බෞ.කො ජනරාල් තුමාට “දෙයියන්නේ හාල්”කැවිල ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

සබරගමු මහ සමන් දේවාලයේ නිල මඩුල්ල දේවාල ඉතිහාසයේ ප්‍රථම වතාවට විරෝධතාවක් සිදු කළ බව දැන ගන්නට ඇත.දේවාලයේ නිල මඩුල්ල ඇතුලු කට්ටලේ හා පිට කට්ටලේ ලෙස කොටස් දෙකකි. කපු ,බත් වඩන ,පැන් වඩන,පලිහන,කුඩ, චාමර, උඩුවියන්,ලන්ස ලෙස නම්කර ඇති නිල එකකින් දෙක බැගින් ඇතුල් කට්ටලේට අයත්‍ ය.පිට කට්ටලේ නිල වලට රටනායක, බස්නායක,රතනායක,මුදන්නායක,වන්නකු හා මොහොට්ටලවරු අයත්‍ වෙති. අතීතයේ දී මේ කට්ටල් දෙකේම නිල සියල්ල කිසියම් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අනුව පත් විය.දඹදෙනියේ දෙවන පරාක්‍රමබාහු රජු සමයේ ආර්ය කාමදේව ඇමතිවරයා විසින්‍ රජ අණින් ස්ථාපිත කෙරුණු බව පැවසෙන මෙම දෙවාලය කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු මහරජු විසින් ආර්ය කාමදේවයන්ගේ මී මුනුබුරු නීලපෙරුමාලුන් ලවා කහවනු 24000ක් වියදම් කර ප්‍රතිසංස්කරණය කරවා ප්‍රධන නිල පත්කර ඔවුන්ට රාජකාරී නියම කළ බව හයවන පරාක්‍රමබාහු ගල් සන්නසෙන් කියැවේ. හයවන පරාක්‍රමබාහු රජු විසින් නිකුත් කළ ගල් සන්නසේ දේවාලය ප්‍රතිසංස්කරණය කළ නීල පෙරුමාලුන්ට බණ්ඩාරනායක පදවිය ලැබී බස්නායක පදවිය ද මහ රජු විසින් ලබාදුන් බවද සඳහන්‍ ය.සුප්‍රකට බණ්ඩාරනායක පරපුරේ මුල නවගමුව පත්තිනි දේවාලයට සම්බන්ධ කරමින් මයිකල්‍ රොබොට්ස්, වික්ටර් අයිවන් වැනි අය තම ලේඛන වල සඳහන් කරත්. ඒ පරපුරේ ආරම්භකයා සේ සැලකෙන නීල පෙරුමාල් බණ්ඩාරනායක බවට පත්වුණේ සබරගමුවේ මහ සමන් දේවාලයේ දී බව මින් තහවුරු වේ. එය තවදුරටත් තහවුරු කරමින් සමන් දේවාලයේ ඉපැරණි කොඩියක් හා පෘතුගීසී විසින් කඩා දැමූ හය වන පරාක්‍රම බාහු රජුගේ ගල් සන්නසේ කැබැල්ලක් ගල්කිස්සේ බණ්ඩාරනායක පවුලක් භාරයේ ඇති බව මඩලගම වජිරබුද්ධි හිමියෝ සිය “සමන් දෙවිඳු හා දේවාල” ග්‍රන්ථයේ සඳහන් කර ඇත .බණ්ඩාරනායක වරුන් මේවා පාරම්පරිකව ආරක්ෂා කළ බවක් ඉන් පැහැදිලිවන අතර එසේ වන්නට හේතුව ඔවුන්ගේ පරපුරේ ආරම්හකයාට හා දරු මුනුබුරු පරපුරට එහි බස්නායක නිලය ප්‍රදානය කිරීමත් වන්නට ඇත. කෙසේ වුවද මහ සමන් දෙවොල යනු අනාදිමත් කාලයක සිට පැවතගෙන එන සබරගමු සංස්කෘතියේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානයයි. සබරගමු වැසියෝ බුදුන් ප්‍රමුඛස්ථානයේ ලා සලකන නිසා ශ්‍රීපාදස්ථානය මුදුන් මල්කඩ සේ සලකමින් එය සුරකින සමන් දෙවිඳුන් ස්වකීය ආරක්ෂකයා සේ සලකති.නුවර කලාවියට ජය සිරිමා බෝධියත්, මහනුවර ඇතුලු කන්ද උඩරටට ශ්‍රී දළදා වහන්සේත් මුල්කරගත් සංස්කෘතීන් බිහිවුණා සේ සබරගමු සංස්කෘතියේ පදනම වන්නේ ශ්‍රී පාදස්‍ථානය සුරකින සමන් දෙවිඳුන් පිළිබඳ. විශ්වාසයයි.සාම්ප්‍රදායික සබරගමුව යනු කුරුවිට නව දුන්, කුකුළු, අටකලන් මැද කඩවත් හා කොලොන්න කෝරළ ඇතුලත් වත්මන් ‍රත්නපුර දිස්ත්‍රික්කයයි.මේ සබරගමු වාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇති සංස්කෘතික කේන්ද්‍රස්‍ථානය වන සබරගමු මහ සමන් දෙවොල ආශ්‍රිතව පැන නැඟී ඇති අර්බුදය සමන් දෙවි බැතිමතුන්ට විශාල ගැටලුවකි.ඉකුත් දිනයෙක දේවාලයේ රාජකාරි නිල මඩුල්ල විරෝධය දක්වා ඇත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් තාවකාලිකව බස්නායක නිලමේ වරයෙකු පත් කිරීම හා එම පත්කිරීමේ දී සම්ප්‍රදායට ගරු නොකළේයැයි පවසමිනි.

සම්ප්‍රදායක් ලෙස බස්නායක නිලමේ වරයෙකු පත් කළ දේවාලවල භාරකරුවන්නේ බස්නායක නිලමේ ය.එබඳු දේවාලයක බස්නායක නිලමේ තනතුරේ පුරප්පාඩුවක් ඇති වූ විට මාස තුනක් ඉක්ම යන්නට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් උඩරට පලාතක දේවාලයක් නම් ඒ දේවාලය පිහිටි දිස්ත්‍රික්කයේ බෞද්ධ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන් , උඩරට නොවන පලාත්වල දේවාලයක් නම් ඒ දිස්ත්‍රික්කයේ බෞද්ධ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්, එම දිස්ත්‍රික්කයේ දේවාලවල බස්නායක නිලමේවරුන්, දේවාලය පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම විහාරස්‍ථානවල ගිහි භාරකරුවන්, මසක කල් දීමකින් කැඳවා පවත්වන සභාවක දී නව බස්නායක නිලමේ වරයෙකු තෝරා ගත යුතු වේ.මේ සභාවේ දී බස්නායක නිලමේ ධුරය සඳහා එක් නමකට වැඩියෙන් යෝජනා වුවහොත් රහසිගත ඡන්දයකින් වැඩිම ඡන්ද ලබාගන්නා තැනත්තා බස්නායක නිලමේ ලෙස තෝරා ගත යුතු ය.

බෞද්ධ විහාර දේවාලගම් පිලිබඳ ආඥා පණතේ 4 වන වගන්තිය යටතේ පාලනය වන සිද්ධස්ථානවල දේපල පරිපාලනය සඳහා භාරකරුවෙකු පත් කිරීම සඳහා විධිවිධාන එම ආඥා පණතින් සලස්වා ඇත. එම ආඥා පණතේ 7වගන්තිය අනුව දළදා මාලිගාවේ භාරකරු වන්නේ දියවඩන නිලමේ වරයා ය.දියවඩන නිලමේ වරයා පත්වන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් මුලසුන දරණ තෝරා ගැනීමේ මහ සභාවකදී ය.ඊට සහභාගී වන්නට අවසර ඇත්තේ මල්වතු අස්ගිරි මහ නාහිමි දෙපල, උඩරටට අයත් දිසාවල බෞද්ධ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන් උඩරට දිසා වල දේවාල බස්නායක නිලමේවරුන් හා වාර්ෂික ආදායම රුපියල් තුන්දහසට වැඩි උඩරට පලාත්වල විහාරස්‍ථානවල භාරකරුවන් යන අයට පමණි.අටමස්ථානයේ භාරකරු වන්නේ අටමස්ථාන සභාව ය.එහි සාමාජිකයින් තුන්දෙනෙකි.ඒ අටමස්ථානාධිපතින් වහන්සේ.නුවර වැව පවුලේ ප්‍රධානියා,මල්වතු අස්ගිරි ශ්‍රීපාදස්ථාන නාහිමි තුන් පළ විසින් පත්කරන එක් නියෝජිතයෙකු වශයෙනි.අටමස්ථාන සභාවේ සාමාජික පුරප්පාඩුවක් ඇතිවුණොත් ඒ සාමාජිකයා අයත් වන පාර්ශවය විසින් නව සාමාජිකයෙකු පත් කළ යුතු වේ.

සම්ප්‍රදායක් ලෙස බස්නායක නිලමේ වරයෙකු පත් කළ දේවාලවල භාරකරුවන්නේ බස්නායක නිලමේ ය.එබඳු දේවාලයක බස්නායක නිලමේ තනතුරේ පුරප්පාඩුවක් ඇති වූ විට මාස තුනක් ඉක්ම යන්නට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් උඩරට පලාතක දේවාලයක් නම් ඒ දේවාලය පිහිටි දිස්ත්‍රික්කයේ බෞද්ධ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන් , උඩරට නොවන පලාත්වල දේවාලයක් නම් ඒ දිස්ත්‍රික්කයේ බෞද්ධ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්, එම දිස්ත්‍රික්කයේ දේවාලවල බස්නායක නිලමේවරුන්, දේවාලය පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම විහාරස්‍ථානවල ගිහි භාරකරුවන්, මසක කල් දීමකින් කැඳවා පවත්වන සභාවක දී නව බස්නායක නිලමේ වරයෙකු තෝරා ගත යුතු වේ.මේ සභාවේ දී බස්නායක නිලමේ ධුරය සඳහා එක් නමකට වැඩියෙන් යෝජනා වුවහොත් රහසිගත ඡන්දයකින් වැඩිම ඡන්ද ලබාගන්නා තැනත්තා බස්නායක නිලමේ ලෙස තෝරා ගත යුතු ය.මීට අදාල විධිවිධාන සලස්වා ඇත්තේ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පණතේ 8(2)වගන්තිය ප්‍රකාරව ය.මෙසේ පත් කළ හැකි භාරකරුවෙකු නැත්නම් බස්නායක නිලමේ කෙනෙකුගේ සුදුසුකම් ආඥා පණතේ 14 වගන්තියේ දැක් වේ.ඒ සුදුසුකම් මෙසේ ය.රුපියල් දහසකට වටිනාකමට වඩා නිරවුල් දේපල හිමි හෝ රුපියල් පන්සීයකට නොඅඩු වාර්ෂික ආදයම් ලබන්නෙකු වීම,අපරාධමය වරදකට අධිකරණයෙන් දඩුවම් ලැබූවෙකු නොවීම,කිසියම් වෘත්තියක් රක්ෂාවක් හෝ කර්මාන්තයක් කිරීම ලිඛිත නීතියකින් තහනම්ව නොමැති අයෙකු වීම,රජයේ රැකියාවක නිරත වන්නෙකු නොවීම,සිද්ධස්ථානයක නිල කාරයෙකු හෝ බදු කරුවෙකු නොවීම වයස අවුරුදු හැත්තෑවට වැඩි අයෙකු නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ගේ අනුමැතිය ලබා තිබීම යන සුදුසුකම් භාරකරුවෙකු නැත්නම් බස්නායක නිලමේ වරයෙකු සතු විය යුතු ය.මෙසේ පත්වන බස්නායක නිලමේ වරයෙකුගේ නිල කාලය අවුරුදු පහකි.අවුරුදු පහ සම්පූර්ණ වූ බස්නායක වරයෙකු යළි පත්වීමට සුදුස්සෙකු වන අතර එක් වර්ෂය බැගින් උපරිම වාර දෙකක් පමණක් දීර්ඝ කිරීම ජනාධිපතිවරයා විසින් කළ හැකි වේ. ජනාධිපති වරයා විසින් සේවය දීර්ඝ කර හෝ නොකර බස්නායක නිලමේ වරයෙකුගේ නිල කාලය අවසන් වූ පසු විහාර දේවාල ගම් ආඥා පණත ප්‍රකාරව තේරිම් සභාව පවත්වා මාස තුනක් තුළ නව බස්නායක නිලමේ වරයෙකු පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා බැඳී සිටියි.

සබරගමු මහ සමන් දේවාලයේ තේරීම් සභාවකින් පත්වූ බස්නායක නිලමේ වරයෙකු සිටි අතර ඔහුගේ නිල කාලය අවසන් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ලබා දුන් එක් සේවා දීර්ඝයක් නිමකර තිබියදී දෙවැනි සේවා දිගුව ලෙස මාස හයක කාලයක් සේවය දීර්ඝ කර තිබුණි. එම මාස හයේ කාලය පසුගිය දෙසැම්බර් 31දිනෙන් නිමවූ අතර. ඉන් පසුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින්‍ තාවකාලික බස්නායක නිලමේ කෙනෙකු පත් කිරීමට ක්‍රියා කරන ලදී.මේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සිදු කළ ක්‍රියාවේ පූර්ව සූදානම ලෙස දෙසැම්බර් අග සතියේ පමණ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ගේ කාර්යාලයට පැමිණි පිරිසක් සමන් දේවාලයට වැඩ බලන බස්නායක වරයෙකු පත්කරන ලෙසට ඉල්ලීම් කරනු රූපවාහිනියේ විකාශය කෙරිණි. සම්බන්ධිකරණ කමිටු සභාපතිවරයා ද නව බස්නායක කෙනෙකු පත්කරන බව ප්‍රකාශ කරනු ද දක්නට ලැබිණි.මේ අනුව නව තාවකාලික බස්නායක නිලමේ වරයා පත්කිරීම පිටුපස දෙශපාලන මැදිහත්වීමක් ඇති බව සක් සුදක් සේ පැහැදිලි ය. දැන් ගැටලුව වී ඇත්තේ මෙසේ පත්.කල නව තාවකාලික බස්නායක නිලමේවරයාව සමන් දේවාලයේ රාජකාරි නිල මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමයි.

දේවාල කාර්ය මණ්ඩලයේ දැඩි විරෝධයට නව වැඩ බලන බස්නායක පත්වීම පාත්‍ර වී ඇත්තේ දේවාලයේ මෙතෙක් පැවතුණු සම්ප්‍රදායන් කඩ කරමින් පුද්ගලයෙකු පත් කිරීම යි.බස්නායක ධුරය දේවාල දේපල භාරකාරිත්වය දරන ප්‍රධානතම තනතුර වේ.එකී තනතුර දරන්නා සැලකෙන්නේ දේවාලයේ නිල මණ්ඩලයේ ද ප්‍රධානියා ලෙසයි.තමන් සම්ප්‍රදාය අනුව රාජකාරි කරන දේවාලයේ නිල මඩුල්ලේ ප්‍රධානියා ලෙස දෙවාල රාජකාරි පිළිබඳ සාම්ප්‍රදායික සම්මතයට අනුව නුසුදුස්සෙකු ආණ්ඩුවේ දේශපාලන බලය යොදාගෙන පත් කිරීමෙන් දෙවාලයට නිග්‍රහයක් කර ඇතැයි එහි රාජකාරි නිල මඩුල්ල සිතන බව පෙනේ.ඒ සම්බන්ධව රටවැසියන් වූ අපට කීමට ඇත්තේ බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වන ස්ථානවල නීතිය අනුව සිදු කරන රාජ්‍ය මැදිහත්වීම් වලදී ද සම්ප්‍රදාය පිළිබඳව ද සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය බව පමණි. ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවල යොදවා සිටින පොලිස් නිලධාරීන් සිය නිල ඇඳුමේ අංග වන පාවහන් හිස් වැසුම් ඉවත් කර මාලිගාවට පිවිසෙන්නේ නිල ඇඳුම්‍ රෙගුලාසියට වඩා සම්ප්‍රදයට ගරු කිරීම වැදගත් නිසා ය.ත්‍රිවිධ හමුදා පතිවරුන් ඇතුලු හමුදා නිලධාරීන් ජය ශ්‍රී මහ බෝධිය ශ්‍රී දළඳා මාලිගාව විහාරස්ථාන ආගමික ස්ථාන ආදියට ඇතුලුවීමේදී ද නිල ඇඳුමේ අංග වන පාවහන් හා හිස්වැසුම් ඉවත් කරන්නේ සම්ප්‍රදාය නීතියට ඉහළින් සලකමිනි.ඒ අනුව දේවාල වල භාරකරුවන් පත්කිරීමේදී ද දේශපාලන බලය යොදවා තමන්ට අවශ්‍ය කෙනා පත්කරමින් සම්‍ප්‍රදායන් නොතකා හැරීම අයෝග්‍ය ය.

සම්ප්‍රදාය උල්ලංඝණය කරමින් සිදු කළ මේ වැඩ බලන පත්කිරීම නීතියට අනුකූල ද යන්න ගැන අප මෙහි දී සොයා බැලිය යුතුවේ.දේවාලයක බස්නායක ධුරයට තාවකාලික පත්කිරීම් කිරීම ගැන විධිවිධාන පනවා ඇත්තේ ආඥා පණතේ 17 වගන්‍තියෙනි.එහි දැක්වෙන්නේ මෙසේ ය
“යම් භාර කාරයෙකු තනතුර ප්‍රතික්ෂේප කළ විට හෝ ඔහුගේ මරණය ,නිලයෙන් අස්වීම, දුර්වල කම අයෝග්‍යතාව,නිලය අතහැර දැමීම ,නිලය තහනම් වීම,නිලයෙන් නෙරපා හැරීම හෝ වස්තු භංගත්වය ඇතිවූ විට ඒ පුරප්පාඩුවට කෙනෙකු පත්කරන තුරු තනතුරේ කටයුතු ඉටු කිරීම පිණිස තාවකාලික පිළිවෙලක් සලසන්නට බෞද්ධ කටයුතු කොමසාරිස්ට වරයාට බලය තිබේ.”

ඉහත වගන්තිය අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාට තාවකාලික බස්නායක කෙනෙකු පත් කළ හැකි වන්නේ ඉහත සඳහන් ආකාරයෙන් පුරප්පාඩුවක් ඇති වුව හොත් පමණි. එසේවුව ද සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක ධුරයේ පුරප්පාඩුව ඇතිවුණේ හිටපු බස්නායක නිලමේගේ ධුර කාලය නිමවීම නිසා ය.ධුර කාලය අවසන ඇතිවන පුරප්පාඩුවට තාවකාලික අයෙකු පත්කිරීමට බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට නීතියෙන් ලබා දී නැත.කොමසාරිස් ජනරාල් වරයා කළ යුතුව තිබුණේ පුරප්පාඩුව සඳහා ස්ථිර අයෙකු පත් කිරීම පිණිස ඔහු නෛතිකව බැඳී සිටින තෝරගැනීමේ සභාව පැවැත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ය.ආඥා පණතේ පැහැදිලිව මෙසේ සඳහන් වෙද්දී ඉකුත් ජනවාරි 6 දා සවස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ වැඩ බලන කෙනෙකු පත්කරන්නට තමන්ට බලය ඇති බව ය.ස්ථිර කෙනෙකු පත්වන තුරු වැඩ බලන කෙනෙකු පත්කිරීමට තමන්ට බලයක් ඇතැයි කොමසාරිස් ජනරාල් වරයා මාධ්‍යයෙන් බේරී ගියාට කවුරුන් හෝ අධිකරණය ඉදිරියට ගියොත් ඔහුට ඔය කතාව ඔහොම කියා බේරෙන්නට බැරිවෙනු ඇත.තමන්ට ඇති බලය අධිකරණය ප්‍රශ්න කරන විට එය පැහැදිලිව පෙන්වීමට ඔහුට සිදුවේ.මීට පෙර පස්ගම නාථ දේවාලයට ඔය අන්දමින් වැඩ බලන්න බස්නායක වරයෙකු පත්කර සති දෙකක් තුළ අධිකරණ නියෝගයක් අනුව ඒ පත්වීම අවලංගු කරන්නට මේ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්වගාමී කොමසාරිස් ජනරාල්වරයෙකුට සිදුවූ බව මට මතක ය. මේ සියල්ල නොතකා ඔහු හිතුමතේ ක්‍රියා කරන්නේ තමන්ට හිතූදේ කළ හැකි යැයි සිතා විය හැකි ය.රාජ්‍ය නිලධාරීන්ට නීතියෙන් නියම කර ඇති රාජකාරි නීතියෙන් නියම කර ඇති අන්දමට ඉටු කරනවා මිස තම තමන්ට ඕනෑ දේ කිරීමටත් තමන් හිතෙන පරිදි වැඩ කිරීමටත් නොහැකි බව අවබෝධ කර ගැනීම රටේ යහපතට හේතු වේ. සබරගමු මහ සමන් දේවාලයට තාවකලික බස්නායක වරයෙකු මේ අවස්‍ථාවේදී පත්කිරීම නිසි බලය නොමැතිව කළ අන්තනෝමතික පත්වීමක් බව බෞද්ධ විහාර දේවාලගම් ආඥා පණතට අනුව බැලූ බැල්මට ම පෙනේ.කාගේ කීමට කාගේ ඕනෑ කමට මෙය කලත් සායම යන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ ය.ඔහු පසුගිය 06 වන දා දැක්වූ අදහස් අනුව සායම යවා ගන්නා තුරුම ඔහු මෙසේ ක්‍රියා කරනු ඇතැයි සිතේ.

කිසියම් පුද්ගලයකු ගේ අවිචාරවත් ප්‍රකාශ හා ක්‍රියා කලාපයන් හමුවේ “මේ මිනිහට දෙයියන්නේ හාල්”කැවිල ද? මන්දා” යනුවෙන් සබරගමු ගැමියන් ද පවසන බව අපි දනිමු.ඒ අනුව මෙය සබරගමු ජනතාවගේ අති ගෞරවාදරයර් පත් සමන් දෙවියන් හා දේවාලය සම්බන්ධ “අවනඩුවක්” නිසා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තුමාට දෙයියන්නේ හාල් කැවිල ද?” මන්දා යනුවෙන් සබරගමුවේ ගැමියන් නොකියන බවට සහතික වන්නට මට නම් නොපුළුවන.

ඊළඟට මෙසේ පත් කළ අය දේවාලයේ ඉඩමක බදුකරුවෙකු හෝ නිල පංගුකරුවෙකු බවට ද ප්‍රචාරය වෙමින් ඇත.එසේම පත්වූ කෙනා වයස හැත්තැවට වඩා වැඩි අයෙකු බව ද කියැවේ.මේ සියල්ල සත්‍ය නම් භාරකාර ධුරයට නීතියෙන් නියම කර ඇති සුදුසුකම් වත් පරීක්ෂා නොකර අදාල පුද්ගලයාව පත් කිරීමෙන් බලවත් වරදක් මෙම පත්වීම දුන් අය සිදුකර ඇත..අනික් අතට මේ පත්වීම සඳහා කෙනෙකු තෝරාගත්‍තේ කවර ක්‍රමයකටද? එහිදී අනුගමනය කළ පරිපාටිය කුමක්ද යන්නත් මහ ජනතාවට පැහැදිලි කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට හැකියාවක් තිබේද? මේ අනුව මහ සමන් දේවාලයේ භාරකරු ලෙස කර ඇති වැඩ බැලීමේ පත්වීම කිසිදු නෛතික සුදුසු කම් පරීක්ෂාවකින් තොරව නිසි නෛතික බලයක් නොමැතිව.සම්ප්‍රදායට ද පටහැනි අනීතික පත්වීමක් ලෙස සිදු කර ඇති බව පෙන්වා දිය හැකි ය.මීට පෙර අවස්ථාවල මෙබඳු පත්වීම් කර අධිකරණ නියෝග මත ඒවා අවලංගු කිරීමටත් තමන්ගේ පූර්වගාමීන්ට සිදුවූ බව කොමසාරිස් ජනරාල්වරයා දැනගත යුතුව ඇත. බෞද්ධ කටයුතු විෂය භාර අමාත්‍යවරයා වනුයේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය ධුරයක් හෙබ වූ උගත් බුද්ධිමත් දේශපාලනඥයෙකි.බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විය යුතු ය.එවන් අයත් තීරණ ගන්නේත් මෙසේ නම් මේ රටේ නීතියේ පාලනය ස්ථාපිත කරන බවට කරන ආණ්ඩුව කරන ප්‍රකාශ හුදු සම්පප්ප්‍රලාප සේ බැහැර කිරීම හැර කළ හැකි අන් දෙයක් අපට නැත.
කිසියම් පුද්ගලයකු ගේ අවිචාරවත් ප්‍රකාශ හා ක්‍රියා කලාපයන් හමුවේ “මේ මිනිහට දෙයියන්නේ හාල්”කැවිල ද? මන්දා” යනුවෙන් සබරගමු ගැමියන් ද පවසන බව අපි දනිමු.ඒ අනුව මෙය සබරගමු ජනතාවගේ අති ගෞරවාදරයර් පත් සමන් දෙවියන් හා දේවාලය සම්බන්ධ “අවනඩුවක්” නිසා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තුමාට දෙයියන්නේ හාල් කැවිල ද?” මන්දා යනුවෙන් සබරගමුවේ ගැමියන් නොකියන බවට සහතික වන්නට මට නම් නොපුළුවන.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර