පිටිදුවේ සිරිධම්ම නමින් පැවිදි බිමට පත්ව මේ වන විට “සියළු කෙලෙසුන් නැසූ” හෙවත් “සාකල්‍යයෙන්ම පවිත්‍ර වූ” යන අරුත සහිත සිරි සමන්ත භද්‍ර යන යාවත් කාලීන නමින් පෙනී සිටින හිමි නම ගේ හතලිස් නව වන උපන් දිනය නිමිත්තෙන් ඒ හිමියන් විසින් පවත්වා ගෙන යනු ලබන මැල්සිරිපුර උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය නමින් හැඳින්වුණු ස්ථානයක පසුගිය 26 දා පැවැති උත්සවයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් සේම දේශපාලනඥයන් රැසක් සහභාගී වූහ.එහිදී මහින්ද රාජපක්ෂ උත්පල වර්ණ ශ්‍රී විෂ්ණු ශාන්ති මණ්ඩපය නම් ස්ථානයක ඉදිකොට තිබූ හනුමාන් ප්‍රතිමාවක් ද විවෘත කළ බව ද මාධ්‍ය මගින් අනාවරණය විය.
හින්දු ත්‍රිමූර්තියට අයත් ප්‍රධානතම දෙවි කෙනකු වන විෂ්ණු දෙවියන් පසුකාලීනව බෞද්ධ සංස්කෘතියට ද පිවිස හිඳින අතර මුල දී විෂ්ණු හා උත්පලවණ්ණ යන දෙවිවරුන් දෙදෙනා මහනුවර රාජධානි සමයේ පමණ සිට එකම දෙවි කෙනකු ලෙස හැඳින්වෙන ලදී.නමුත්, හින්දු ආගමික සංස්කෘතියට අනුව විෂ්ණු යනු ක්ෂාන්තිවාදී දෙවි කෙනකු නොවේ.එමෙන්ම උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ දක්නට ලැබෙන විෂ්ණු ප්‍රතිමාව ද මුළුමනින් එකී හින්දු සම්ප්රදායේ එකකි.හින්දු ආගමට අනුව, එහි දැක්වෙන දැවැන්ත නාගයා ශේෂාග් ලෙස හඳුන්වන අතර විෂ්ණු දෙවියන් එම සරප සිරුර මත වැතිර විවේක ගනිමින් සිටින අයුරු ඉන් නිරූපනය වේ.මෙම ශේෂාග් අප සංස්කෘතියට අයත් අනන්ත නම් නාග රාජයා වශයෙන් සමහරෙක් සළකති.එහෙත්, මේ අතර පවතින සමාන කම් වලට වඩා විෂමතා බොහෝ ය.
රාමායන වීර කාව්‍යයේ අසම සම වීරයා වන විෂ්ණු ගේ දස අවතාර වලින් එකක් වන රාම කුමරුන් ශ්‍රී ලාංකේය බෞද්ධයෝ දෙවි කෙනෙකු ලෙසින් නොඅදහති. ඒ අනුව රාම රාවණා යුද්ධයේ දී විෂ්ණු දෙවියන් ගේ අවතාරයක් වන රාම කුමරුන්ට විශිෂ්ට සහායක් පළ කළ සුශ්‍රීව ගේ වානර සේනාවට අයත් හනුමාන් හෙවත් හනුමන්තා ද ශ්‍රී ලාංකේය බෞද්ධයන් ගේ ඇදහීමට ලක් වූවෙකු නොවේ. ශ්‍රී ලාංකේය ජනයාට හනුමන්තා වැදගත් වනුයේ අංජනම් එළි බැලීමේ දී පමණි. නමුත් ඉන්දියාවේ විෂ්ණු භක්තික හින්දුන්ට හනුමන්තා ද දෙවියෙකි.නමුත් අප රටේ ජනතාවට හනුමා යන්න හුදු උපහාස නාමයකි.
ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවගෙන් බහුතරය ශිව භක්තිකයෝ වෙති. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ නිජබිම කොට ගත් දෙමළ ප්‍රජාවෙන් අති බහුතරය ශිවාගම අදහන්නෝ වෙති. ඔවුන් අතරින් විෂ්ණු භක්තිකයන් සොයා ගැනීම පවා අසීරු කරුණක්ව තිබේ.නමුදු ඉන්දියාවේ අදත් අතිශය ප්‍රචලිත විෂ්ණු භක්තිකයන් රාමායන නම් කෘතිය අතිපූජනීය කෘතියක් සේ සළකන අතර එහි රාම කුමරුන් ගේ පරම සතුරා සහ පරම දුෂ්ටයා වන රාවණ ගේ දේශය වශයෙන් ඔව්හු අප රට කෙරෙහි ද විශේෂ උනන්දුවක් පළ කරති. ඒ අනුව රාමායන කෘතියේ එන දිව්‍යමය යුද වීරයා වන රාම කුමරුන් විසින් පරාජයට පත් කරන ලද රාවණා ගේ උන් හිටි තැන් බැලීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණීමට ද ඔව්හු අමතක නොකරති. එම උනන්දුව කොතෙක් ද යත් රාමායන සංචාර ( Ramayana Tours) නම් වන ඉන්දීය ජාතිකයන් මෙරටට පැමිණීමේ නව සංචාර මාදිලිය මේ වන විට ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක් ව යහපත් විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් ලෙස ද ප්‍රවර්ධනය වෙමින් තිබේ.
ඒ අතරේ ශ්‍රී ලංකාව තුළ විෂ්ණු ඇදහීම සම්බන්ධ ස්ථාන ප්‍රවර්ධනය කරවීම සම්බන්ධයෙන් ඉන්දීය ආයතන සුවිශේෂ උනන්දුවක් පළ කිරීම දැන් කලෙක සිට සිදුවන්නකි. විෂ්ණු ඇදහීම පදනම් කර එම ප්‍රවර්ධන කාරිය තුළින් අතිවිශාල ධනස්කන්ධයක් මෙරටට ඇදී එන බවට ද තොරතුරු තිබේ.
පසුගිය එල්.ටී.ටී යුද්ධය දිගටම පැවැතීමට හේතුව ඉන්දියාවේ තිරුචිරාපල්ලි හි පිහිටි ශ්‍රී රංගම් කෝවිලේ වාහල් කඩක් (ගෝපුරම්) මගින් ශ්‍රී ලංකාව වැසී ඇති අතර එම නිසා එහි වැඩ සිටින විෂ්ණු දෙවියන්ට ශ්‍රී ලංකාව දැක ගැනීමට නොහැකි බවත් ඊට පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ අගනුවරට ආශ්රිත ජලයෙන් වට වූ භූමි භාගයක එම ආකෘතියෙන් යුතු විෂ්ණු කෝවිලක් තැබිය යුතු බවත් 1997 වසරේ එවක ආරක්ෂක ඇමතිව සිටි අනුරුද්ධ රත්වත්තේට එක්තරා ඉන්දීය සංවිධානයක් විසින් දැනුම් දෙන ලදී. ඒ අනුව අතිවිශාල ධනස්කන්ධයක් යොදා මුතුරාජවෙල පරිශ්‍රයේ දැවැන්ත ශ්‍රී රංග නාථ ස්වාමි නම් විෂ්ණු අවතාරය සඳහා කෝවිලක් ඉදිකිරීමට අනුරුද්ධ රත්වත්තේ අමාත්‍යවරයා ගත් උත්සාහය එම පරිශ්‍රය වටා දිය අගලක් පවා කැප්පවීමෙන් පසු එවක ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ව්‍යවර්ථ කරන ලද බව පැවසෙයි. අදත් එහි වල්බිහි වී ඇති සමරු ඵලකයේ එම කෝවිල සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1998 පෙබරවාරි 08 දින මුල්ගල තැබූ බව සටහන් වෙතත් ඇය එම උත්සවයට පවා නොපැමිණීම විශේෂත්වයකි.
මේ අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද කැලණියේ වගුරු බිමක් මුල් කොට විශාල ධනයක් යොදා එවැනිම විෂ්ණු කෝවිලක් තනා වාර්ෂික පෙරහැරක් ද සංවිධාය කළ අතර එය ද ඔහුට ඉන්දියාවේ කෝවිලකින් ලැබුණු උපදෙසක් මත ඉදි කරන ලද්දක් බව පැවසුණි. පසුව මර්වින් සිල්වා දේශපාලනික වශයෙන් සරණාගත තත්වයට පත් වූ අතර ඔහුගේ එම කෝවිල ද අසරණ හුදකලා බවකට පත් විණි. එවන් තත්වයක් යටතේ සිරි සමන්තභද්‍ර හිමියන් ගේ මෙම උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ ඉදිව ඇති උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු ශාන්ති මණ්ඩලයේ සැබෑ පසුබිම කුමක්ද? එය කවුරුන්ගේ අවශ්‍යතාවක් මත ඉදිකරවන ලද්දක් ද යන්න නිශ්චිතව කීමට අපට නොපුළුවන.නමුත් ඉන්දියාවේ විවිධ ආයතන ඉන්දියානු සංස්කෘතිය මෙරට ප්‍රචලිත කරන්නට සෘජුව හා වක්‍රව විශාල වශයෙන් මුදල් යොදවන බව නම් ඒකාන්ත සත්‍යයකි.බටහිර ආක්‍රමණ පිළිබඳ සිහිනයෙන් පවා දොඩන්නවුන් මේවා පිළිබඳව ද අවදියෙන් සිටිය යුතු ය.
මේ අතර පසුගිය 26 දා පැවැති උත්සවයේ දී එහි සිදු වූ විවිධ විවෘත කිරීම් අතරට මහින්ද රාජපක්ෂ ලවා හනුමන්තා ගේ ප්‍රතිමාවක් විවෘත කරවීම ද එක්තරා සුවිශේෂත්වයකින් යුතු වූක් සේ අපට හැඟේ.
පසුගිය එල්ටීටීඊ යුද්ධයත් සමඟ අප රට තුළ බිහි වූ අසම සම යුද වීරයා රාවණා රජු ය. ඒ වීරත්වය මේ වන විට සමාජය පුරා කෙතෙරම් ඔඩු දුවා තිබේද? යත් රාවණා නමින් ඔසුසල් සේම සම්භාහන ආයතන පවා ඉදිව තිබේ.2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනපති වීමෙන් පසුව තරුණ තරුණියන් විසින් රට පුරා තාප්පවල අදිනු ලැබූ බිතු සිතුවම්වල ප්‍රධාන තැනට පත් වූයේ ද රාවණාම ය. එහෙත් රාවණා යනු රාමගේ පරම සතුරා ය. රාවණා විසින් ලංකාවට පැහැර ගෙන එන රාම කුමරුගේ ප්‍රියංබිකාව සීතා දේවිය රාම කුමරුන්ට යළි ලබා දීම මුල් වනුයේ හනුමාන් හෙවත් හනුමන්තා නම් වානර සෙන්පතියා ය.
මෙය වඩාත් සරල ලෙස කිවහොත් එදා හනුමන්තා නොවිණි නම් සීතා පසුකාලීනව ලංකා පුරයේ පුරවැසි භාවය ලබා ගෙන මෙරට පදිංචි වීමට ද ඉඩ තිබිණ. ඒ අනුව රාවණා පරමාදර්ශය කොට ගත් තමන් හෙළයන් වශයෙන් හඳුන්වා ගන්නා ශ්‍රී ලාංකේය ප්‍රජාවට හනුමන්තා කෙසේවත් ප්‍රිය මනාප වීමට හැකියාවක් නැත.එවන් පසුබිමක් තුළ බෞද්ධ විශ්ව ගම්මානය නමින් හැඳින්වුණු ස්ථානයකට හින්දු ආගමික පසුබිමක් ආරෝපණය කිරීමත් තුන් හෙළයේ අසම සම නරපති රාවණාගේ පරපුරට අයත් යැයි බොහෝ දෙනකු සිතන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයන් ද ආශිර්වාද මැද එහි රාවණා රජු ගේ සතුරු පාර්ශවය නියෝජනය කරන කොහේ වත් හිඳින හනුමෙකුගේගේ ප්‍රතිමාවක් විවෘත කිරීමත් නිසා මේ තාක් සිතා ගත නොහැකි;එහෙත් අළුතින් සිතිය කරුණු රාශියක් අප වටා ගොනු වෙමින් තිබේ.
හේමන්ත රන්බණ්ඩාර