මහින්ද අමරවීර ගේ කකුලෙන් ඇදීමේ ව්‍යාපෘතිය

mahinda-amaraweera

වී මිලදී ගැනීම ඇතුළු දැනට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා දින දෙකක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ගොවි ගැටලු විසඳීම කල් මරමින් කඩාකප්පල් කරන්නේ කවුදැයි නම සහිතව හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියයි.වත්මන් කැබිනට් මණ්ඩලයේ යම් වැඩක් කිරීමට ගොස් ලොකුම පීඩනයට පත් වන ඇමති වරයා ද ඔහු ම විය යුතු ය.ගොවි ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාට ප්‍රබල අවශ්‍යතාවයක් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නමුත් ඒ කටයුතු කඩාකප්පල් කරන ප්‍රබලයකු ආණ්ඩුවේම සිටින බව ද සඳහන් කරයි.

ඒඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී ය.ජනපති වරයාගේ ප්‍රධානත්වයෙන් අද (12)කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර හෙට (13)දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව කී අමාත්‍ය මහින්ද අමරවීර එහිදී තමන් මේ වන විට උහ්‍රව පවතින ගොවි ගැටලු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් එහිදී ද විසඳුමක් නොලැබුණ හොත් ගොවි ගැටලු විසඳීමට කර අරින ආණ්ඩුවේ ප්‍රබලයාගේ නම හෙළි කරන බවත් සඳහන් කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමති වරයාගේ කාලයේ දැඩි සත්කාර ඒකකයක ජීවිතයත් මරණයත් අතර දරුණු සටනක යෙදී සිටි ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නම් “රෝගියා”දැන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කොට තිබේ.ඉකුත් යල කන්නයේ වී වගාව ආරම්භ වීමට පෙර රට පුරා පැතිර ගිය මතය වූයේ දරුණු සහල් හිඟයකට රටට මුහුණ දීමට සිදුවනු ඇතැයි යන්න ය. මීට හේතුව වූයේ කෘෂි විද්‍යාඥයන් පසෙකට දමා අනුරුද්ධ පාදෙණිය වැනි තම වාසිය උදෙසා ආත්මය පාවාදුන් දොස්තරලාගෙන් ලැබූ කෘෂි උපදෙස් මත ඇරඹූ ගෝඨාභයගේ ඊනියා කාබනික කෘෂිකර්මය වෙනුවෙන් රසායන පොහොර හා වල් නාශක ආනයනය නතර කිරීමට ගත් තීරණයයි.එමඟින් වී වගාව කෙරෙහි එල්ල කළ බලපෑම සුළු පටු නැත. යල කන්නයේ වගාව සඳහා රසායනික පොහොර, සැපයුම පිළිබඳව කිසිදු පැහැදිලි වැඩ පිළිවෙලක් නොතිබීම මත යල කන්නයේ වී වගාව යනු සාර්ථක විය නොහැකි ආයෝජනයක් බව ගොවීහු සිය අත්දැකීමෙන් තීරණය කළහ. මේ නිසා යල කන්නයේ වී වගාව පිළිබඳ බලාපොරොත්තුව බිඳ වැටුණු අතර ඊට සමගාමීව රටේ සහල් පරිභෝජනය අධික;එහෙත් කෘෂිකාර්මික නොවන බස්නාහිර ඇතුලු නාගරික ප්‍රදේශවල ජනතාව අතර සාගතයක් පිළිබඳව බිය ජනක ආරංචි පැතිරෙන්නට විය.

මේ ආරංචියත් සමඟ ඊට පෙර මාස් කන්නයේ අස්වැන්නෙන් වෙළඳපලට නො එවා ගොවීන් ළඟ රැස්කරගෙන සිටි අතිරික්ත වී තොගවලට ඉහළම ඉල්ලුමක් නිර්මාණය විය. සාමාන්‍යයෙන් වී වගා කරන ගොවියා අස්වැන්න නෙලීමෙන් පසුව කෙලින්ම වෙළඳපලට යොමු කරන්නේ තම අස්වැන්නෙන් 50%ක් පමණ ප්‍රමාණයකි. ඉතිරි 50% සිය ආහාර සහ කන්නය අතර තුර තමාගේ පවුලේ එදිනෙදා නඩත්තුව සඳහා අලෙවි කිරීමට නිවසේ තබා ගැනීම සාමාන්‍ය පුරුද්දයි. යල කන්නයේ බලාපොරොත්තු බිඳවැටීමත් සමඟ වී සඳහා නාගරික මධ්‍යම පාංතික ප්‍රජාවගෙන් ලැබුණු ඉල්ලුම සඳහා සැපයෙන ලද්දේ මෙසේ ගොවීන් තම භාරයේ රඳවාගෙන තිබුණු මාස් කන්නයේ අස්වැන්නේ අතිරික්තය මගිනි. සාමාන්‍යයෙන් වෙළඳ පලෙන් වී මිලදී නොගන්නා මධ්‍යම පාංතික පාරිභෝගිකයින් ගෙන් ලද මේ ඉල්ලුම සමඟ වී කිලෝ එකකට රුපියල් 180/- දක්වා වූ වාර්තා ගත මිලක් ලැබිණ. වෙළඳ පොලේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වූ සාමාන්‍ය මිල රුපියල් 120/- 125/- පමණ ව තිබියදී වී සඳහා ලද අධි ඉල්ලුම නිසා රුපියල් 180/- මිලක් වී කිලෝ එකකට ලැබීම තිරසාර තත්වයක් නොවීය.

මෙය අනාගතයේ එළඹෙන සාගතයක් නිසා කුසගින්නේ සිටීමට සිදුවෙතැයි යන සාධාරණ බිය මත බස්නාහිර පළාත කේන්ද්‍ර කරගත් මධ්‍යම පාන්තික ප්‍රජාවගෙන් ලද අධි ඉල්ලුම නිසා ඇති වූ තත්වයකි. මෙසේ එක් රැස් කරගත් වී තොග තවමත් ආරක්ෂිත ආහාර සංචිතයක් ලෙස මධ්‍යම පාංතික ප්‍රජාව සතුව පවතින බව අමතක නොකළ යුතු වේ.නමුත් මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍ය වරයා වී සඳහා රුපියල් 120-130 අතර සහතික මිලක් නියම කොට වී අස්වැන්නෙන් යම් ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය ලවා මිල දී ගැනීමට කටයුතු යෙදීය. ඇමති වරයා ගොවීන්ට කියා සිටියේ මෙවර වී අස්වැන්නෙන් කොටසක් වී අලෙවි මණ්ඩලයට දී ඉතිරි කොටස පෞද්ගලික වෙළඳුන්ට අලෙවි කරන ලෙස ය.එහෙත් මහා පරිමාන සහල් මෝල් හිමියන් සහ අතරමැදියන් තවමත් ඒ මුදලට වී මිලට ගැනීමට තවමත් සූදානම් නැත.ඊට හේතුව එම ගණනට වී මිල දී ගෙන තම සුපුරුදු ලාභය සහිතව සහල් මිල නියම කිරීමට ඇති නොහැකියාව ය.ඒ නිසා ඔව්හු වී කිලෝව රුපියල් සියයට පමණ ගැනීමට කල් යල් බලමින් හිඳිති.

මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ද වී සඳහා කිලෝ එකට රුපියල් 150/- සහතික මිලක් ඉල්ලා සිටිනු ද නිරීක්ෂණය විය. මේ ඉල්ලුම ගොවියාගේ සිත දිනාගැනීමේ ඉල්ලීමක් මිස සහල් පාරිභෝගිකයා ගැන සිතන ඉල්ලුමක් නොවේ. යල් කන්නයේ වගාව අවිනිශ්චිත වීම මත ඇති වුණු සාගත බිය නිසා ඇති වුණු අධි ඉල්ලුමට සාපේක්ෂව ඉහළ ගිය වී මිල පදනම් කර ගනිමින් වී මිල රුපියල් 150/- ක් විය යුතුයැයි ඉල්ලීම පාරිභෝගිකයාගේ පැත්තෙන් අසාධාරණ ඉල්ලීමකි.එසේ වනුයේ සහල් කිලෝ ග්‍රෑමය රුපියල් 280/- න් ඉහළට යාමට එය හේතු වන බැවිනි.මෙවර මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් වී මිලදී ගැනීමට මෙතෙක් පිවිස නැත්තේ ඉදිරි සහල් වෙළඳ පළේ හැසිරීම පිළිබඳව පවතින ගැටලුකාරී තත්වය නිසා විය හැකිය.

විශේෂයෙන් සාගත බියත් සමග මධ්‍යම පංතික නිවාසවල එක්රැස් කෙරුණු වී තොග නිසා සාමාන්‍යයෙන් දෙසැම්බර් අවසානයට ඇති වන සහල් මිලේ වර්ධනය මෙවර සිදුනොවීමට ඇති ඉඩකඩ මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සැලකිල්ලට යොමු වී ඇත. ඒ බව යල් කන්නයේ වී මිලදී ගැනීම් ආරම්භ නොකිරීමෙන් පෙන්නුම් කර තිබේ.මේ තත්වය යටතේ මේ වන විට පක්ෂ දේශපාලනයේ ගන්ධබ්බ ත්ත්වයක සිට හෝ මහින්දානන්ද අලුත්ගමගේ ගේ කාලයේ දැඩි සත්කාර ඒකකයක පණ යන්නට ඔන්න මෙන්න කියා සිටින ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නම් “රෝගියා” සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ මහින්ද අමරවීරට එරෙහිව පාර්ශව කිහිපයක් නැඟී සිටීම පිළිබඳව කිසිදු පුදුමයක් අප තුළ නැත.

හේමන්ත රන්බණ්ඩාර

එතෙර - මෙතෙර