පසුගිය මාර්තු 31 වැනි දා ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළට ලෝකයේ ඉතා උසස් අධ්‍යාපන ක්‍රමයක් වූ STEAM අධ්‍යාපන පද්ධතිය හඳුන්වා දෙනු ලැබිණි. මේ පද්ධතිය හඳුන්වා දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, මේ පද්ධතිය තුළින් සිසුන්ට නිදහසේ, සහයෝගයෙන් සහ භාවාත්මකව ඉගෙන ගත හැකි බවත්, අනෙකුත් විද්වතුන් සමඟ බුද්ධිමය සංවාදවල සහ සාකච්ඡාවල යෙදීමෙන් ඔවුන්ට විෂයය පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්නට නියමිත නව අධ්‍යාපන ප්‍රතිශෝධනයන්ට අනුව හඳුන්වා දී ඇති මේ පද්ධතිය පිළිබඳ බොහෝ දෙනෙකු තුළ විශාල ප්‍රාමාණික අවබෝධයක් නොමැති බව පෙනෙන්නට තිබේ. මේ කෙටි විස්තරය තුළින් ඔබට ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණික අවබෝධයක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
STEAM යන වදන තැනී ඇත්තේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, කලා සහ ගණිතය යන විෂයයන් ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචනවල මුල් අකුරු (STEAM – science, technology, engineering, arts and mathematics) එක් කිරීමෙනි. මේ අධ්‍යාපන ක්‍රමයේ දී මේ වචන පමණක් නොව ප්‍රායෝගික ව මේ විෂයයන් ද ඒකාබද්ධ වෙයි. එකිනෙකට වෙනස් විෂයයන් ගණනාවක් එකතු කිරීමෙන් මේ අධ්‍යාපන ක්‍රමය ගොඩනගා තිබේ. මෙය මුලින්ම 1999 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය පාසල් පද්ධතිය තුළට හඳුන්වා දෙනු ලැබූ අතර එවකට මෙය නම් කර තිබුණේ STEM නමිනි. මන්ද ආරම්භයේ දී මෙයට කලා විෂයයන් ඇතුළත් කොට තිබූ නොමැති බැවිනි. පසුව මෙයට කලා විෂයයන් ද ඒකාබද්ධ කිරීමෙන් පසුව STEAM ලෙස ප්‍රචලිත විය. අද මෙය ලොව පුරා උසස් අධ්‍යාපන පද්ධතියක් ලෙස පිළිගෙන තිබේ. මේ අධ්‍යාපන ක්‍රමය තුළින් 21 වැනි සියවසේ ශ්‍රම බලකාය තුළ සිසුන්ට අවශ්‍ය වන නිර්මාණාත්මක ගැටලු විසඳීමේ සහ විචාරාත්මක චින්තන කුසලතා වර්ධනය කරයි. එය ඉදිරි වසරවල දී මානව වර්ගයාගේ විශාලතම අභියෝග විසඳීමේ එක් ප්‍රධාන සාධකයක් විය හැකිය.
STEAM අධ්‍යාපන පද්ධතිය වැදගත් වන්නේ ඇයි?
දිනෙන් දින සිදුවන විපර්යාසයන්, අභියෝග සහ සංකීර්ණත්වයට මනුෂ්‍යත්වය මුහුණ දෙන බැවින්, නිවැරදිව ප්‍රශ්න කිරීමට සහ නව විසඳුම් සෙවීමට හැකියාව ඇති පුද්ගලයින් අපට අවශ්‍ය වේ. STEAM අධ්‍යාපන ක්‍රමය මගින් ‘කෙසේද‘ සහ ‘කුමක්ද‘ පමණක් නොව ‘කවුද‘ සහ ‘ඇයි‘ යන කාරණා කෙරෙහි ද අවධානය යොමු කරයි. විෂය ධාරාවට අනුව, මෙම STEAM අධ්‍යාපන ක්‍රියාවලියේ දී කිසිම දරුවෙකු පාසලෙන් අතරමග ඉවත් නො කෙරේ. විශේෂයෙන් අනාගත නවෝත්පාදකයින් ගොඩනැගීම මේ අධ්‍යාපන ක්‍රමය මගින් නිර්මාණය කරයි. මනුෂ්‍යත්වය කෙරෙහි වූ බලපෑම සැලකිල්ලට ගනිමින් සැබෑ ලෝකයේ විද්‍යාත්මක ගැටලු වෙත ප්‍රවේශ වීමට මේ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ සිසුන් දිරිමත් කරයි. යමෙක් පවසන කාරණයක් ‘එහෙයි’ වශයෙන් පිළිනොගෙන එය තාර්කිකව විශ්ලේෂණය කොට තමාට පවසනු ලැබූ කාරණය කෙතරම් සත්‍ය ද, යථාර්ථවාදී ද යන්න ස්වකීය බුද්ධියෙන්ම දැන ගැනීම සඳහා මේ ඔස්සේ සිසුන්ට හැකියාව ලබා දෙයි. දේශපාලනය ද මැදිහත්වීමෙන් මෙය කුමන අරමුණක් අරභයා හඳුන්වා දෙනු ලැබුව ද, අන් රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද මෙය නිවැරදිව ක්‍රියාත්මක වුවහොත්, අනාගත පරම්පරාව දේශපාලකයන්ට ‘කඩේ නොයන’ පිරිසක් බවට පත් කරන්නට මේ පද්ධතිය ඉවහල් වනු නොඅනුමාන ය.
STEAM අධ්‍යාපන පද්ධතියේ මූලික අරමුණ වන්නේ නවෝත්පාදනයන් (innovation) වන අතර නවෝත්පාදනය යනුවෙන් මේ ක්‍රමය තුළ දී නිර්වචනය කොට ඇත්තේ විවිධ නවීන තාක්ෂණික උපකරණ හෙවත් ‘ගැජට්’ නිර්මාණය කිරීමට වඩා ඔබ්බට ගමන් කළ දෙයකි. නවෝත්පාදනය යනු අපගේ කාලයේ වඩාත්ම දැවෙන ගැටලු විසඳීමට සහ සෞඛ්‍ය සම්පන්න, තිරසාර අනාගතයක් සහතික කිරීමට අවශ්‍ය සාධකයකි.
STEAM පද්ධතිය මගින් දිනෙන් දින වෙනස් වන ශ්‍රම බලකායේ ස්වභාවයට ගැලපෙන සේ දරුවන් හැඩගස්වනු ලබයි.
අප නව කාර්මික විප්ලවයකට පිවිසෙනවා නම් තවමත් බිහි වී නැති නමුත් අනාගතයේ දී බිහිවන්නට හැකි යැයි සිතිය හැකි බොහෝ රැකියාවන් සඳහා සිසුන් සූදානම් කරන ආකාරයේ ක්‍රමවේදයක් අධ්‍යාපන බලධාරීන් විසින් සකසනු ලැබිය යුතු ය. මිනිසාගේ දක්ෂතාවය සහ නිර්මාණශීලීත්වය සඳහා ආදේශකයක් නොමැත. නිර්මාණශීලීත්වය, විචාරාත්මක චින්තනය සහ නව ගැටලු විසඳීමේ හැකියාව අවශ්‍ය වන රැකියා අනාගතයේ දී කරන්නට සිදු වෙයි. STEAM පද්ධතිය මගින් පුරවාලන්නට සැරසෙන්නේ මේ අවශ්‍යතාවයයි.
බොහෝ සිසුන්ට කලාව සහ මානව ශාස්ත්‍ර හෝ ගණිතය සහ විද්‍යාව යන දෙකෙන් එකක් සඳහා වැඩි යෝග්‍යතාවයක් සහ බැඳීමක් ඇත. STEAM අධ්‍යාපන පද්ධතිය මගින් මේ එක් එක් විෂයයෙහි ඇති සමස්ත දැනුම නොව එයින් අවශ්‍ය වන කොටස් ගෙන සෑම විෂයයක් පිළිබඳවම ප්‍රාමාණික දැනුමක් සිසුන් වෙත ලබා දෙයි. එවිට විද්‍යාව හදාරන සිසුවාට මානව ශාස්ත්‍රය, කලාව වැනි විෂයයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් හිමි වේ. කලා විෂයයන් හදාරන සිසුවාට විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් හිමි වේ. එබැවින් සිසුන් එක් විෂය ධාරාවක් කෙරෙහි පමණක් සම්බන්ධ වී සිටීනවාය යන හැඟීම හෝ යම් යම් විෂයයන්වලින් ඈත් ව සිටින්නේ ය යන හැඟීම හෝ තුරන් වෙයි. ඇතැම් පාසල්වල විද්‍යාව හදාරන සිසුනට තරම් පිළිගැනීමක් කලා විෂයයන් හදාරන සිසුනට නොලැබෙන අවස්ථා දකින්නට ලැබේ. මේ අධ්‍යාපන ක්‍රමය තුළ එවැන්නක් සිදුවන්නට ඉඩක් නැත. එවිට ගැටලු විසඳීමේ දී සහ තමන්ට අදාළ නැතැයි මෙතෙක් කලක් සිතා සිටි විෂයයන් කෙරෙහි වෙනස් ආකාරයකින් දකින්නට ද මෙයින් අවස්ථාව උදාකර දෙයි.
ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රම පවතින රටවලට වඩා අප රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් බැවින් මේ නව අධ්‍යාපන ක්‍රමවේදයන් කුමන ආකාරයකින් ක්‍රියාත්මක වන්නට ඉඩ සැලසෙනු ඇති ද යන්න අපට දැන්මම පැවසිය හැකි දෙයක් නොවේ. මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් තුළින් වහලුන් මෙන් සිතන පරපුරක් බිහි කිරීමට ඉඩ නොලැබේ යැයි වැටහී ගිය තැන දේශපාලන අධිකාරිය කෙසේ ක්‍රියා කරනු ඇති ද යන්න පිළිබඳ අපට පැවසිය නොහැක. එවැනි බාධකයක් නොවී මෙය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත්, වඩාත් සාධනීය පරම්පරාවක් අනාගතය සඳහා බිහිකර ගත හැකි වනු ඇති බව නොඅනුමානය. එසේ සැකයක් නැතිව පැවසිය හැක්කේ ලෝකයේ සෙසු දියුණු රටවල් මෙය මේ වනවිටත් සාක්ෂාත් කරගෙන සිටින බැවිනි.
නිරංජන් චාමින්ද කරුණාතිලක