හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධ්‍යාත්මික නායකයා නායකයා බව හැඟවෙන ප්‍රවෘත්ති කිහිපයක් ම පසුගිය දිනවල අසන්නට ලැබුණි. මහින්ද රාජපක්ෂ තම පක්ෂයේ ආධ්‍යාත්මික නායකයා යැයි එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වන මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසන බව එක් පුවත් වෙබ් අඩවියක් වාර්තා කොට තිබිණි. එම මන්ත්‍රීවරයා ම රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ මහින්ද රාජපක්ෂ සිය පක්ෂයේ ආධ්‍යාත්මික නායකයා බව ය. එමෙන්ම බැසිල් රාජපක්ෂ ද මෙයම පවසා ඇති බව වෙබ් Tamil Guardian අඩවිය වාර්තාකොට තිබුණි. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු පැරණි වමේ නායකයකු වන වාසුදේව නානායක්කාර මෙවැන්නක් පවසා තිබිණි. “එතුමා තමා අපේ ආධ්‍යාත්මික නායකයා. එතුමාගේ රූපය, එතුමාගේ චරිතය, එතුමාගේ රැස් කදම්භය අපට මග පෙන්වනවා.” මේ කතාවලින් පසුව අසන්නට ලැබුණේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධ්‍යාත්මික නායකයා බවට පත් කරන්නට සූදානම් වන බවකි. අප රටේ මෙතෙක් කිසිම ආකාරයක ආධ්‍යාත්මික නායකයකු සිට නැත. මේ පක්ෂය කුමක් හෝ වෙනස් ආකාරයක දේශපාලනය ප්‍රවේශයක් ලබාගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව නම් පැහැදිලි ය. කෙසේ නමුත් ගැටලුව වන්නේ මහින්ද රාජපක්ෂ ආධ්‍යාත්මික නායකයකු වන්නේ කෙසේ ද යන්න ය. රූපය තුළින් ආධ්‍යාත්මික නායකයන් බිහි වන බවක් අප අසා නැත.
ආධ්‍යාත්මික නායකයකු (Spiritual Leader) යනු කවුද?
ලෝකයේ ආධ්‍යාත්මික නායකයන් විවිධාකාරයෙන් අර්ථ දක්වා තිබේ. ඒ සෑම අර්ථ නිරූපණයකට ම අනුව ආධ්‍යාත්මික නායකයකු යනු මිනිසුන්ට ආධ්‍යාත්මික වශයෙන් මග පෙන්වන පුද්ගලයෙක්ය යන්න ඉස්මතු වෙයි. ආධ්‍යාත්මික බව සෑම විටම සම්බන්ධ වී ඇත්තේ ආගම සමග ය. මහින්ද රාජපක්ෂ රැස්වීමක් අමතා තිබුණේ අයතුල්ලා කුමේනි මෙන් බව එක පුවත් වෙබ් අඩවියක් වාර්තා කොට තිබුණි. ඔහු තුළට ආධ්‍යාත්මික බවක් ආරෝපණය කරන්නට මේ කතාව ද හේතු වන්නට ඇත. අයතුල්ලා කුමේනි, 1979 සිට ඔහුගේ මරණය සිදු වූ 1989 වසර දක්වා ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ලෙස රට පාලනය කළේ ය. ඔහු ආධ්‍යාත්මික නායකයකු වශයෙන් හඳුන්වන්නට හේතු වූයේ ආගම සමග ඔහුගේ තිබූ දැඩි සබඳතාව නිසා ය. කුඩා කල සිටම කුරානය හදාරන්නට පටන් ගත් ඔහු අවසානයේ ඉස්ලාමීය පූජකවරයකු බවට පත් විය. ඉරානය පාලනය කළ ‘ෂා’ රජ පෙළපත පන්නා දමා නව රජයක් බිහි කරන්නට ඔහු කටයුතු කළේ ය. ඉස්ලාමීය පූජකවරයකු වීම නිසා ඔහුගේ පාලනය තුළ වැඩි වශයෙන් ම ඉස්මතු වූයේ ඉස්ලාම් ආගමික ලක්ෂණයන් ය. ඔහු ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වන්නේ මේ ආගමික පූජක තත්ත්වය ඇතුළුව ඔහුගේ පැවති දැඩි ආගමික සම්බන්ධතාවය මත ය. මීට අමතරව ලෝකයේ ආධ්‍යාත්මික නායකයන් පිළිබඳ සොයා බැලීමේ දී පෙනී යන්නේ ඔවුන් එක්කෝ ආගමික පූජකවරයන් බව ය. එසේත් නැත්නම් මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන් නගා සිටුවන්නට වසර ගණනාවක් තිස්සේ සිය වෙහෙස මහන්සිය යෙද වූ පුද්ගලයන් බව ය.
පුද්ගලයකුගෙන් ආධ්‍යාත්මික බවක් ඉස්මතු වන්නට නම් ඔහු තුළ අවංකත්වය, යහපත, හොර මැරකම් නොමැති බව ආදී යහ ලක්ෂණ තිබිය යුතු ය. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධ්‍යාත්මික නායකයා බව එහි මන්ත්‍රී රංජිත් බණ්ඩාර පවසන රූපවාහිනී සාකච්ඡාව සම්බන්ධයෙන් එක් ප්‍රේක්ෂකයකු අදහසක් දක්වමින් සටහන් කොට තිබුණේ, “සුනාමි අරමුදලට ඇරපු එකා කොහෙද බම් ආධ්‍යාත්මික” යන්න ය. මිනිසුන් මහින්ද රාජපක්ෂ පිළිබඳ සිතා සිටින අන්දම මෙයින් පිළිබිඹු වෙයි. සුනාමි අරමුදල, හෙල්පිං හම්බන්තොට, හෙජින් ගිවිසුම ආදිය පිටුපස ඇති වංචා, දූෂණ, අක්‍රමිකතා සම්බන්ධව මහින්ද රාජපක්ෂ ට කෙළින්ම චෝදනා එල්ල වී තිබේ. මෙයට අමතරව මෙහි නාමික ව සඳහන් කොට නැති චෝදනා ද අතිමහත් ය. ඒවා අධිකරණය ඉදිරියේ ඔප්පු වී, සනාථ වී නැති නමුත් මේවා පිළිබඳ විවිධ මාධ්‍ය ඉදිරිපත් කර තිබූ වාර්තා මගින් මේවායේ ඇති සත්‍ය භාවය මොනවට තහවුරු වී හමාරය. එවන් පසුබිමක් තුළ මහින්ද ආධ්‍යාත්මික නායකයා බවට පත් කොට, ඒ ආධ්‍යාත්මික බව රටේ ජනතාවට ද දේශනා කරන්නට පටන් ගතහොත් එය මේ සියවසේ ලොකුම විහිළුවක් බවට පත්වනු නිසැක ය.
ඊළඟට මතුවන කාරණය නම් මහින්ද රාජපක්ෂ පක්ෂයේ ආධ්‍යාත්මික නායකයා බවට පත් කරන්නේ නම් එය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කොට තිබේ ද යන්න ය. එවැනි ධූරයක් සහ එහි කාර්යභාරයන්, වගකීම් පක්ෂ ව්‍යවස්ථාවේ තිබිය යුතු ය. ආධ්‍යාත්මික නායකයා යන්න පක්ෂ ව්‍යවස්ථාවෙන් නිර්වචනය වී තිබිය යුතු ය. දේශපාලන නායකයකු ආධ්‍යාත්මික නායකයකු බවට පත් කිරීම තුළ ඇතැම් විට ශ්‍රී ලංකාව ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නට ඉඩ තිබේ. මන්ද එවැන්නක් කළ ලොව පළමු රට ශ්‍රී ලංකාව විය හැකි නිසා ය.
දේශපාලනය තුළ ආගමික බව රජ කළ අවස්ථාවන් ඉතිහාසයෙන් හමු වේ. ඒ ‘දෙවියන් විසින් රට පාලනය කරනු ලබයි’ වැනි ඉතාමත් පැරණි අදහසකට අනුව ය. අතීතයේ ඇතැම් රාජ්‍යවල ඉහළම පාලක තනතුරේ සිටියේ පූජකයන් ය. රටේ රජු පවා සිටියේ ඊට පහළ තැනක ය. නමුත් මේ ආධ්‍යාත්මික නායකයන් සෑම විටම නිවැරදි හෝ සැබෑ ලෙස ම ආධ්‍යාත්මික වූයේ නැත. රුසියාවේ රස්පුටින් ද පෙනී සිටියේ ආධ්‍යාත්මික පුද්ගලයකු ලෙස වුව ද අවසානයේ එය එසේ නොවන බව ලෝකය හමුවේ පසක් විය.
මහින්ද රාජපක්ෂ සිය කතා අතරතුර බොහෝ වාරයක් ‘අපේ හාමුදුරුවනේ’ වැනි වදන් පැවසීම, ඇඟිලි අතර ආරක්ෂක වජ්‍රයක් තබා ගැනීම වැනි දේවල් තුළින් පක්ෂ සාමාජිකයන් ඔහු තුළින් ආධ්‍යාත්මික බවක් දුටුවා වන්නට පුළුවන් වුව ද, එය සැබෑ ආධ්‍යාත්මික ලක්ෂණයක් නොවේ.බොහෝ විට මෙවැනි ආරක්ෂක පළඳනා කෙරෙහි එල්බ ගැනීම තමන් තුළ පවත්නා ආත්ම ශක්තිය පිරිහී යාමට සාපේක්ෂව සිදුවන්නකි.තමන් ගේ හෘද සාක්ෂියට පටහැනි දේ කරන්නෝ ද තම ආත්ම ශක්තිය හීන කර ගනිති. ආධ්‍යාත්මික නායකයකු වන්නට බලාපොරොත්තු වන පුද්ගලයා තුළ මහජනතාව කෙරේ අසීමිත කරුණාවක් හෝ අනුකම්පාවක් තිබිය යුතු ය. නමුත් මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය පාලනය තුළ ඉදි කළ මත්තල ගුවන් තොටුපල අවට ප්‍රදේශයේ ජනතාව වර්තමානයේ ද ජීවත් වන්නේ ඉතාමත් දිළිඳූ තත්ත්වයේ ය. දුක හඳූනන, සැබෑ ආධ්‍යාත්මික නායකයකු නම්, මේ ජනතාවගේ දුක පෙනෙන්නට තිබිණි. නමුත් ඔහු ඒවා දැක නැත. ඔහු තුළ තිබුණේ ආධ්‍යාත්මයට වඩා ආත්මාර්ථය බව එවැනි දේවල්වලින් පෙනී යයි. ආධ්‍යාත්මික නායකයකු තුළ ආත්මාර්ථය පවතින්නට ඉඩක් නැත.
මෙය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයකු වෙස් මුහුණක් පළඳවා නැවත ජනතාව ඉදිරියට ගෙනැවිත් ජනතාව රැවටීමට ගන්නා තවත් උපක්‍රමයක් විනා අන් දෙයක් නොවන බව බුද්ධිමත් ජනතාවගේ මතය වනු ඇත.ඒ අනුව අවසාන වශයෙන් ඔවුන් පවසනු ඇත්තේ “වෙස් මුහුණු බැඳන් ආවත් නෑ අපි රැවටෙන්නේ” යන්න පමණි.
නිරංජන් චාමින්ද කරුණාතිලක