මහජන විරෝධය සහ පොලිස් නිලධාරීන්ගේ හෘද සාක්ෂිය

මේ දිනවල මුළු රටම එකම ගිනි ජාලාවක් බවට පත්වෙමින් තිබෙනවා දැනට මාස කිහිපයකට පෙර ආරම්භ වූ විදුලි අර්බුදය ගෑස් සහ ඉන්ධන සැපයීම අඩාල වීම, එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික භාන්ඩ වල හිඟකම සහ අධික ලෙස මිල වැඩිවීම වැනි කරුණු මෙම ගිනි ජාලාව වඩාත් තීව්‍ර කිරීමට එක්කරන ලද ඉන්ධන බවට පත් වී තිබෙනවා.

මෙම සිදුවීම් මාලාවට සමගාමීව මහජන විරෝධතා තැන්තැන්වල ආරම්භ වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ද මෙම උද්ඝෝෂණ වලට නායකත්වය දීමට මුල් වී සිටියත් ක්‍රමයෙන් එම තත්ත්වය වෙනස් වෙමින් අද වන විට පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව බහුතරයක් වූ සිවිල් පුරවැසියන් පවතින රජයට එරෙහිව එළි පිටම විරෝධතාවය ප්‍රදර්ශනය කිරීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන අතර බහුතරයක් ජනතාව අද වන විට වීදි සටන් සටන් වලට පවා අවතීර්ණ වී සිටිනවා මෙම විරෝධතාවල කූටප්‍රාප්තිය ලෙස පසුගිය 31 වන දින නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශය ආසන්නයේ ප්‍රදේශයේ මහජනතාව විසින් ආරම්භ කරන ලද සාමාන්‍ය විරෝධතාවයක් ඉතා සුළු වේලාවක් ඇතුළත මහා ජන සමූහයක් බවට පත්ව ජුබිලි කණුව ප්‍රදේශය ආසන්නයේම පිහිටා තිබෙන වර්තමාන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස වට කිරීම දක්වා ව්‍යාප්ත වූ අතර මෙම සිද්ධීන් අවසන් වූයේ එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා පැමිණි හමුදා භටයන් ප්‍රවාහනය කරන ලද බස් රථයකට සහ පොලිස් ජිප් රථයක් ඇතුළු ත්‍රිරෝද රථ කීපයකට ගිනි තැබීමෙන් සහ සිවිල් පුරවැසියන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් ද සියයකට වැඩි පිරිසක් තුවාල ලැබීමෙනුයි.

මෙම සිද්ධීන්වලට සම්බන්ධ බවට සැක කෙරුණු සිවිල් පුද්ගලයන් 58 දෙනෙකු මුල් අවස්ථාවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් 28 දෙනෙකු නීති විරෝධී ජන රාශියකට ඇතුළත්ව පොදු දේපල විනාශ කිරීමේ චෝදනා චෝදනාව මත අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම පිරිස අතරින් හය දෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට පොලිසිය කළ ඉල්ලීම් අනුව එම පුද්ගලයන් හය දෙනා උගත් මහේස්ත්‍රාත් වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර ඉතිරි සැකකරුවන් විසි දෙදෙනා ඇප මත මුදාහැරීමට උගත් මහේස්ත්‍රාත්තුමා තීරණය කළා.

මහෙස්ත්‍රාත්තුමා මෙම ඇප දීමේ තීරණය ගනු ලැබුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ සැකකරුවන් සියලුම දෙනා දින දාහතරක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරීන්ද විසින් කරන ලද ඉල්ලීම ඉවත දමමිනුයි.

මෙම සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥයින් 6 දෙනෙකු ඇතුළු නීතිඥයින් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් අධිකරණය හමුවේ ස්වේච්ඡාවෙන්ම පෙනී සිටි අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිඥයන්ගේ අත්පොළසන් මැද අධිකරණ ශාලාවට පිවිසීමේ අවස්ථාව ලද එකක එකම සැකකරුවන් කණ්ඩායම ලෙස මෙම පිරිස හඳුන්වා දීම නිවැරදි බවයි මගේ අදහස.

අයුතු ජන රාශියකට ඇතුලත්ව පොදු දේපල විනාශ කිරීමේ චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරුවන්ට ඇප ලබා දීම සාමාන්‍ය වශයෙන් සිදුවන්නක් නොවේ.

එහෙත් විශේෂ අවස්ථාවක් ලෙස සලකා මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත් තුමා විසින් ගනු ලැබූ තීරණය ඉතා නිවැරදි බවයි; නීති ක්ෂේත්‍රයට සම්බන්ධ බහුතරයකගේ මතය

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙම සිද්ධියට අදාළව අධිකරණය වෙත ඉදිරිපත් කළ මූලික තර්ක දෙකක් තිබුණා. ඉන් ප්‍රධානම තර්කය වුණේ සැකකරුවන් සම්බන්ධව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද මුල් බී වාර්තාව නීතියට අනුව අසම්පූර්ණ එකක් බැවින් එම කරුණු පදනම් කරගෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම ඔවුනට සිදු කෙරෙන බලවත් අසාධාරණයක් බවයි. 1966 වර්ෂයේ නව නීති වාර්තාවක් ලෙස නෛතික පද්ධතියට එක් ව ඇති “ජයසිංහට එරෙහිව රජය” නව නීති වාර්තාවේ මෙම තත්ත්වය ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා.

එනම් යම් සැකකරුවකු හෝ සැකකරුවන් අපරාධ චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන විට එම සිද්ධියට අදාළව සැකකරුවන්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධව පොලිස් විමර්ශනයට ලක් වූ සියලුම සාක්ෂි වල සම්පිණ්ඩනයක් එම බී වාර්තාවට ඇතුළත් විය යුතු බව සහ එම කරුණු නීතිමය විශ්ලේෂණයකට භාජනය කර සැකකරුවන් සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ගය අධිකරණය විසින් තීරණය කළ යුතු බවයි. මෙම බී වාර්තාව අපරාධයට සම්බන්ධව සැකකරුවන්ගේ දායකත්වය වෙන් වෙන් වශයෙන් පිළිබිඹු කරන කැඩපතක් විය යුතු අතර එසේ නොවන අසම්පූර්ණ අවස්ථාවල සැකකරුවන්ට ඇප ලබා දීම හෝ ඔවුන් නිදහස් කිරීමේ තීරණයට එළඹීමේ අයිතිය අධිකරණය සතු වන බවයි.

මෙවැනි අවස්ථාවක මහේස්ත්‍රාත් වරයෙකු ගේ කාර්යභාරය කෙසේ විය යුතුද? යන්න මැක්සිමස් ඩැනීට එරෙහිව පොලිස් පරීක්ෂක සිරිනිමල ද සිල්වා නඩුවේදී හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මැතිනිය විසින් ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එම නඩු තීන්දුවේ දක්වා ඇත්තේ සැකකරුවන් සම්බන්ධව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වාර්තා ඒ ආකාරයෙන්ම සැලකිල්ලට ගෙන සැකකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමේ තත්ත්වයට මහේස්ත්‍රාත්වරුන් පත් නොවිය යුතු බවයි.මහෙස්ත්‍රාත්වරයා යනු හුදෙක් රබර් මුද්‍රාවක් නොවිය යුතු බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා.

එබැවින් මෙම සැකකරුවන් විසි දෙදෙනා සම්බන්ධව උගත් මහේස්ත්‍රාත්තුමා ක්‍රියා කර ඇති ආකාරය ඉතා නිවැරදි වන අතර විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද “පිස්සු නටන” විට අවම වශයෙන් රාජ්‍ය පාලනය ඉතිරි ප්‍රධාන ප්‍රධාන පාලකයා වන අධිකරණය මෙසේ විචාරශීලීව බුද්ධිමත්ව කටයුතු කිරීම මෙරට සිවිල් පුරවැසියන් ලද විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතුයි.

මෙවැනි මහජන කැළඹීම් සිදු වන වකවානුවල පොලිස් නිලධාරින් වෙත පැවරෙන වගකීමද අසීමිතයි. ප්‍රථමයෙන්ම පොලිස් නිලධාරීන් ලෙස අප රටේ ජනතාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බව අමතක කළ යුතු නැහැ ඒ වගේම පොලිස් නිලධාරීන් ලෙස අප ක්‍රියාත්මක කරන සියලු විධානයන් නෛතික විය යුතු බවක් අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිස් හෝ හමුදා නිලධාරීන් කිසිවකු නීතියෙන් බැඳී නොසිටින බව දේශීය මෙන්ම ජාත්‍යන්තර නඩු තීන්දු වලින් මනාව ඔප්පු කර තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම යුද්ධයට මුල් වූ ජර්මානු හමුදා නිලධාරීන්ට එරෙහිව ජර්මනියේ නියුරන්බර්ග් නුවර ආරම්භ වූ ඓතිහාසික අධිකරණ ක්‍රියාවලිය තුළ ලබා දෙන ලද නඩු තීන්දුව ඉතා සුවිශේෂ තීන්දුවක් ලෙස සැලකිය යුතුයි. මෙම අධිකරණ ක්‍රියාවලියේ දී යුද අපරාධයන්ට සම්බන්ධ බවට චෝදනා ලද බහුතරයක් ජර්මානු හමුදා නිලධාරින් සිය විත්තිවාචක ලෙස දන්වා සිටියේ තම රටේ නායකයා ලෙස කටයුතු කළ ඇඩෝල්ෆ් හිට්ලර් විසින් ජර්මානු පාර්ලිමේන්තුව තුළින් සම්මත කරගත් නීති අණපනත් වලට අනුව තමන් කටයුතු කළ බවත් බොහෝ අවස්ථාවලදී තමන් සිදු කළ ක්‍රියාකාරකම් ඇඩොල්ෆ් හිට්ලර් හෝ ඔහුට සම්බන්ධ ඉහළ විධානයන් විසින් ලබාදෙන ලද ඒවා බැවින් හමුදා නීතියට අනුව එම නියෝග ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටි බවත් ,එබැවින් තමන් විසින් සිදුකරන ලද බවට චෝදනා නැගෙන යුද අපරාධ තමන්ගේ හෘද ශාක්ෂියට එකඟව සිදුකරන ලද ඒවා නොවන බැවින් තමන් නිදහස් කරන ලෙසයි. එසේම එම නියෝග පාලනය කිරීමේ හැකියාව තමන් සතුව නොතිබූ බවත් ඔවුන් අධිකරණය වෙත දන්වා සිටියා. එහෙත් මෙම විත්තිවාචිකය නියුරන්බර්ග් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලද අතර එම විනිශ්චකාරවරුන් සිය තීන්දුවේ සඳහන් කළේ නායකත්වය කුමන නියෝග නිකුත් කළ ද ඒවා නිවැරදි සහ නීතියට එකඟව ක්‍රියා කළ යුතු ඒවා බැවින් වැරදි සහ අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට කිසිවෙකු නීතියෙන් බැඳී නොමැති බවයි.

1971 කැරැල්ල සමයේදී කතරගම පුදබිමේ දී යුද හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරන ලද ⁣ප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පසුව පැවති මහාධිකරණ නඩු විභාගයේ දී ද මෙම තත්ත්වය වැඩිදුරටත් හෙළිදරව් වුණා. මෙම සිද්ධියේදී ප්‍රේමවතී මනම්පේරිට වෙඩි තබන ලද මගේ මතකය හැටියට ලාන්ස් කෝප්‍රල් තිලකරත්න විත්තිකරුවකු ලෙස සිය විත්තිවාචකය ලෙස දන්වා සිටියේ යුදහමුදාවේ ඉතා කනිෂ්ඨ නිලධාරියකු වූ තමා උසස් නිලධාරියා වූ ලෙප්ටිනන්ට් විජේසූරිය විසින් දෙනු ලැබූ නියෝගය ප්‍රකාරව ඔහු ප්‍රේමවතී මනම්පේරි තරුණිය ට වෙඩි තබා ඝාතනය කළ බවයි. එහෙත් නියුරංබර්ග් නඩු තීන්දුව සිහිපත් කරමින් උගත් මහාධිකරණ විනිසුරුතුමා සිය තීන්දුවේ දක්වා සිටියේ අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට කිසිදු රජයේ නිලධාරියෙකු නීතියෙන් බැඳී නොසිටින බවයි.

එබැවින් මහජන උද්ඝෝෂණ වීදි විරෝධතා මුළු රටපුරා ක්‍රියාත්මක වන මෙවැනි වකවානුවක පොලිස් හා හමුදා නිලධාරීන් ලෙස තමන් වෙත ලැබෙන නියෝගවල නීත්‍යානුකූල භාවය ගැන මනා අවබෝධයකින් යුතුව ඒවා ක්‍රියාත්මක කළ යුතුව පවතිනවා. එයට ප්‍රධානම හේතුව වන්නේ එම නියෝග වල අනීතික භාවය පරීක්ෂාවට ලක් කෙරෙන වකවානුවල බොහෝ විට එම නියෝග ලබා දුන් පිරිස මේ රටේ වත් නො සිටින තත්වයක් උද්ගත විය හැකි බැවින් සහ එම පරීක්ෂණයන්ට තනිව මුහුණ දීමට ඒවා ක්‍රියාත්මක කළ පොලිස් සහ හමුදා නිලධාරීන්ට සිදුවන බැවිනුයි.

මෙම තත්ත්වය 1971 කැරැල්ල අවසානයේදී මෙන්ම 1988- 89 භීෂණ සමය අවසානයේදී ද උතුරේ යුද කලාපය තුළ සිදු වූ යම් යම් සිද්ධීන් සම්බන්ධව ද සිදුවනවා. ඒවාට මුල් වූ පොලිස් සහ හමුදා නිලධාරීන් එම අවස්ථාවල මුහුණ දී සිටි අසරණ භාවය වසර හතළිහකට ආසන්න සක්‍රීය සේවා කාලයක් හිමිව සිටි මා විසින් පැහැදිලිව දැක තිබෙනවා. එබැවින් මෙම තත්වය ගැන වර්තමානයේ සේවයේ නියුතු පොලිස් හා හමුදා නිලධාරීන් දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස සලකා මෙම සටහන එක් කරනවා.

ප්‍රියන්ත ජයකොඩි
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික )

ඉරා අදුරුපට