ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ මනි රත්නම්ගේ අලුත්ම චිත්‍රපටය වූ ‘පොනියින් සෙල්වන්’ පසුගිය දිනවල ලංකාවේ ද තිරගත වූ අතර මෙරට සිනමා ලෝලීහු විශාල පිරිසක් එය නැරඹූහ. ‘පොනියින් සෙල්වන්’ කොටස් දෙකකින් යුතු චිත්‍රපට ද්විත්වයක පළමු කොටස විය. එහි දෙවැනි කොටස ‘පොනියින් සෙල්වන්-2’ ද ළඟදීම ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට එය ලබන 28 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ කරනු ඇත. ‘පොනියින් සෙල්වන්’ පළමු කොටස අවසන් වූයේ ප්‍රේක්ෂකයන් තුළ විශාල කුතුහලයක් ඉතිරි කරමිනි. මේ නිසා එහි දෙවැනි කොටස නැරඹීමට ආසාවෙන් සිටින සිනමා ලෝලීන්ට මෙය ආස්වාදජනක පුවතක් වනවාට සැකයක් නැත.
මෙහි පළමු කොටස ආදායම් අතින් ද වාර්තා පිහිටු වීමට සමත් වූ සිනමාපටයකි. 2022 සැප්තැම්බර් මාසයේ ප්‍රදර්ශණය ආරම්භ කළ එය එම වසරේ වැඩිම ආදායම් ඉපැයූ දෙමළ චිත්‍රපටය ලෙස වාර්තාවක් පිහිටු වූයේය. ඉන්දියානු රුපියල් කෝටි 500 කට (ලංකා රුපියල් කෝටි 2,000 කට) වැඩි ආදායමක් උපයන්නට එය සමත්ව තිබිණි.
මෙම සිනමාපටවලට පසුබිම් වන්නේ ඈත අතීතයේ ඉන්දියාව පාලනය කළ චෝල අධිරාජයන් පිලිබඳ කතා පුවතකි. එය සතුරු ආක්‍රමණ, දේශපාලන කුමන්ත්‍රණ ආදියෙන් සමන්විත ඉතා උද්වේගකර කතාවකි. සුන්දර චෝල නැමැති අධිරාජයාගේ සමයේ ඔවුහු ලංකාව ද ආක්‍රමණය කළහ. මෙම ආක්රමණයන්ට අදාළ සිදුවීම් ද ‘පොනියින් සෙල්වන්’ හි අන්තර්ගත වේ.
මනි රත්නම් අධ්‍යක්ෂණය කළ මෙම දැවැන්ත සිනමාපට දෙකේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ ද ඉන්දියානු සිනමාවේ සුපිරිම නළු නිළියන් ය. කලකට පසු අයිශ්වාර්යා රායිගේ සුවිශේෂී රංගනයක් මේ තුළ දැකිය හැකි වේ. ඇයට අමතරව දකුණු ඉන්දියානු සිනමාවේ අතිශයින් ජනප්‍රිය නළු නිළියන් වන වික්‍රම්, කාර්ති, ජයම් රවි, ත්‍රිෂා වැනි අය ද මෙහි චරිත නිරූපනය කරති. මෙම චිත්‍රපට නිර්මාණය වූයේ මෙයට දශක කිහිපයකට පෙර කල්කි ක්‍රිෂ්ණමූර්ති නැමැති ලේඛකයා විසින් ලියන ලද දීර්ඝ නවකතාවක් ඇසුරෙනි. ඔහු එය රචනා කළේ නවසිය පනස් ගණන්වලයි. මෙම නවකතාව ලියමින් සිටි කාලයේ ඔහු චෝල රජවරුන්ගේ ලංකා ආක්‍රමණයන් ගැන විස්තර සෙවීම සඳහා කිහිප වරක් ලංකාවට ද පැමිණ තිබිණි.
පොනියින් සෙල්වන් චිත්‍රපටවල ඇතැම් ජවනිකා රූපගත කිරීම සඳහා මනි රත්නම් ද ලංකාවට පැමිණීමට සූදානමින් සිටියේය. ඒ 2020 සැප්තැම්බර් මාසයේ යි. එය කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිරෙමින් තිබූ කාලයකි. එම තත්ත්වය තුළ මෙරට පනවා තිබූ සංචාරක සීමා හේතුවෙන් ඔහුගේ කණ්ඩායමට ලංකාවට පැමිණීමට අවසර හිමි වූයේ නැත. චිත්‍රපටයේ සමහර ජවනිකා තායිලන්තයේ ද රූපගත කරන ලද අතර වැඩි හරියක් කැමරාගත කළේ ඉන්දියාවේ යි. දැවැන්ත පසුතල සහිත දර්ශණ කැමරාවට නැගුණේ හයිද්‍රාබාද් හි පිහිටි සුප්‍රකට රමෝජි ෆිල්ම් සිටි :ඍ්පදවස ත්‍සකප ක්‍සඑහ* නැමැති දැවැන්ත චිත්‍රාගාරයේ ය. එය අක්කර 1,700 කට ආසන්න භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු චිත්රාගාර සංකීර්ණයකි.
මෙම චිත්‍රපටවල සංගීත අධ්යක්ෂවරයා ඒ.ආර්.රහ්මාන් ය. ඔහුගේ සංගීතය ද ‘පොනියින් සෙල්වන්’ ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් ලබා දෙයි.
අප්‍රේල් 28 වැනි දින ‘පොනියින් සෙල්වන්’ දෙවැනි කොටස තිරගත වීමට පෙර එහි පළමු කොටස නැවත වරක් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒමට මනි රත්නම් බලාපොරොත්තු වන බවක් ද මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ මෙම පළමු කොටස ගැන නැවතත් ප්‍රේක්ෂකයන්ගේ මතකය අවදි කරනු පිණිස ය. මේ අනුව එම කොටස අප්‍රේල් 21 වැනි දින සිට ඉන්දියාවේ තිරගත කෙරෙනු ඇති බව සඳහන් වේ.
‘පොනියින් සෙල්වන්’ දෙවැනි කොටසේ පූර්ව ප්රචාරක පටය (Trailer) සහ ගීත එළිදැක්වීමේ උත්සවයක් පසුගිය දා මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. පසුගිය මාර්තු 29 වැනි දින මෙම උත්සවය පැවැත්වුණේ චෙන්නායි හි ජවහර්ලාල් නේරු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ යි. එහි ප්‍රධාන අමුත්තා වූයේ දකුණු ඉන්දියානු සිනමාවේ තවත් දැවැන්තයකු වන කමල් හසන් වීම විශේෂත්වයකි.
කමල් හසන් ද ඉදිරියේ දී මනි රත්නම්ගේ අලුත් චිත්‍රපටයක රඟපෑමට නියමිත බවට ආරංචි පැතිරෙමින් තිබේ. මේ දෙදෙනා මෙයට පෙර එකම චිත්‍රපටයක වැඩ කළේ වසර 35 කට කලිනි. ඒ ‘නායකන්’ නැමැති සිනමාපටයේ යි. 1987 වසරේ තිරගත වූ එය විශාල ප්‍රේක්ෂක ආකර්ශණයක් දිනාගත් සිනමාපටයකි. එම සිනමාපටයෙන් පසු මනි-කමල් දෙදෙනා නැවතත් චිත්‍රපටයකට සම්බන්ධ වීමට යන්නේ පළමු වතාවට යි. මෙම අලුත් චිත්‍රපටයට තවමත් නමක් තබා නැත. දැනට එය තාවකාලික වශයෙන් KH 234 යනුවෙන් නම් කර තිබේ.
නිහාල් පීරිස්