කුඩා දරුවන්ගේ කායික මානසික වර්ධනයට ක්ෂුද්‍ර පෝෂක ඉතා වැදගත් වේ. ක්ෂුද්‍ර පෝෂක හීන වීම දරුවන්ගේ කායික මානසික දුබලතා රාශියක් ඇති වීමට මඟ පාදනු ඇත.
මේ වන විට ක්ෂුද්‍ර පෝෂක ඌනතා අතර බහුලව දක්නට ලැබෙන්නේ යකඩ ඌනතාවය යි. කනගාටුවට කරුණ වන්නේ මේ යකඩ ඌනතාවය මවුවරුන්ගෙන් දරුවන්ට උරුම වීම ය. හේතුව, ගැබිනි සමයේදී මව ප්‍රමාණවත් තරමට යකඩ සහිත ආහාර නොගැනීමයි.
යකඩ ඌනතාවයෙහි ලක්ෂණ විශාල රෝගාබාධ ලෙසින් මතුපිටට දිස් වන්නේ නැත. නමුත් මේ හේතුව නිසාම යකඩ ඌනතාවය කෙසේවත් සුළු කොට තැකිය යුත්තක් නොවේ. එයට හේතුව වන්නේ කුඩා දරුවන් යකඩ ඌනතාවයෙන් පෙළෙන විට ඔවුන්ගේ කායික මානසික වෙනස්කම් රාශියක් ඒ තත්ත්වය නිසා ඇතිවීමය. දරුවන්ගේ වර්ධනය අඩාල වීම, ඉගෙනීමේ හැකියාව දුර්වල වීම, මානසික හැඟීම් උද්දීපනය අඩාල වීම, සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවීම වැනි අහිතකර තත්ත්වයන් රාශියක් මෙම යකඩ ඌනතාවය නිසා දරුවන් තුළ ඇති වෙයි.
මෙසේ සිදු වන්නේ ඇයි?
සිරුරේ යකඩ අඩු වන විට රුධිරයේ රතු සෛල නිපදවීම අඩු වෙයි. එවිට හිමොග්ලොබින් අඩු වී යයි. ශරීරය පුරාම ඔක්සිජන් රැගෙන යාමේ ක්‍රියාවලිය ඉටු කරන්නේ හිමොග්ලොබින් ය. හිමොග්ලොබින් අඩුවූ කල සිදු වන්නේ මෙම ක්‍රියාවලිය අඩපණ වීම ය. මේ ක්‍රියාවලිය අඩපණ වන විට මුළු ශරීරයේම ක්‍රියාකාරිත්වයට එය බලපානු ඇත.
යකඩ ඌණතාවය ඇති විට ප්‍රධාන වශයෙන් බාහිරට දිස්වන ලක්ෂණය වන්නේ නිතර නිදිමත ගතිය දැනීම යි. එසේම සිරුරට නිතර අලස තෙහෙට්ටු ගතියක්ද මේ නිසා ඇතිවේ. මේ හේතුව නිසා දරුවන්ට සිදුවන තවත් විශාල අයහපත් තත්ත්වයක් වන්නේ මතක ශක්තිය අඩු වීමයි. එසේම දරුවාට නිතර කේන්ති යාම, නිතර දැනෙන තද හිසරදය, පපුව සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයෙන් ස්පන්දනය වීම, අතපය ශීතල ගතියකින් යුතු වීම වැනි ලක්ෂණ හට ගත හැකිය. මෙවැනි ලක්ෂණ තිබේ නම් එය යකඩ ඌනතාවයේ ලක්ෂණ වීමට පුළුවන. මේ හැරුණු විට නියපොතු ඉතා පහසුවෙන් කැඩී යාම, සම සුදුමැලි පැහැ වීම, මුඛය දෙපැත්තේ තුවාල මතුවීම වැනි බාහිර ලක්ෂණ ද පළ විය හැකිය.
අතීතයේ මෙම යකඩ ඌනතාවය හේතුවෙන් අඟුරු, පස්, සහල්, ගඩොල් කැබලි කන දරුවෝ සුලබ ව සිටියහ. වර්තමානයේ එවැනි දේවල් සුලබ නැතත් නැත්තේම නැත.
ඒ කෙසේවුවද අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පහත දැක්වෙන ලක්ෂණ යම් දරුවකු තුළින් පළ වේ නම් ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
* අධ්‍යාපන කටයුතුවලදී දක්ෂතා නොදැක්වීම
විශේෂයෙන් භාෂාමය හැකියාව සහ ගණිතමය හැකියාවන් දුර්වල වීම
* ක්‍රීඩා කිරීමට කිසිසේත් කැමැත්තක් නොදැක්වීම මත ඒවා මඟ හැරීම
* අලස සහ ඈලි මෑලි ගති ඇති වීම
මෙවැනි තත්ත්වයක් ඇති දරුවකුට වැඩි වැඩියෙන් මුදල් වැය කර අතිරේක පන්තිවලට යැවීමටත්, පාසැල් වැඩවලට දුර්වල වීම සම්බන්ධයෙන් දරුවාට දොස් පැවරීමට සහ ඇතැම් විට දඬුවම් කිරීමටත් බොහෝ දෙමාපියෝ පෙළඹෙති. නමුත් ඒ සියල්ලටම පෙර කළ යුත්තේ දරුවාට යකඩ සපිරි ආහාර වේල් දීමට උනන්දු වීම ය. නිසි පෝෂණය සහිත ආහාර වේල් නොලැබීම යකඩ අඩු වීමට මූලිකම හේතුවයි. ඊළඟ හේතුව නම් යකඩ සිරුරට ප්‍රමාණවත් පරිදි ලැබුණත් ශරීරයට අවශෝෂණය වීමේ ගැටලු පැවතීම ය. කොකු පණු රෝගය ඊට ප්‍රධාන හේතුවක් වේ. එනිසා දරුවාට පණු රෝග ඇත්නම් ඊට ප්‍රතිකාර ලබාදීම ද අත්‍යවශ්‍ය තත්වයකි.
යකඩ බහුලව අඩංගු ආහාර දරුවාගේ ආහාර වේලට නිතර එකතු කිරීම වැදගත් ය . ඒ අතර මස් මාළු, බිත්තර, පලාවර්ග, ධාන්‍ය වර්ග ප්‍රධාන වේ. මස් මාංශ වල අඩංගු යකඩ පහසුවෙන් ශරීරයට උරා ගැනීමේ හැකියාව ඇත. ඒවා ඉතා සුළු ප්‍රමාණයක් ගත්තත් ප්‍රමාණවත් වෙයි. ශාකවලින් ලැබෙන යකඩ සිරුරට උරා ගන්නේ සෙමින් ය. මේ දෙක සම මට්ටමකට එන්නට නම් මස් මාංශ වලින් ලැබෙන යකඩ ප්‍රමාණය මෙන් තුන් ගුණයක යකඩ ප්‍රමාණයක් ශාක ආහාරවලින් ලැබිය යුතුය.
වර්තමානය වන විට දරුවන්ට පෝෂ්‍යදායක ආහාර දීමේ ගැටලු රාශියක් දෙමාපියන්ට මතුවී තිබෙන බව සැබෑ ය. මස් මාංශ ආහාරවලට එක් කර ගැනීමේ අපහසුතා තිබේ නම් ශාකවලින් ලැබෙන යකඩ ප්‍රමාණය ඉක්මනින්ම ශරීරයට උරා ගැනීමට වෙනත් ක්‍රම අනුගමනය කළ හැකිය.
යකඩ අඩංගු ශාක ආහාර අතර පලාවලටද ඉතා වැදගත් තැනක් හිමි වේ. පලා වර්ගවලින් මැල්ලුම් සලාද ආදිය පිළියෙළ කිරීමේදී දෙහි යුෂ එක් කිරීම එක් ක්රමයකි. එසේම ප්‍රධාන ආහාර ගැනීමෙන් පැය දෙකක්වත් ඉකුත් වන තුරු තේ, කෝපි වැනි දෑ ගැනීමෙන් වැළකී සිටීම ද අත්‍යවශ්‍යය.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ
ඉන්දු පෙරේරා