මව අහිමි සුනඛ පැටවුන්ගේ දිවි රැක දෙන හැටි දැන ගනිමු

දින කිහිපයක් වයසැති සුනඛ පැටවුන් කිහිප දෙනෙකු සුනඛ මව නොමැතිව ඔබට හමුවුවහොත් හෝ ඔබේ ගෙදර ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතකු පැටවුන් බිහි කිරීමෙන් පසු මිය ගියහොත් හෝ එම සුනඛ පැටවුන් හදා වඩා ගැනීමට ඔබට දැනුවත්භාවයක් තිබිය යුතුය.මෙහිදී එම කුඩා පැටවුන්ට උණුසුම ලබා දීම සහ එම පැටවුන්ව පෝෂණය කිරීම ඉතා සූක්ෂමව කළ යුතුවේ.

කුඩා පැටවුන් අතින් අල්ලා බලමින්, ඔසවමින් සුරතල් කිරීමට බොහෝ දෙනෙක් ප්‍රිය වුව ද සති තුනක් ඉක්ම ගොස් පැටවාට පෙනීම ඇසීම ලැබෙන තෙක් එවැනි දේ නොකළ යුතු වෙයි. හේතුව, එම මුල් දිනවල සිදුකරන මෙවැනි ක්‍රියාවන් නිසා පැටවුන් මානසික ව්‍යාකූල භාවයට පත්වීමට ඉඩ ඇති නිසා ය.

පැටවාට සුදුසු කිරි වර්ග:

පැටවාට මව්කිරි නොමැති නිසා වෙනත් කිරි වලින් මුල් දිනවලදී පෝෂණය ලබා දීමට සිදුවෙයි. පැටවාට දෙන කිරි වර්ගය ද හොඳින් තෝරා බේරා ගෙන දිය යුතු ය. කුඩා වයසේ කුඩා බලු පැටවුන්ට එළකිරි එතරම් සුදුසු නොවේ. හේතුව, එළකිරි මගින් පැටවාට දියර ලෙස මලපහ විය හැකි නිසා ය. එළ කිරි වලට වඩා එළුකිරි දිය හැකි නම් වඩා සුදුසුය. එසේත් නැත්නම් වෙනත් සුනඛ මවකගෙන් කිරි ලබා ලබාදීමට හැකියාවක් තිබේ නම් එය ද යෝග්‍ය වෙයි. වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට ඇති සුනඛ පැටවුන් සඳහා නිර්දේශිත කිරි ද ලබා දිය හැකිය.

පැටවුන්ට කිරි ලබා දිය යුතු ආකාරය:

කුඩා ළමුන්ට මෙන් බෝතලයකින් කිරි දීම හෝ සිරින්ජරයක් ආධාරයෙන් කිරි පෙවීම කළ හැකිය. පැටවාට සතියක් ගත වන තුරු සෑම පැය දෙකකට වරක්ම කිරි වේලක් දීම කළ යුතු වේ. සතියක් ඉක්ම ගිය පසු පැය තුන හතරකට වරක් කිරි දීම ප්‍රමාණවත්ය .

බෝතලයකින් කිරි පොවන්නේ නම් කුඩා දරුවන්ට කිරි දෙන ආකාරයටම බෝතලය නැවත නැවත තම්බා ප්‍රයෝජනයට ගැනීමට ප්‍රවේශම් විය යුතු ය. කිරිපිටි ලබා දෙන විට ද උතුරවා නිවාගත් ජලයෙන් කිරිපිටි දිය කළ යුතු වේ.

කිරි වේලක් ලබාදුන් සෑම අවස්ථාවකම උණුසුම් කළ තෙත රෙදි කඩකින් පැටවාගේ මලපහ කරන ප්‍රදේශය පිරිමැදීම කළ යුතුය. මෙම ක්‍රියාව සුනඛ මවක් ඇගේ දිවෙන් නිතර කරනු ලබන්නකි.

සුනඛ මවක් පැටවාගේ එම ප්‍රදේශය ලෙවකන්නේ පැටවාට මලපහ කිරීම සඳහා උත්තේජනයක් සැපයීමටයි. මව අහිමි වූ පැටවෙකුට බාහිරින් හෝ මෙම උත්තේජනය ලබා දීම අවශ්‍යය. එසේ නොකළ විට පැටවාට මලපහ පිටවීම නිසි පරිදි සිදු නොවන්නට හැකියාවක් තිබේ.

පැටවා ඝන ආහාරවලට හුරු කිරීම:

මෙය කළ යුත්තේ පැටවාගේ වයස සති හතරක් ඉක්ම ගිය පසු ව ය. එහිදී මුලින්ම පාන්, බිස්කට් වැනි ආහාර පැටවාට ලබාදුන් කිරි සමග සමඟ මිශ්‍ර කර දිය හැකිය. සති හතක් හෝ අටක් ඉක්ම ගිය පසු කිරි අතහැර ඝන ආහාර ආහාරවලට පැටවා හුරු කළ හැකි වේ.

වයසට අනුව නිසි බර පවත්වාගෙන යාම:

පැටවාගේ උපත් බර මුලින්ම කිරා ගත් පසු උපත් බරට සාපේක්ෂව වර්ධනයත් සමඟ නිශ්චිත බරක් පැවතිය යුතුවේ. පැටවාට නිසි පෝෂණය ලැබෙනවාද? යන්න වටහා ගත හැක්කේ උපත් බරට සාපේක්ෂව බර වැඩි වන ආකාරයටය. සුනඛ පැටවකු ගේ බර වැඩිවීම උපත් බරට සාපේක්ෂව දිනකට 10% කින් වැඩි විය යුතුවේ.

ලබා දෙන පෝෂණය ප්‍රමාණවත්දැයි දැන ගැනීමට දිනපතා බර කිරා බැලීමෙන් 10%ක ප්‍රමාණයක් බර වැඩි වීම සිදු වෙනවාදැයි සැක හැර දැනගත හැකි ය .ඒ ආකාරයට බර වැඩිවීම සිදු නොවන්නේ නම් කිරි වේල් ගණන වැඩි කිරීම හෝ විටමින් වර්ගයක් ලබා දී අවශ්‍ය පෝෂණය සැපයීමට පියවර ගත යුතුය.

එසේම මව ගෙන් නිතර ලැබෙන උණුසුම ඒ ආකාරයටම පැටවාට ලබාදීමටද කල්පනාකාරී විය යුතුය.

පශුවෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය