මරණ තර්ජනයක් නිසා සල්මාන් ඛාන් තුවක්කු බලපත්‍රයක් ඉල්ලයි

සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ට එල්ල වී ඇති මරණ තර්ජනයක් නිසා මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. මෙයට ටික දිනකට පෙර මෙම තර්ජනය එල්ල කර තිබුණේ සල්මාන් සහ ඔහුගේ පියා වන සලීම් ඛාන් යන දෙදෙනාටම යි. සලීම් ඛාන් ද බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ චරිතයක්. මේ වනවිට 86 වැනි වියෙහි පසුවන ඔහු නළුවකු ලෙස මෙන්ම චිත්‍රපට නිශ්පාදකයකු ලෙස ද, තිරනාටක රචකයකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

මේ දෙදෙනා වෙත මර්ණ තර්ජනය එල්ල කර තිබුණේ ලිපියක් මගිනුයි. එම ලිපිය තබා තිබුණේ මුම්බායිහි බන්ද්‍රා නැමැති ප්‍රදේශයේ වෙරළ අද්දරින් වැටී ඇති මංතීරුවක් අයිනෙහි වූ බංකුවක් මත. මෙම මංතීරුව සලීම් ඛාන් පුරුද්දක් ලෙස ඇවිදීමට යන මංතීරුවක්. එහි ඔහු ඇවිදීමෙන් පසු ගිමන් හැරීම සඳහා නිතර වාඩි වෙන බංකුවක් මතයි ඉහත කී ලිපිය තිබී ඇත්තේ. එය මුලින්ම දැක තිබුණේ සලීම්ගේ ආරක්‍ෂක නිලධාරියකු බවත් සඳහන් වුණා. ‘මූස් වාලාට සිද්ධ වෙච්චි දේ තමයි නුඹලාටත් වෙන්නේ’ යනුවෙන් මෙම ලිපියේ ලියා තිබූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය වුණා. මෙම ලිපිය හමු වූයේ ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ගායකයකු වූ සිධු මූසේ වාලා වෙඩි තබා ඝාතනය කිරීමෙන් සතියකට පමණ පසුවයි.

මරණ තර්ජනය රැගත් ඉහත ලිපිය හමු වී මේ වනවිට සති කිහිපයක් වෙනවා. නමුත් දැන් මේ සම්බන්ධයෙන් නැවතත් අවධානයක් යොමු වෙන්නට පටන්ගෙන ඇත්තේ සල්මාන් ඛාන් සිය ආරක්‍ෂාව සඳහා පුද්ගලික ගිනි අවියක් ළඟ තබා ගැනීමට පොලිසියෙන් අවසර පත්‍රයක් ඉල්ලා සිටීමත් සමගයි. ඔහු මෙවැනි බලපත්‍රයක් ඉල්ලා මුම්බායි පොලිස් කොමසාරිස්වරයා වෙත ඉල්ලුම්පතක් යොමු කර ඇති බව සිකුරාදා (22 දා) මාධ්‍ය වාර්තා කර තිබුණා.

මූසේ වාලා ඝාතනය කිරීමට හේතුව කුමක්ද යන්න ගැන තවමත් නිශ්චිතව අනාවරණය වී නැහැ. පොලිසිය විශ්වාස කරන්නේ එය පාතාල කල්ලි අතර ගැටුමක් පසුබිම් කරගත් ඝාතනයක් බවයි. ඉන්දියාවේ කලා ලෝකය සහ පාතාල ලෝකය අතර විවිධාකාර සබඳතා ඇති බව සඳහන් වන අතර කප්පම් සිද්ධි ගැන ද නිතර වාර්තා වන බව රහසක් නොවෙයි.

සල්මාන් ඛාන් ද බොලිවුඩයේ සිටින ධනවත්ම නළුවෙක්. ඔහු පසුගිය කාලයේ චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 100 ක් පමණ අය කළ බවත් පැවසෙනවා. එය ලංකා මුදලින් රුපියල් කෝටි 500 කට ආසන්න ප්‍රමාණයක්. ඊට අමතරව ඔහුට චිත්‍රපට නිශ්පාදන සමාගමක් ද හිමි අතර එයින් ද විශාල වශයෙන් ලාභ උපයනවා.

පසුගිය දා නන්නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් සිධු මූසේ වාලා ඝාතනය කෙරුණේ ඔහු සිය මෝටර් රිය පදවාගෙන යමින් සිටියදී යි. සිද්ධිය සිදුවූ දින සවස 4.30 ට පමණ ඔහු තම නිවසින් පිටත්ව තිබුණේ තම ඥාති සොහොයුරෙකු සහ අසල්වැසියකු ද සමගයි. ඔහු එදින යමින් සිටියේ බර්නාලා හි පිහිටි සිය නැන්දණියකගේ නිවසට බවත් වාර්තා වුණා. සවස 5.30 ට පමණ මූසේ වාලාගේ රිය ජවහර්කේ නැමැති නගරයකට සේන්දු වූ අවස්ථාවේ තවත් මෝටර් රථ දෙකක් ඔහුගේ මග හරස් කර නතර කර තිබුණා. එයින් බැස ආ තුවක්කුකරුවන් පිරිසක් වෙඩි වරුසාවක් එල්ල කර තිබූ අතර වෙඩි පහර 30 ක් පමණ හුවමාරු වී තිබූ බැව් පැවසුණා. මූසේ වාලා ද සිය පිස්තෝලයෙන් වෙඩි තබා තිබූ බව සඳහන්. මෙම ගැටුමෙන් රියෙහි සිටි සෙසු දෙදෙනා ද තුවාල ලබා තිබුණා.

ඉන්දියාවේ ප්‍රකට පාතාල නායකයකු වන ලෝරන්ස් බිෂ්නෝයි ගේ කණ්ඩායම මෙම ඝාතනය සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් ෆේස්බුක් සටහනක් යොදා තිබුණු බව පොලිසිය පවසනවා. නමුත් බිෂ්නෝයි පසුව පවසා තිබුණේ තමුන් එවැනි සටහනක් නොයෙදූ බවයි. එසේ වුවත්, මෙම ඝාතනයේ මහ මොළකරු ඔහු බව පොලිසියේ විශ්වාසය යි. මේ වනවිට ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටිනවා.

සල්මාන් ඛාන් සහ සලීම් ඛාන් දෙදෙනා වෙත එල්ල කර ඇති මරණ තර්ජනය ද මෙම බිෂ්නෝයි කල්ලියේ ප්‍රචාරක වැඩක් විය හැකි බවට පොලිසිය සැක කරනවා. කෙසේ නමුත් සල්මාන් මේ ගැන දැඩි සැලකිල්ලෙන් සිටින බවයි පෙනෙන්නේ.

නිහාල් පීරිස්

රසගඟුල