින අතර තවත් හතර දෙනෙක් බන්ධනාගාර ගතව සිටිති. දේවස්ථානයේ බෝම්බය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රෝහලේ බෝම්බයත් තැබුවේ නම් කලින් අත්අඩංගුවට ගත්තේ කව්රුන්ද? යන පැනයට තවමත් පොලිසීය පිළිතුරක් ලබාදී නැත.
පල්ලියේ බෝම්බ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින වෛද්‍යවරයා සම්බන්ධයෙන් ද නොයෙක් කතා මාධ්‍ය වාර්තා කරමින් සිටින්නේ පොලිසියේ නිලධාරින් ලබා දුන් බව සදහන් කරමිනි. එහි දී මුලින්ම වෛද්‍යවරයාගේ පිළියන්දල නිවසේ තිබී ගිනි අවි ගණනාවක් හා රම්බෝ පිහි දෙකක් සොයා ගත් බව සදහන් මාධ්‍ය වාර්තා පළවිය. එක් පුවතක් වාර්තා වී තිබුණේ එම ගිනි අවි ගොඩේ තිබූ එක් ගිනි අවියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ද කරන බව කියමිනි.
ගිනි අවි තොගයේ ඡයාරූප පවා මාධ්‍ය පළ කර තිබුණි. ඒ සමඟම වෛද්‍යවරයාගේ පුතා බව කියමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සිය පියා මෙයට කිසිදු සම්බන්ධයක් නැති බවත් ප්‍රදර්ශනය කළ ගිනි අවි සිය පුතාගේ සෙල්ලම් පිස්තෝල හා තමා ක්‍රීඩා කිරීමට ගත් වායු පිස්තෝලයක් බව ය. පොලිසිය කියන ආකාරයට ඒවා රම්බෝ පිහි දැයි තමන් නොදන්නා බව කී ඕෂල ඒවා නිවසේ භාවිතයට ගන්නා පිහි බව සඳහන් කළේ ය.
මේ අතර සැකකාර වෛද්‍යවරයා කළ පාපොච්චාරණයක් බව සඳහන් කරමින් තවත් වාර්තාවක් පළ විය. එයින් කියවුණේ 1970 දශකයේ තමන් විවාහ වන විට බිරිඳ බෞද්ධ වීම නිසා පල්ලියේ උදෑසන පූජාව නොදී සවස පූජාව දුන් නිසා පල්ලිය සමග කෝපයෙන් සිටි බවකි. එසේම බිරිඳ කොවිඩ් රෝගයෙන් මිය යාමත් සමග ඔහු මානසික නොසන්සුන්තාවයකින් සිටින බවට ද මාධ්‍ය වාර්තා කර තිබුණි.
තවද බිරිඳ කොවිඩ් රෝගයෙන් මිය යන්නේ කොම්පඤ්ඤවීදියේ පිහිටි පෞද්ගලික රෝහලක නොසැලකිලිමත් ප්‍රතිකාර කිරීම හේතුවෙන් බව කියමින් මොහු නඩුවක් පවා පවරා තිබෙන බවත් එහි දී සිදු කළ නොසැලකිලිමත් ප්‍රතිකාර නිසා රෝගී බිරිඳ පසුව නාරාහේන්පිට ලංකා රෝහලට ඇතුලත් කළ බවත් ඒ උදෙසා ලංකා රෝහලට” ජනප්‍රියත්වයක්” ලබා දෙනු පිණිස එහි බෝම්බයක් ඇටවීමට උපදෙස් දුන් බව ද ඔහු පාපොච්චාරණය කර ඇතැයි පොලිසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණි.එය හතර බිහිරි පාපොච්චාරණයකි.
රෝහලකට ජනප්‍රියත්වයක් ලබාදීමට බෝම්බ අටවන්නේ කුමන පුද්ගලයාද යන්න මොනම ලෙසකින් වත් සිතා ගන්නට නොපුළුවන.ඊට හේතුව බෝම්බ ඇටවූ තැනක් ජන අප්‍රිය වනු මිස කෙසේ වත් ජනප්‍රිය නොවන බැවිනි.
මොහු මෙය කොම්පඤ්ඤවීදිය පෞද්ගලික රෝහලේ තැබුවා නම් එය සිතාගත හැකිය. මන්ද බිරිඳ මිය ගියේ එම රෝහලේ වරදින් බවට මොහු විශ්වාස කරන නිසා ය. ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මොහු මෙය කළා යැයි සිතිය හැක්කේ තම සමීපතමන්ගේ වෙන්වීම දරාගත නොහැකි බැවිනි.
එසේම බෝම්බ විශේෂඥයන් කියන ආකාරයට මෙවන් බෝම්බ ඇටවුමක් නිර්මාණය කිරීමට නම් බෝම්බ පිළිබඳ අති දක්ෂ පුහුණුවක් ද තිබිය යුතුය. මන්ද බෝම්බයේ ආරක්ෂිත අගුල ගැලවූ පසු තත්පර කිහිපයකින් එය පුපුරා යන බැවිනි.
පල්ලියේ බෝම්බය සකසා තිබුණේ ආරක්ෂිත අගුල ඉවත් කොට ඒ වටා රබර් පටි කිහිපයක් බැඳ එය වටා ගිනි කූරු සවි කොට හදුන්කූරක් සවි කිරීමෙනි. හදුන්කූර දැල්වී පැමිණ ගිනිකූරකට දැල්වී පසුව සෙසු ගිනි කූරුදැල්වී රබර් පටි පිළිස්සී අගුල විවෘත වීමෙන් බෝම්බය පුපුරා යන ලෙස මෙම ඇටවුම සකසා තිබූ බව ආරක්ෂක අංශ සදහන් කළේය.මෙවන්නක් කළ හැක්කේ බෝම්බ ගැන හොදින් පුහුණුව ලත් තැනැත්තෙකුට පමණකි.
එසේ නම් ඔහු කව්රුන්ද? බෝම්බය සැකකරුට දුන් බව කියන පුද්ගලයෙකු මේ වන විට රන්න ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අත්අඩංගුවට ගන්නේ සැබෑ සැකකරුවන්ම ද යන ගැටළුව මතු වන්නේ රෝහලේ බෝම්බයට සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන එය ඔවුන්ම කළ බවට සනාථ කරන තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ය. දැන් තවත් පිරිසක් අත්අඩංගුවට ගනිමින් එය කර තිබෙන්නේ මේ අයම බව කීමට තොරතුරු ඉදිරිපත් කරමින් සිටියි.
එහි හොඳම කාරණය වන්නේ රෝහලේ බෝම්බයේ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම කළ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයම මෙහි ද පරීක්ෂණ කණ්ඩායමක් ලෙස සිටින බැවිනි. මේ පරීක්ෂණයන් සිදුවෙන ආකාරය දකින විට පොලිසිය කළ මෙවැනිම දෙයක් ගැන සිහිපත් වේ. එනම් ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන විමර්ශනයයි.
එම විමර්ශණයේදී අත්අඩංගුවට පත්වූයේ කාදිරගාමර් ඇමතිවරයාගේ නිවස අසල නිවසේ ගසක අත්තක් කැපූ කූලිකරුවා ය. මන්ද එම ගස කැපීම නිසා ස්නයිපර්කරුට ඝාතනය කිරීමට පහසු වූ බව කියමිනි. අවසානයේ මෙම අහිංසක කම්කරුවා බන්ධනාගාරය තුළදීම මිය ගියේය. යුද්ධය අවසන් වීමෙන් පසු හෙළිදරව් වූයේ වෙනත් කණ්ඩායමක් මෙය කළ බවකි.
මෙම කම්කරුවා ඊට කිසිදු සම්බන්ධයන් නැති බව හෙළිවූයේ ඔහු බන්ධනාගාරය තුළ දුක් විඳ මිය ගියාටත් පසුව ය. එම නිසා පොලිසිය කුමන හෝ අයුරකින් පරීක්ෂණ අවසන් කිරීම වෙනුවෙන් මෙවැනි දේ කරයි. දේශපාලන අවශ්‍යතා මත තවත් දේ කරයි.
ඉතින්, එම නිසා බෝම්බ අටවා රෝහලක් ජනප්‍රිය කරවීමේ ලෝක පුදුමයත් අපේ රටින් වාර්තා වන පසුබිමක මෙවැනි පරීක්ෂණ ගැන ජනතාව තුළ සැක මතුවීම වැළැක්විය හැකිද?
ලසන්ත වීරකුලසූරිය