මනුස්සකම රැක ගෙනම වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම් සොයමු – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ඉතා මෑත දිනයෙක අපගේ සිසුවියක තමන් වෙත ලැබී තිබූ වට්ස් ඇප් පණිවිඩයක් ම’වෙත යොමු කොට තිබිණ. ඒ මෙලෙසිනි. ‘මහ පාරවල් වල ලගින බල්ලන්ට කෑම දීම විලාසිතාවක් කර ගත්තු නෝනලාටයි මහත්වරුන්ටයි මේ කියන්නේ. ඔයාලා උන්ට ඔච්චරම ආදරේ නම් ඇයි උන්ව ගෙවල්වලට අරන් නොගිහින් මහ පාරවල් වල තියාගෙනම කන්න දෙන්නේ.මොකක් ද ඔය බොරු සෝබනේ ඔයාලා දන්නවද? ඔය පාරවල් වල ඉන්න ජරා බලු හැතිකරේ හින්දා මිනිස්සු විඳින දුක. ප්‍රධානම දේ තමයි අපිරිසිදු කම. උන් ගැවසෙන හැම තැනකම බලු ජරාව. ඒවා වාහනවලට යටවෙලා මුළු පළාතම විතරක් නෙවෙයි අන්තිමේ ගෙවලුත් අපිරිසිදු වෙනවා. අනික බස් නැවතුම් පලවල් වගේ මිනිස්සු ගැවසෙන තැන්වල බලු මැක්කෝ බෝ වෙලා මිනිස්සුත් ලෙඩ වෙනවා. ඒ වගේම ඒ වටපිටාවේ මිනිස්සුන්ට රෑ එළි වෙනකම් නින්දක් නෑ. ඔය බලු හැතිකරේ නඟන කන් කරච්චලේ හින්දා. ඒ මදිවට ඔය එක බල්ලෙකුට පිස්සු හැදුණොත් ඒක හැමෝටම පැතිරිලා මිනිස්සුත් ජලභීතිකාවෙන් මැරෙනවා. ඉතින් පොඩ්ඩක් හිතන්න. ඔය නෝනලා මහත්වරු කරන්නේ මහජනතාවට පීඩාවක්, ජාතික අපරාධයක් නෙවෙයිද?’
(උපුටා දැක්වීම අවසන්)

ඉහත සඳහන් සඳහනට අනුව ප්‍රසිද්ධ ස්ථාන පදනම් කර ගත් එවන් වාස කලාපයන් පදනම් කොට රැක ගන්නා අසරණ සුනඛ ප්‍රජාව සාගින්දරින් ගලවා ගැනීම පිණිස ඔවුනට ආහාර දෙන්නවුන් එම සුනඛයන් තම තමන්ගේ නිවෙස් වල නතර කර ගත යුතුය යන තර්කය පදනම් වූ යෝජනාව යළි සළකා බැලි යුතුය. ඒ එසේ නම් මහ මඟ සිඟමන් යදින යාචකයන්ට ආහාර දීම සඳහා ඔවුන් ද තම නිවෙස් වල නතර කර ගත යුතුද? යන ප්‍රති තර්කය ඊට එරෙහිව නැගීමට යමකුට අවකාශ සැලකෙන බැවිනි.

ඉහත සඳහන් වට්ස් ඇප් පණිවිඩයට ආසන්නතම හේතුව වන්නට ඇත්තේ පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය හා පදනම්ව අගනුවර ජනාධිපති කාර්යාලය සහ අනුරාධපුරයේ වෙසෙන නිවාස අහිමි සුනඛයන් ඉවත් කිරීමට රජය උත්සාහ දැරූ බවට පැතිර ගිය ප්‍රවෘත්තිය විය හැක. නමුත් ඒ සම්බන්ධයෙන් සත්ව ලෝලීන්. අහිංසාවාදීන් සත්ව හිමිකම් ක්‍රියාධරයන් විශාල පිරිසක් ක්ෂණික විරෝධයක් දැක්වීම මත එම තීරණය ව්‍යවර්ථ කරගැනීමට රජයට සිදු වූ බවක් ද අපට අසන්නට ලැබිණ. එමෙන්ම සත්ව හිමිකම් සංවිධාන විසින් රජයේ එම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කොට තිබූ බවක් ද සැලවිය.
සමස්ත ශ්‍රී ලාංකේය ජන සමාජයටම නොවුණත් බොහෝ නාගරික සේම අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාවට ද මානව ජනාවාස ආශ්‍රිතව නිවාස අහිමි සුනඛ ගහණය ඉහළ නැගීම බරපතල ගැටළුවක් වී තිබේ.එනිසාම මෙම අර්බුදය හමුවේ අපගේ ජන සමාජය තුළ ප්‍රබල විසංවාදයක් ද හට ගෙන ඇත. ඉහත සඳහන් වට්ස් ඇප් පණිවිඩය එහි එක් ප්‍රතිඵලයකි. නමුත් විසංවාදය යනු ඕනෑම ප්‍රශ්නයක් දුර දිග යවන්නක් මිස ඒ සඳහා විධිමත් විසඳුමක් උදා කිරීමක් නොවේ.ඒ නිසා මගේ අදහස එම සුසංවාදයේ සමාරම්භක පියවර ලෙස ඉහත සඳහන් වට්සැප් පණිවිඩයෙන් පැවසෙන කරුණ සම්බන්ධයෙන් අප සැම සංවිහාගශීලී විය යුතු බවකි.
මූලික වශයෙන් බලන විට ඉහත සඳහන් තොරතුරෙහි යම් සත්‍යතාවක් තිබේ.සියල්ලට පළමුව අප එය අප පිළිගත යුතු ය. එහෙත්,යම් තත්වයක් උද්ගත වීම සම්බන්ධයෙන් විමසා බලන විට එහි ඵලය සේම ඒ සඳහා මුල්වන හේතුව හෝ හේතු ද විමසා බැලිය යුතු වේ. සමාජ විද්‍යාත්මකව එය හඳුන්වනුයේ හේතු ඵලත්වය (Causation ) යනුවෙනි.බුදු දහමේ ඉගැන්වෙන පටිච්ච සමුප්පාද හෙවත් හේතු ඵල ධර්මයේ න්‍යායාත්මක පදනම ද එයයි.

ඉහත සඳහන් වට්සැප් පණිවිඩයෙහි සඳහන් අන්දමට අයාලේ යන සුනඛයන් ලෙසින් ද සැලකෙන නිවාස අහිමි සුනඛයන් වීදි,මහා මාර්ග ආශ්‍රිතව විසීම අසත්‍යයක් නොවේ. ප්‍රධාන වශයෙන් තම ජීවිත පවත්වා ගෙන යාමට අවශ්‍ය ආහාර සපයා ගැනීම පිණිස නාගරික සහ අර්ධ නාගරික මානව ජනාවාස තම වාස කලාපයන් (Territory ) වශයෙන් තෝරා ගැනීමට ඔවුනට සිදුවීම එයට හේතු වී තිබේ.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යුතුව ඔවුන් එම ප්‍රදේශවල රෑඳී සිටින අතර බොහෝ මානව ජනාවාස මහා මාර්ග ආශ්‍රිතව පිහිටීමත් එම වාස කලාපයන් තුළ ආහාර ලබා ගැනීමට ඇති අවම හැකියාවත් ඒ සඳහා බලපාන බව ආසන්නම හා ද්‍රෘශ්‍යමාන හේතුවකි.මෙහි දී එක් එක් වාස කලාපයන් වල සුනඛ ප්‍රජාව කොටස් වලට බෙදී ජීවත් වනු නිරීක්ෂණය වේ.
ඒ අනුව ඉහත සඳහන් සඳහනට අනුව ප්‍රසිද්ධ ස්ථාන පදනම් කර ගත් එවන් වාස කලාපයන් පදනම් කොට රැක ගන්නා අසරණ සුනඛ ප්‍රජාව සාගින්දරින් ගලවා ගැනීම පිණිස ඔවුනට ආහාර දෙන්නවුන් එම සුනඛයන් තම තමන්ගේ නිවෙස් වල නතර කර ගත යුතුය යන තර්කය පදනම් වූ යෝජනාව යළි සළකා බැලි යුතුය. ඒ එසේ නම් මහ මඟ සිඟමන් යදින යාචකයන්ට ආහාර දීම සඳහා ඔවුන් ද තම නිවෙස් වල නතර කර ගත යුතුද? යන ප්‍රති තර්කය ඊට එරෙහිව නැගීමට යමකුට අවකාශ සැලකෙන බැවිනි.

