ඔබත් මලබද්ධය නිසා නිහඬවම පිඩා විඳින අයෙක්ද? ලොව පුරා බොහෝ දෙනෙකු පිඩා විඳින මෙම සෞඛ්‍ය ගැටලුව පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගනිමු.
සතියකට තුන් වතාවක් හෝ ඊට අඩුවෙන් මලපහ කිරීම, මල වියලී දැඩිවී තිබිම, මලපහ කිරීම වේදනාකාරී වීම සහ එනිසා ඉතා අසීරුවෙන් මලපහ කිරීමට සිදු වීම වැනි අපහසුතා දිගින් දිගටම පැවතීම, මලබද්ධය ලෙස හැඳින්වේ. මල බද්ධය යනු බොහෝ විට රෝගයක් නොවන අතර වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් විය හැක. මලපහ කරන වාර ගණන අඩු වීම, ප්‍රමාණයෙන් අඩු වීම, ඉතා අපහසුවෙන්, තැටමීමෙන් මල පිට කිරීමට සිදු වීම, බඩ පුරවා දමා ඇති බවක් දැනීම, මල බද්ධයේ ලක්ෂණ වේ. ඕනෑම පුද්ගලයකුට යම් යම් හේතූන් මත මෙසේ මලබද්ධය තාවකාලිකව ඇති විය හැකිය. නමුත් දීර්ඝකාලීනව මේ තත්වය පවතී නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එසේ වේ නම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් වේ.
මල බද්ධය ඇති වීමට හේතු
අප ගන්නා ආහාර මහා අන්ත්රය ඔස්සේ ගමන් කිරීමේදී එහි ඇති ජලය මහා අන්ත්රය මගින් උරාගෙන ඉතිරිවන අපද්‍රව්‍ය, මල ලෙසින් ගුද මාර්ගය ඔස්සේ ශරීරයෙන් ඉවත් වේ. මෙම ඝන අපද්‍රව්‍ය මහා අන්ත්‍රයේ සංකෝචනය වීම මගින් ගුද මාර්ගය වෙත තල්ලු වීමක් සිදු වේ. මේ ගමන් කිරීමේ කාලය තුල ජලය උරා ගැනීම සිදුවන අතර මේ ගමන් කිරීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා සෙමෙන් සිදු වුවහොත් එම ආහාරවල අපද්‍රව්‍ය කොටසේ ඇති ජලය ඕනෑවටත් වඩා උරා ගැනීම සිදු වේ. මල බද්ධය ඇති වීමට ප්‍රධානම හේතුව වන්නේ අප ගන්නා ආහාර මහා අන්ත්රය ඔස්සේ ගමන් කිරීමේදී එහි ඇති ජලය සියල්ලම මේ අයුරින් මහා අන්ත්රය මගින් උරා ගෙන මල වියලී යාමයි.
මෙලෙස මල බද්ධය ඇති වීමට තුඩු දෙන ප්‍රධාන හේතූන් වන්නේ:
• තන්තු සහිත ආහාර නොගැනීම හෝ අඩුවෙන් ගැනීම
• ජලය සහ අනෙකුත් දියර වර්ග ඇති තරම් පානය නොකිරීම
• නිතිපතා ව්‍යායාම නොකිරීම
• මලපහ කිරීමේ අවශ්‍යතාවය නොසලකා පාලනය කරගෙන සිටීමට පුරුදු වීම
• ජීවන රටාවේ යම් වෙනස්කම් සිදුවීම. උදා: රෝගී තත්වයක්, ගර්භනී බව, නුපුරුදු පරිසරයක ජීවත් වීමට සිදුවීම, සංචාරය කිරීම, ආහාර රටාවේ වෙනස්කම්
• භාවිතා කරන යම් ඖෂධවල අතුරු ආබාධයක් ලෙස
• විශාදය, කාංසාව වැනි මානසික රෝග තත්වයක ප්‍රතිඵලයක් ලෙස
• දැඩි ලෙස මානසික ආතතියෙන් පෙළීම
• තයිරොයිඩ් හෝමෝන ක්‍රියාකාරිත්වය අඩුවීම
• අන්ත්‍රවල පිළිකාවක් හෝ අන්ත්‍රවල වෙනත් අවහිරතා පැවතීම
• පාකින්සන් රෝගය වැනි ස්නායු රෝග තත්වයන්
දීර්ඝ කාලීනව මල බද්ධය පැවතීමෙන් ඇතිවිය හැකි රෝග තත්වයන්:
• අර්ශස් රෝගයට (hemorrhoids) ගොදුරු වීම.
• ගුද මාර්ගයේ පලුද්දක් (fissure) ඇතිවීම.
• ගුද මාර්ග ප්රපතනය නැතිනම් පිටතට පැමිණීම (rectal prolapse).
මල බද්ධය වළක්වා ගැනීමට, මග හරවා ගැනීමට කළ යුතු දේ
• තන්තුමය ආහාර එනම් පළතුරු, එළවලු, පලා සහ ධාන්‍ය වර්ග ආදිය වැඩිපුර ආහාරයට ගැනීම.
– බෝංචි, ලීක්ස්, කොහිල, කැරට්, බීට් රූට්, බණ්ඩක්කා, කෙසෙල් මුව, මෑ කරල්, වට්ටක්කා, නිවිති, කොළ ගෝවා වැනි එළවලු ද, ගස්ලබු, අලිගැට පේර, අඹ, කෙසෙල්, ඇපල්, පේර, බෙලි, දිවුල් වැනි පළතුරු ද තන්තු බහුල ආහාරයන්ට උදාහරණ කිහිපයකි.
– ආහාර ගැනීමේදී සෑම ආහාර වේලකටම මැල්ලුම් වර්ගයක් එක් කර ගැනීමද ආහාර ගැනීමෙන් පසු පළතුරු වර්ගයක් හෝ දෙකක් ගැනීමද ඉතා වැදගත්.
• ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය සහ තැඹිලි, දොඩම්, සුප් හා කැඳ වැනි වෙනත් දියර වර්ග පානය කිරීම.
– අන්ත්‍රවල ක්‍රියාකාරිත්වය හොඳින් සිදුවී මලපහ වීම නිසි ලෙස වීමට නම් දිනකට වතුර ලීටර් 3 ක් පමණ පානය කළ යුතුය.
– උදෑසන අවදි වූ පසු වතුර වීදුරුවක් පානය කිරීම.
• අවම වශයෙන් සතියට විනාඩි 150 ක් වත් ව්‍යායාම කිරීම. ඔබ ඇඟට හොඳින් දැනෙන ලෙස ව්‍යායාම කරන විට අන්ත්‍රවල පේශීන්ගේ ක්‍රියාකාරිත්වයද හොඳින් සිදුවේ.
– ඉක්මණින් ඇවිදීම, යෝග ව්‍යායාම කිරීම මේ සඳහා උපකාර වනු ඇත.
• මලපහ කිරීමේ අවශ්‍යතාවය ඇති වූ විට එය කල් නොදමා වැසිකිළියට යාම.
• දිනපතා එකම වේලාවකට මලපහ කිරීමට පුරුදු වීම.
• ඔබගේ මානසික සුවතාවය පිළිබඳව සැලකිලිමත් වීම සහ එය හොඳින් පවත්වා ගැනීමට කටයුතු කිරීම.
මල බද්ධය සමග උදරයේ වේදනාවක්, මල සමග රුධිරය පිටවීම සහ සිරුරේ බර හේතුවක් නැතිවම අඩු වීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔබ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එවිට ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දී, කළ යුතු පරීක්ෂණ ආදියට යොමු කරනු ඇත. මල බද්ධය නොමැතිව වුවද මල සමග රුධිරය පිට වෙයි නම්, මාස තුනකට වඩා වැඩි කාලයක් පුරාම වෙනදා මල පහ කළ ආකාරයේ වෙනස් කමක් පෙන්නුම් කරයි නම්, ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතුයි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන