“මට ගැස්ට්‍රයිටිස්” ඔබටත් එහෙම හිතෙනවාද ?

බඩ පපුව ආශ්‍රිතව හටගන්නා ඕනෑම රෝගී තත්ත්වයක් සමහරු ගැස්ට්‍රයිටිස් ලෙස වරදවා වටහා ගනිති. එසේම ගැස්ට්‍රයිටිස් රෝගය වැළඳී ඇති විටෙක එය වෙනත් භයානක රෝගයක්යැයි සිතා බිය වන අයද සිටිති. ඒ නිසා අපි ගැස්ට්‍රයිටිස් රෝගය ගැන සොයා බලමු.
මෙය ආකාර දෙකකට වැළඳිය හැකි රෝගයකි. එනම් හදිසියේම යම්කිසි තත්ත්වයක් නිසා හටගන්නා Acute gastritis සහ කාලයක් තිස්සේ පවතින Chronic gastritis ය.
මේ කවර ආකාරයකට හටගන්නා ගැස්ට්‍රයිටිස් තත්ත්වයකදී වුවද දැකිය හැකි ප්‍රධානම රෝග ලක්ෂණය නම් උදර ප්‍රදේශයේ නාභියට ඉහළින් දැනෙන පිච්චෙනවාක් වැනි බඩ7දැවිල්ලයි. ඒ සමගම සමහර අයට විස්තර කිරීමට අපහසු තරමේ වේදනාවක් උදර ප්‍රදේශයෙන් දැනෙන්නට පටන් ගනියි. ඉතා සුළු ආහාර ප්‍රමාණයක් ගත් විටෙක වුවද කුස පිරුණු ස්වභාවයක් හා බඩ පුරවා දැමූ ආකාරයක් දැනීම, යන්තම් කුස පිරුණු විටදී පවා උගුරට එන ස්වභාවය සහ හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණද පැවතිය හැකිය. බඩ පපුව දැවිල්ල ස්වභාවය බොහෝ විට දැනෙන්නේ ආහාර ගන්නා වෙලාව පසුවී ආහාර ගෙන විනාඩි 15 – 20 ක් ගතවූ විටදී ය.
ඇතැම් අයට ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය නිසා ආහාර අරුචිය, ශරීරය කෙට්ටුවීම වැනි ලක්ෂණ ද හටගනී. නමුත් වයස්ගත පුද්ගලයකුට එවැනි රෝග ලක්ෂණ පවතින විට එය ගැස්ට්‍රයිටිස් යැයි තමා විසින්ම නිගමනයකට බැසීම හිතකර නොවේ. වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන්ද ආහාර අරුචිය හා සිරුර කෙට්ටුවීම ඇතිවිය හැකි නිසා කල් නොයවා ප්‍රතිකාර කරා යොමු වීම අත්‍යවශ්‍ය ය.

හදිසියේ හටගන්නා ගැස්ට්‍රයිටිස් තත්ත්වයට හේතු :

* නිතර මත්පැන් නොගන්නා අයකු විශේෂ අවස්ථාවකදී ඉතා අධික ලෙස මත්පැන් ගැනීම ( Binge drinking )

* ඇස්ප්‍රින් කාණ්ඩයේ ඖෂධ හෝ බෲෆන් වැනි ඖෂධ වර්ග අධිකව ගැනීම

* කිසියම් හේතුවක් නිසා තදබල ලෙස මානසික ආතතියකට පත්වීම
නිදසුනක් ලෙස බරපතළ සැත්කමකට මුහුණ දෙන්නට සූදානම් වීම, හදිසි අනතුරකට ලක්වීම වැනි තත්ත්වයකදී තදබල ආකාරයට මානසික ආතතියකට පත්වීම. මෙවැනි තත්ත්වයන් නිසා ශරීරයේ හෝමෝන අසමතුලිත වන අතර එවන් අවස්ථාවලදී එතෙක් නොපැවැති ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඉස්මතු වන්නට පුළුවන.

* ආමාශයේ පවතින බැක්ටීරියා විශේෂයක් වන H. Pylori වර්ධනය

ඉහත සඳහන් කළේ හදිසියේ හටගන්නා ගැස්ට්‍රයිටිස්වලට වඩාත්ම බලපාන හේතූන් ය.

දිගුකල් පවතින ගැස්ට්‍රයිටිස් තත්ත්වයට හේතු :

* දීර්ඝකාලීනව මත්පැන්වලට ඇබ්බැහි වී සිටීම

* දිගු කලක පටන් ආහාර රටාවේ අයහපත් වෙනස

* දුම් පානය

* දීර්ඝ කාලීනව මානසික ආතතියෙන් පෙළීම

* කැෆේන් අඩංගු පාන වර්ග නිතර ගැනීම

* මත්පැන්වලට ඇබ්බැහි වූවන් වැඩිපුර මේදය සහිත ආහාර ගැනීම

ප්‍රධාන ආහාර වේල් මඟ හැරීමත්, කලට වේලාවට ආහාර නොගැනීමත් ගැස්ට්‍රයිටිස් රෝගයට ප්‍රබලම හේතුව බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. මව් කිරිවලින් මිදුණු දරුවකු ඝන ආහාරවලට හුරු වූ දා පටන් නිසි වේලාවකට තුන්වේල ආහාර ගන්නට ශරීරය හුරු කරවනු ලබයි. ඒ ආකාරයට නිශ්චිත වෙලාවකට හා යම් රටාවකට ශරීරය හුරු පුරුදු වූ පසු ආහාර ගන්නා වෙලාව ආසන්න වන විටදී ආමාශය තුළ අම්ල එක්රැස් වන්නට පටන් ගනී. ඒ ආහාර ආමාශයට පැමිණි විට දී ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ය. වෙනදා ආහාර ගන්නා වෙලාවට ආමාශයට ආහාර නොලැබුණ ද අම්ල එකතුවීම දිගටම සිදුවෙයි. ඒ ආකාරයට ආහාර රහිතව ආමාශය තුළ අම්ල ක්‍රියාත්මක වීම හේතුවෙන් සෛල ස්ථරයන්ට හානි පැමිණීම සිදුවේ. අම්ල ප්‍රදාහය වීම ලෙස හැඳින්වෙන්නේ මෙයයි.

තමන් ආහාර ගැනීමට හුරුවී සිටින වෙලාවට ප්‍රධාන ආහාර වේල මඟ හැරෙනවා නම් අඩුම වශයෙන් කිරි වීදුරුවක් යෝගට් එකක් හෝ බිස්කට් දෙක තුනක්වත් කුසට දමා ගන්නට අමතක නොකළ යුතුය. නමුත් එලෙස ආහාර වේල් මඟ හැරෙන විටෙක දී රෝල්ස්, පැටිස් වැනි කෙටි කෑම වලට යොමු වීම, මේ තත්ත්වය වඩාත් බරපතළ කරන්නට හේතු වෙයි. එබඳු කෙටි ආහාර මගින් මේද අම්ල වැඩි වන අතර එය ගැස්ට්‍රයිටිස් තත්ත්වයට අත වැනීමකි.

තෙල් අධික, මිරිස් අධික ආහාර මෙන්ම සමහර පුද්ගලයන්ට තක්කාලි වැනි ආම්ලික බව වැඩි ආහාර නිසාද ගැස්ට්‍රයිටිස් තත්ත්වය වඩා වර්ධනය වනු ඇත.
හදිසියේ හටගන්නා ගැස්ට්‍රයිටිස් තත්ත්වය ප්‍රතිකාර මගින් හෝ ඊට අදාළ හේතුව පහව ගිය පසු ඉබේම සුව වී යයි. එහෙත් හදිසියේ හටගන්නා ගැස්ට්‍රයිටිස් තත්ත්වයට යමෙකු නිතර නිතර මුහුණ දෙනවා නම් එය දිගුකාලීන ගැස්ට්‍රයිටිස් තත්ත්වය බවට පත්වීමට ඉඩකඩ පවතී. දිගුකාලීන ගැස්ට්‍රයිටිස්වලට නිසි වෛද්‍ය උපදෙස් මත දීර්ඝකාලීනව ප්‍රතිකාර ගත යුතුය. මෙය සැලකිල්ලෙන් ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් වන අතර නොසලකා හැරීම තුළ විවිධ රෝග තත්ත්වයන් ඇතිවීමටද මග පෑදෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

උදරයේ හා පපුවේ වේදනාව විශාදයේ හෝ වෙනත් රෝගයක රෝග ලක්ෂණ වන අවස්ථා තිබේ. ඒ නිසාම ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ පැමිණි විට “මට ගැස්ට්‍රයිටිස්” යනුවෙන් තමන්ම ඒ සම්බන්ධයෙන් නිගමනයකට නොපැමිණ වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරවමු.

වෛද්‍ය කේමින්ද තිලකරත්න

ඉන්දු පෙරේරා

විනිවිද සායනය