තම පවුලේ සාමාජිකයකු ගේ හෝ වෙනයම් සමීපතමයකු ගේ කතාබහ, හැසිරීම් ආදියේ කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබුණු පසු සෙස්සන් විසින් ඒ තැනැත්තා රෝහලක මනෝ වෛද්‍ය සායනයක් වෙත හෝ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරවීමේ නැඹුරුවක් වර්තමානයේ දක්නට ලැබේ. මෙය මීට දශක කිහිපයකට පෙර දක්නට නොලැබුණු ඉතා යහපත් තත්වයකි. එහෙත්, ඒ කාරියේ යහපත් ප්‍රතිඵල අත් විඳීමට නොලැබෙන ප්‍රධාන බාධාවක් ද තිබේ.එනම් එසේ එවන් ඇතැම් පුද්ගලයන් මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කිරීම එක් අවස්ථාවකට පමණක් සීමා වීම ය.
’‘අපි ඩොක්ටත් එක්ක මෙයා ගැන විස්තර කතා කරන්න පටන් අරන් විනාඩි පහකට වඩා ගියේ නෑ. ඩොක්ට ඔලුව ටිකක් හොල්ලලා බෙහෙත් ලියන්න පටන් ගත්තානේ. ලෙඩේ විස්තර හරියට නොදැන කොහොමද? එහෙම බේත් ලියන්නේ. ඒ බේත් බීලා සති දෙකකින් ආයිමත් එන්න කිව්වට මොකද? බෙහෙත් බීලා දවස් දෙක තුනක් යනකොට මෙයාට ඔළුව උස්සා ගන්න බෑ. නිදිමත; ඒ මදිවට ටොයිලට් යන්නෙත් නැතිලු.සමහර වෙලාවට හිටපු ගමන් ඇස්වල කලු ඉංගිරියාව කැරකෙන්න පටන් ගන්නවා බය හිතෙන විදිහට; ඉතින් ඒවායින් පේන්නේ ඩොක්ටට හරියට මෙයාගේ අසනීපෙ අහුවෙලා නෑ කියන එකනේ. ඒ හින්දා තමයි ඒ බෙහෙත් දීම නතර කරලා දාන්න ඕනේ කියලා අපිත් තීරණය කළේ” ඉහත සඳහන් අසාමාන්‍ය කතා සහ හැසිරීම් රටා පළ කිරීම හේතුවෙන් එවැනි පුද්ගලයන් මනෝ වෛද්‍යවරුන් හමුවට රැගෙන ඔවුන් ගේ පවුල් වල සාමාජිකයන් එසේ පවසනු ඔබ ද කොතෙකුත් අසන්නට පුළුවන.
සාමාන්‍යයෙන් කායික වෛද්‍යවරුන් තමන් වෙත පැමිණෙන පුද්ගලයන්ගේ කායික රෝග විනිශ්චය කරන ක්‍රමවේද තිබේ. එහෙත්, මනෝ වෛද්‍ය වරුන් තමන් හමුවට පත් කෙරෙන පුද්ගලයන් ගේ මානසික රෝග විනිශ්චය කරනුයේ ඊට බෙහෙවින් වෙනස් ආකාරයකට ය.කොටින්ම සාමාන්‍යයෙන් රෝග පරීක්ෂාව සඳහා වෙද නලාව වත් භාවිතා නොකරන ඔව්හු පළමුව ඒ පුද්ගලයන් හෝ ඔවුන් කැඳවා ගෙන එන පුද්ගලයන් වෙතින් එසේ තමන් හමුවට පමුණුවන පුද්ගලයන්ගේ මානසික විෂමතා විමසා බලති. එම පුද්ගලයාගේ මුහුණේ ඉරියව්,අංග චලන කතාබහ හැසිරීම් ඒ සඳහා එක්කර ගනු ලබන මූලික සාධකයන් ය. දෙවනුව මනෝ වෛද්‍යවරු අදාල පරිදි ඔහුගෙන් සහ ඔහු කැඳවාගෙන එන පුද්ගලයන් වෙතින් එසේ තමන් හමුවට පත් කරනු ලබන්නාගේ වාචික සහ චර්යාත්මක විෂමතා විමසා බලති.
“එතකොට අපේ මේ දුව ඇඩ්වාන්ස් ලෙවල් විභාගයට ලෑස්ති වෙනවා. දරුවා සමහර දවස්වලට රෑ දෙක තුන වෙනකම් පාඩම් කරනවා. ඒ විදිහට දවසක් පාඩම් කර කර ඉන්න ගමන් පාන්දර මම නිදා ගන්න තැනට දුවගෙන ඇවිත් අම්මා ලොකු භූමි කම්පාවක් වෙන්න යනවා. අපි ඉක්මනට දුවලා පණ බේරා ගනිමු කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ වෙන කොට තද නින්දේ හිටපු මට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුණා. කොහොමත් ඒ වෙලාවේ මගේ මහත්තයයි අනික් දරුවොයි නැගිටලා ලොකු දුව මේ කියන කතාව ගැන විපරම් කළා.එතකොටත් ලොකු දුව ඔය ඔය පොළොව හෙල්ලෙනවා ඔයාලට තේරෙන්නේ නැද්ද? කියලා බයවෙලා කෑගැහුවට අපිට නම් එහෙම දෙයක් තේරුණේ නෑ …. කොහොම හරි ඊට කලින් දවසේ රෑ අපි බැදුම් තිබුණු හින්දා අපි කල්පනා කළා; මොකක් හරි අමනුස්ස දෝසයක් දුවගේ ඇඟට ඇවිල්ල ද කියලත්” කිසියම් කාන්තාවක තම දියණිය මනෝ වෛද්‍යවරයකු හමුවේ එසේ ප්‍රකාශ කරන විට බොහෝ විට ඊට සම්බන්ධ තවත් ප්‍රශ්න කිහිපයක් ඇසීම මනෝ වෛද්‍යවරුන් විසින් කරනු ලබන්නකි. “දරුවට නින්ද යාම හොරද? ඉස්සර වගේ එළිපහලියට එන්න අදිමදි කරනවද? හිටපු ගමන් තිගැස්සෙනවද ? ඔහොම අමුතු සද්ද වගේ දේවල් ඇහෙනවා කියනවද? ආදී වශයෙන් වන එම ප්‍රශ්න වලින් සැළකිය යුතු ප්‍රමාණයකට “ඔව්” යන පිළිතුර ලැබුණ හොත් එම තරුණිය තීව්ර භින්නෝන්මාද (Acute Schizophrenia ) තත්වයකින් පසුවන බවට සහේතුකව අනුමාන කිරීමට මනෝ වෛද්‍යවරයාට පුළුවන. එහෙත් මනෝ වෛද්‍ය වරුන් හමුවට එවන් රෝගීන් කැඳවන සමහර භාරකරුවෝ ඉන් සෑහීමකට පත් නොවෙති.
“ඒක නෙවෙයි ඩොක්ට; පහුගිය දවසක ලොකු දුව කියනවනේ ටීවී වල යන වැඩ සටහන් නිකම්ම එයාගේ ඔලුවේ මැවිලා පේනවා කියලා. තව දවසක් කිව්වා එයාට මිහිඳු හාමුදුරුවෝ “තිස්ස තිස්ස” කියපු කටහඬත් සැරින් සැරේ ඇහෙනවා කියලත්” ඒ අනුව ඔව්හු එම රෝගියා සම්බන්ධ එකම රෝග ලක්ෂණය සිද්ධිමය වශයෙන් දිගින් දිගටම ගෙන හැර දක්වති.
එහෙත්, එම රෝගීන් තුළ එම තීව්ර භින්නෝන්මාද ලක්ෂණ පවතින බව සාධාරණ ලෙස අනුමාන කිරීමෙන් පසු තව දුරටත් ඒ සිදුවීම් දාමය මුල සිට අග දක්වා අසා සිටීමට මනෝ වෛද්‍යවරුන් පෙළඹෙන්නේ නැත. නමුදු ඒ වගක් නොදන්නා රෝගීන් ගේ භාරකරුවන් පවසා සිටිනුයේ ඒ මනෝ වෛද්‍යවරයා තම රෝගියා ගේ රෝග විස්තරය සම්පූර්ණයෙන් අසා නිම කිරීමටත් පෙර ඖෂධ නියම කළ බවකි.එය මුළුමනින්ම වැරදි සහගත නිගමනයකි.නමුත් මනෝ වෛද්‍යවරයකු වෙතට පත් කෙරෙන සෑම රෝගියකු කෙරෙන්ම මෙවන් සරල රෝග ලක්ෂණ පළ වන්නේ නැත. සමහර රෝගීන් ගේ රෝග ලක්ෂණ අනුව එම රෝගියා පිළිබඳ මූලික වැටහීමක් ලබා ගැනීමට රෝගියාගේ මුහුණේ ඉරියව් අංග චලන කතා බහ සහ හැසිරීම් විශ්ලේෂණය කිරීමටත් රෝගියා ගෙන් විවිධ ප්‍රශ්න විමසා ඒවාට පිළිතුරු ලබා ගැනීමටත් ඒවාට අදාල රෝගීන් ගේ භාරකරුවන් ගෙන් නැවත ප්‍රශ්න අසා ඒ සාධක සියල්ල සමතුලනය කර ගැනීමටත් මනෝ වෛද්‍යවරයාට සිදු වෙයි.විශාදය(Depression ) වැනි පුළුල් පරාසයන් දක්වා විහිද යා හැකි රෝග තත්වයන් වටහා ගැනීමට ඇතැම් විට මීට වැඩි වේලාවක් ගත විය හැක.නමුදු මනෝ වෛද්‍යවරයා රෝගියකු සඳහා මූලික ඖෂධ වට්ටෝරුව නිකුත් කරනුයේ ඉන් පසුව ය.නමුදු එය භාවිතා කිරීමෙන් පසුව යළි තමන් හමුවට පැමිණෙන රෝගීන් ගේ රෝග තත්වයන් පිළිබඳ වඩාත් විධිමත් විශ්ලේෂණයක් කිරීමට මනෝ වෛද්‍යවරු සමත් වෙති.ඔවුනට එම රෝගය සමනය හෝ සුවපත් කළ හැක්කේ ඒ සම්බන්ධ නිසි කළමණාකරණයකින් පසුව ය.
සයිකෝසීය (Psychosis) ගණයේ ප්‍රධාන මානසික රෝග සඳහා ලබා දෙන ඖෂධ බොහොමයක අතුරු සහ පශ්චාත් ඵල තිබේ. නමුත් ඉන් රෝගියාට ලැබෙන සුවයට සාපේක්ෂව එම අතුරු සහ පශ්චාත් ඵල බරපතල නැත. එම සෑම ඖෂධයක් සඳහාම ජාත්‍යන්තර ප්‍රමිතියක් ලැබී ඇත්තේ ඒ නිසා ය. සාමාන්‍යයෙන් මෙබඳු ඖෂධ භාවිතා කරන මුල් අවදියේ ඒ ඒ ඖෂධය සහ රෝගියා ගේ කායික තත්වය අනුව අධික නිදිමත, මල බද්ධය සේම ඇස්වල කලු ඉංගිරියාව කරකැවීම හෙවත් අක්ෂි චලන වේග (Rapid eye movement) ආදී ලක්ෂණ මතු වනු ඇත. නියත ලෙසම ඉන් පැවසෙනුයේ එම ඖෂධය ශරීරය තුළ ක්‍රියාකාරී වීම අරඹා ඇති බවකි.
සාමාන්‍යයෙන් මිනිසුන්ට වැළඳෙන මානසික රෝග යක්ෂ, ප්‍රේත බලපෑම්, අන වින හදි හූනියම් ආදී ගුප්ත බලපෑම් නිසා සිදුවන බවට පවතින අන්ධ විශ්වාසය අදටත් අප සමාජයේ පැලපදියම් ව පවතී. එනිසාම ඒ සඳහා වන රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක අයථා මුදල් සංසරණයක් වන ජාවාරම් පලක් ද වර්තමානයේ ක්‍රියාත්මක වේ.
ගුප්ත ශාස්ත්‍ර නාමයෙන් පෙනී සිටින එවන් කපටි කයිරාටිකයන් ද එවන් අසරණ රෝගීන් විද්‍යාත්මක ප්‍රතිකාර වලින් ඉවත් කොට තම ග්‍රහණයට ගැනීම පිණිස විද්‍යාත්මක ප්‍රතිකාර පිළිබඳ විවිධ අසත්‍ය දුර්මත පතුරුවා හරින අපට නොයෙක් විට නිරීක්ෂණය වේ.
මේ අතර විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ලෙසින් රෝගීන් හමුවේ පෙනී සිටින තවත් වංචනික පිරිසක් ද වෙති.ඇතැමුන් රූපවාහිනී වැඩසටහන් මගින් පවා විශේෂඥ මනෝ වෛද්‍ය නාමයෙන් පෙනී සිටිමින් බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දුර්මත වපුරුවමින් ජනතාව නොමඟ යවන බවට තොරතුරු තිබේ. මේ සියල්ලම විධිමත් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වලින් රෝගීන් ඉවතට ඇද දැමීමට සෘජුව සහ අනියමින් දායක වන බව පෙනේ.
මේ අතර රෝගීන් විධිමත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලින් ඉවතට යොමු කරන ඔවුන්ගේ පවුලේ ඥාතීහු ඒ වෙනුවට එම රෝගීන් ගුප්ත ප්‍රතිකාර සහ බටහිර මනෝ වෛද්‍යවරුන් ලෙසින් පෙනී සිටින වෙනත් පුද්ගලයන් වෙත යොමු කොට තම රෝගීන් දින කිහිපයකින් සුවය ලැබූ බව ද කියා සිටිති.ඊට ද පැහැදිලි හේතුවක් තිබේ.
සාමාන්‍යයෙන් සයිකෝසීය මානසික රෝගයක ලක්ෂණ දවසේ පැය විසිහතර පුරාමත් සතියේ දින හත පුරාමත් ඒකාකාරව පවතින්නේ නැත. විවිධ අවස්ථාවන් හි ඒවා අඩු වැඩි වෙමින් පවතින අතර ඇතැම් විට කෙසේවත් ඉස්මතු නොවන අවස්ථා ද තිබේ.මානසික රෝගියකු සඳහා විධිමත් ප්‍රතිකාර පන්තියක් අරඹන මනෝ වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් ද නිරතුරු අවධානය යොමු කරති. නමුත්, රෝගියකු විධිමත් වෛද්‍ය ප්‍රතිකාර වලින් බැහැර කොට නොවිධිමත් ප්‍රතිකාර ක්‍රමයක් වෙත යොමු කළ අතර තුරක එසේ රෝගියා තාවකාලික සුවපත් ලක්ෂණ පළ කළහොත් රෝගියාගේ භාරකරුවන් සිතනුයේ බටහිර මනෝ වෛද්‍යවරුනට සුවය ලබා දීමට නොහැකි වු ඒ රෝගියා සුවපත් කිරීමට යකැදුරන් සහ බටහිර මනෝ වෛද්‍ය වෙස් ගත් වෙනයම් පුද්ගලයන්ට හැකි වූ බවකි.ඉන් පසුව ඔව්හු ඒ පුද්ගලයන් පසුපසම යති. එහෙත්, එහි බිහිසුණු කරුණ එය නොවේ. විධිමත් ප්‍රතිකාර වලින් තොරව එසේ වරින්වර ඉහළ පහළ යමින් පවතින එම රෝග කල්ගත වීමෙන් පසු කිසිදු ප්‍රතිකාර ක්‍රමයකින් සුව නොවන තත්වයට පවා පත්විය හැකි වීම ය. මෙය සෑමදෙනාම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු තත්වයකි.
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