මෙම නිවාස අහිමි සුනඛ ප්‍රජාව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීමේදී ඔවුන් නිදැල්ලේ හැසිරෙන සුනඛයන්(Free ranging dogs ). ලෙස ද හඳුනා ගත හැකිව තිබේ. එමෙන්ම මෙම සුනඛයන් අතරේ ද හිමිකරුවන් සහිත සහ හිමිකරුවන් රහිත යනුවෙන් ද කොටස් දෙකකි. මොවුන් අතරින් ඇතැම් සුනඛයන් හිමිකරුවන් ඇති නැති යන අවිනිශ්චිත පරාසයකට ද අයත් වනු පෙනේ. එමෙන්ම එක් හිමිකරුවකු ගේ හෝ පවුලක භාරකාරත්වය නොමැති වීම මත නිවාස අහිමි සේ සැලකුණ ද මෙම සුනඛ ප්‍රජාවෙන් යම් කොටසක් එම වාස කලාපයන් ආශ්‍රිත මිනිස් ප්‍රජාවගේ රැකවරණයට ලක්වීම් ද වාර්තා වී තිබේ. ඔවුන් ප්‍රජා සුනඛයන් (Community dogs ) ලෙස හැඳින්වීම නිවැරදි ය.

ඉහත සඳහන් වට්ස් ඇප් පණිවිඩයට අනුව මානව ජනාවාස ආශ්‍රිත මහා මාර්ග සුනඛයන් ගෙන් ගහණ වීම මුල් කොට ඉන් ජන ජීවිතයට පීඩා එල්ල වන පුවතේ බැලූ බැල්මට පෙනෙන සත්‍යතාවක් තිබේ. එහෙත්`, පොදුවේ ගත් කල නාගරික සේම අර්ධ නාගරික මානව ජනාවාසකරණය යනු තම පරිභෝජනය උදෙසා මිනිසා විසින් භූමිය කොටස් කර වෙන් කර ගැනීමක් බව ඉතා පැහැදිලි ය. අද වන විට ඒ වෙන් කර ගැනීම කොතෙක් තීව්‍රද යත් සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් එවන් භූමි සීමාවකට මැස්සකුට වත් පිවිසිය නොහැක. නිදසුනක් ලෙස ගත හොත් නාගරික මානව ජනාවාසයක වර්ග කිලෝමීටරයක භූමි ප්‍රමාණයක් ගත හොත් ඉන් වැඩි ප්‍රමාණය මානව ග්‍රහණයට පත්ව තිබේ. එම බිම් ප්‍රමාණයෙන් සුනඛාදි සතුන් හට ශේෂව පවතිනුයේ මහා මාර්ග ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන වශයෙන් සැලකෙන ඉතා සීමිත භූමි ප්‍රමාණයක් පමණි. ව්‍යවහාරික වශයෙන් පැවසුව හොත් එය ඔවුන් මහ පාරට ඇද වැටීමකි. ඒ අනුව කුඩා භූමි පරාසයක් තුළ වැඩි සුනඛ සංඛ්‍යාවක් විසීම ඔවුන් ගේ ප්‍රජජනනය ඉහළ යාමට ද හේතු වී තිබේ. එය හුදු මානව ක්‍රියාකාරකම් මත එම සුනඛයන් පත්ව ඇති කාලීන අර්බුදයක් මිස ඔවුන්ගේ වරදක් නොවන බව අතිශයින් පැහැදිලි ය.

පුරා විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන ඇති අන්දමට මිනිස් සුනඛ සහ සබඳතාව මීට වසර පහලොස් දහසකටත් වැඩි කාලයක් මුළුල්ලේ අඛණ්ඩව පැවැත එන්නකි.එය මිනිස් ශිෂ්ටාචාරය ඇරඹීමටත් බොහෝ පෙර යුගයකි. රටේ උඩ වලවේ, අභය භූමි සීමාවට අයත් බෙල්ලන්බැඳිපැලැස්සේ ආදී මානව ජනාවාසයක් ආශ්‍රිතව 2006 වසරේ කරන ලද කැනීමක දී හමු වූ සුනඛ දත් සහ හකු කැබැල්ල නවසීලන්තයේ වයිකාටෝ විශ්ව විද්‍යාලයීය විද්‍යාත්මක කාල නිර්ණ වාර්තා අනුව මීට වසර 13,000ක් පැරණි බව සනාථ වී තිබේ. ඉන් එවක මෙහි සිටි ආදී මානවයා ද දඩයම් පිණිස හීලෑ සුනඛයන් යොදා ගත් බව විද්‍යාත්මකව තහවුරු වීමකි. මෙම කරුණ සම්බන්ධයෙන් දකුණු ආසියාවෙන් ලත් පැරණිම පුරා විද්‍යාත්මක සාක්ෂිය ද එය බව ද පැහැදිලි ය.එමෙන්ම අප ගේ වංශ කතා මූලාස්‍ර වලට අනුව විජයාවතරණ පුවතේ සිට අප රටේ දේශීය සුනඛයන් පිළිබඳව සඳහන් වීම මත අප ශ්‍රී ලංකා භූමිය සම්බන්ධ ඔවුන් ගේ උරුමය සිංහල ජාතියේ ඇරඹුමටත් පෙර සිට තහවුරු වූවකි. නමුත් එදා සිට මේ දක්වාම අප ග්‍රාමීය සමාජයේ කිසිවකුටත් මෙම සුනඛයන් සම්බන්ධ කරුණු ගැටළුවක් නොවීම මත අපට පහසුවෙන් වටහා ගත හැකි එක් දෙයක් තිබේ. එනම් මෙය වත්මන් සමාජයේ නාගරික ජනාවාසකරණය හා සම්බන්ධ අර්බුදයක් මිස සුනඛයන් කේන්ද්‍ර කරගත් ගැටළුවක් හෝ අර්බුදයක් නොවන බව ය. නමුත් තමන් හට මුහුණ පෑමට සිදුවන කවර හෝ ගැටළුවකදී අර්බුදයක දී ඒ සඳහා පහසුම විසදුම් මාර්ගය වෙත යොමු වීම මුල් කොට මෙම සමාජයීය අර්බුදයේ දී ද සුනඛයන් වරද කරුවන් බවට පත් කිරීමේ සමාජමය දුබලතාව ඉස්මතුව පෙනේ.

වෛද්‍ය ධනංජය ලක්සිරි වෛද්‍යරත්න

එමෙන්ම මහා මාර්ගවල රැඳී සිටින සුනඛයන් නිසා රිය අනතුරු සිදුවන කතාව ද එබඳු පහත් තැනින් ජලය බැස යාමකි. මහ මඟ රැදී සිටින සුනඛයන් නිසා රිය අනතුරු ඇතිවීම. විශේෂයෙන් ඉන් යතුරු පැදි කරුවන්ට බරපතල හානි පැමිණීම නිතර අසන්නට ලැබෙන තත්ත්වයකි. එහෙත්, ඒ සඳහා මූලික වශයෙන් සඳහන් වනුයේ ඔවුන්ගේ වේගය සහ අපරීක්ෂාකාරී ධාවනය නොවේද? යන්න මැදහත්ව විමසා බලන්නකුට පෙනී යනුයේ එවන් යතුරු පැදි ධාවකයන් මහා මාර්ග වල රැඳී සිටින සුනඛයන් හට මාරක අවදානමක් ගෙන දෙන බව ය. එමෙන්ම තම නොසැලකිල්ල මත තම අදක්ෂතාව සේම බීමත්කම ආදී හේතු නිසා මහ මඟ අනතුරු සිදුකරන යතුරු පැදිකරුවන් විසින් පවසන ප්‍රසිද්ධම ප්‍රකාශය කිසිවකටත් රහසක් නොවේ. එනම් ‘බල්ලෙක් පාරට පැන්නා’ යන්න ය.මෙම කරුණ සම්බන්ධයෙන් ඉතා වැදගත් විද්‍යාත්මක අනාවරණයක් විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය ලක්සිරි වෛද්‍යරත්නයන් විසින් ද සිදු කොට තිබේ.එමෙන්ම ජල භීතිකාව හැරුණු කොට සුනඛයන් වෙතින් මිනිසුනට රෝග ආසාදනය වීම ඉතා අවම හෙවත් සැලකිය යුතු නොවන මට්ටමක පවතින බව පවසන ළමා සහ අසාත්මිකතා රෝග විශේෂඥ අජිත් අමරසිංහයන් අවධාරණය කරනුයේ සුනඛයන් වෙතින් රෝග රැසක් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන්නේ ය යන දුර්මතය සාමාන්‍ය ජනතාව අතර සේම ඇතැම් වෛද්‍ය වරුන් තුළ පවා පවතින බවකි. රාත්‍රී කාලයන්හි දී නැගෙන සුනඛයන් ගේ නෛසර්ගික ස්වභාවයක් වන බිරුම හා උඩු බිරීම හුදු නාගරිකයන්ට මිස ගැමි සමාජයට හිසරදයක් වූ බවක් නොපෙනේ. ඇතැම් නාගරිකයන්ට කෙසේ වෙතත් අපේ ගැමි සමාජයට සුනඛ බිරීම් ආරක්ෂාව පිළිබඳව අවදානමක් පළ කරන්නක් වන අතර සුනඛ උඩු බිරීම මරණයක් පිළිබඳ පූර්ව සංඥාවකි.

වෛද්‍ය අජිත් අමරසිංහ

නමුත් ඇතැම් නාගරිකයනට සුනඛ බිරුම් හා උඩු බිරුම් කන් කරච්චලයක් වීමට අඩු භූමි පරාසයක් තුළ අඩු සුනඛ ගහණයක් වාසය කිරීම සේම නාගරික පරිසරයන්ට සාපේක්ෂව ගම්බද පරිසරයන් හි ශබ්දය දෝංකාර දෙන ගොඩනැගිලි ආදිය බහුල නොවීම වැනි හේතු දැක්විය හැක. එමෙන්ම නාගරික පරිසරයන් හි ඇති සුනඛ ගහණත්වයට සාපේක්ෂව සුනඛ සපා කෑම් බහුල බවට නැගෙන චෝදනාව ද සර්ව සාධාරණ නැත. ඊට හේතුව වැඩි සුනඛ ගහණයක් සහිත ඇතැම් ජනාවාස වලින් එවැනි සපාකැම් සම්බන්ධ ඉතා අඩු ප්‍රතිශතයක් වාර්තා වීමය. මෙය ඉන්දියාවේ කේරලයේ මෑතක සිදු කරන ලද සමීක්ෂණයකින් ද අනාවරණය වී තිබේ.
මිනිසුන් සුනඛයන් කෙරෙහි දක්වන බැදීමට වඩා සුනඛයන් මිනිසුන් කෙරෙහි දක්වන බැදීම ප්‍රශස්ත මට්ටමක පැවතීම මිනිසා සහ සුනඛයා අතර පවත්නා .අන්තර් ක්‍රියාව (Interaction) නම් සාධකය මත පදනම් වන්නකි. නමුත් සුනඛයන් හට වෛරී සහගත ලෙස සළකන ප්‍රජාවන් හමුවේ ඊට දක්වන ප්‍රතිරෝධතාවයක් ලෙස සුනඛයන් ද ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරීම ඉතා පොදු සරල සේම සාධාරණ තත්ත්වයකි. එමෙන්ම බදුල්ල ප්‍රදේශයේ නිවාස අහිමි සුනඛයන් බහුල වීම හා සුනඛ සපා කෑම් ඉහළ යාම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කළ මානුෂීය ක්‍රම මගින් සත්ව ගහණ කළමණාකරණය සඳහා වූ පශූ වෛද්‍ය එකමුතුව (Veterinarians for Humane Management of Animal Population) අනාවරණය කර ගෙන ඇත්තේ එම සපා කෑම් වලින් 90% ක්ම ගෘහස්ථ සුනඛයන් විසින් සිදු කොට ඇති බවකි. ඒ කෙසේ හෝ අප රටේ නාගරික ජනාවාස ආශ්‍රිතව සුනඛ ගහණයන් ඉහළ නැංවීම මුල් කොට ඔවුන් සමූහ ඝාතනය කළ යුතු බවට අදටත් ඇතැම් පාර්ශවයන් ගෙනෙන යෝජනාව ගෝලීය වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද ප්‍රතික්‍ෂේප වූවකි. 2011 වසරේ යෙදුණු ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය පදනම්ව රජය මගින් සුනඛ ඝාතනය තහනම් කෙරෙන චක්‍ර ලේඛයක් පවා 2006 වසරේ නිකුත් කොට තිබේ. එමෙන්ම මේ වන විට සුනඛ ගහණය පාලනය කිරීමෙන් ජලභීතිකාව තුරන් කිරීමත් සඳහා වන සුනඛයන් අල්ලා ගැනීම,වන්ධ්‍යාකරණය,එන්නත්කරණය සහ ආපසු නියමිත ස්ථාන වලට මුදා හැරීම මත පදනම් වන
Catch-Neuter-Vaccinate-Return CNVR නම් සාර්ථක ක්‍රමය මේ වන විට අප රට තුළ ද ක්‍රියාත්මක වෙමින් පවතී. නිවාස අහිමි සුනඛයන් සමූහ ඝාතනය කිරීමෙන් එම මානව ජනාවාසයන් හි සුනඛයන් මුළුමනින්ම වඳ කළ හැකිය යන අවිද්‍යාත්මක සිතුවිල්ලට වඩා තිරසාර වූ මෙම අරමුණ උදෙසා මේ වන විට අතිශය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනෙමින් පවතී.

රජය හෝ අප රටේ බහුතර ජනතාව ඉහත සඳහන් වට්ස් ඇප් පණිවිඩය පදනම්ව සමූහ ඝාතනය කිරීමෙන් නිවාස අහිමි සුනඛයන් මෙම භූමියෙන් ඉවත් කිරීමට අදහස් කරන්නේ නම් එය පසුගිය දශක කිහිපය තුළ ජාතියක් වශයෙන් විවිධ පාර්ශව වෙතින් අප අත්දුටු කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ මනෝමය මූල බීජ යළි මෙරට ජන විඥානය තුළ රෝපණය කරවීමක් සේ ද අර්ථ ගැන්විය හැක.

මේ අතර ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සටනේදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DAPH) සහ සියලු‍ම පශු වෛද්‍ය ප්‍රජාවන් අතර ඓතිහාසික සහයෝගීතාවයකට එක්වීමට ලැබීම ගැන තමන් ආඩම්බර වන බවVet for future පශු වෛද්‍ය එකමුතුව තම සමාජ ජාල ගිනුමේ සටහනක් තබමින් පවසයි. එහි වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.
“1954 සිට, පශු වෛද්‍යවරුන්ට සෘජු ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ප්‍රයත්නයන් සඳහා සීමිත සහභාගීත්වයක් ලැබී ඇත. කෙසේ වෙතත්, මෙම වැදගත් මහජන සෞඛ්‍ය මෙහෙවරෙහි ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම සඳහා අද ශ්‍රී ලංකාව පුරා සිටින පශු වෛද්‍ය වෘත්තිකයන් එක්සත් වීම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සියලු‍ම පශු වෛද්‍ය සංවිධාන, ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ ( SLVA) සහ රාජ්‍ය පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ (SVSA) ශක්තිමත් සහයෝගය සහ නායකත්වය ඇතිව 2025-2030 ජලභීතිකා රෝගය තුරන් කිරීමේ වැඩසටහන දියත් කෙරේ”‍.(උපුටා දැක්වීම අවසන්)
ඒ හැරුණු කොට රජය හෝ අප රටේ බහුතර ජනතාව ඉහත සඳහන් වට්ස් ඇප් පණිවිඩය පදනම්ව සමූහ ඝාතනය කිරීමෙන් නිවාස අහිමි සුනඛයන් මෙම භූමියෙන් ඉවත් කිරීමට අදහස් කරන්නේ නම් එය පසුගිය දශක කිහිපය තුළ ජාතියක් වශයෙන් විවිධ පාර්ශව වෙතින් අප අත්දුටු කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ මනෝමය මූල බීජ යළි මෙරට ජන විඥානය තුළ රෝපණය කරවීමක් සේ ද අර්ථ ගැන්විය හැක.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර