මීළඟ ජනාධිපතිවරණයට තමන් ද ඉදිරිපත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගත හැකි බව තමා විශ්වාස කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කීය.ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ඒ සඳහා පක්ෂයේ සහයෝගය තමන්ට ලැබී ඇති බවකි.එහි දී තමන්ට එරෙහි විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන මුත් ඒවාට නොසැලෙන බවත් කියමින් හිටපු ජනාධිපති වරයා කිසියම් ආවේගාත්මක ස්වරූපයක් පළ කරනු දක්නා ලදී.
ඉකුත් පාස්කු ප්‍රහාරයේ දී ජනපති ධූරය වෙත පැවරුණු වගකීම් පැහැර හැරීම හේතුවෙන් ඔහු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සඳහා රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවිය යුතු බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.පසුව ඔහු තමන්ට පිටකොටුවේ බෝධිය හමුවේ කැට හොල්ලමින් ඒ මුදල එකතු කිරීමට සිදුවන බව කියා තමන් බලයට පත්ව සිටි කාලයේ සිදු වූ එම ප්‍රහාරයට සියළු කතෝලිකයන් ගෙන් සමාව ද අයැද සිටියේය.ඒ 2019 අප්‍රියෙල් 21 වන දා සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් වසර දෙක හමාරකටත් වඩා කාලයක් ප්‍රමාද වූ පසුව ය.නමුදු පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කතෝලික ප්‍රජාවගෙන් සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගන්නා බව සමාජ සන්නිවේදනය සඳහා ජාතික කතෝලික අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.ඒ අනුව තමන් මෙවර ඉල්ලූ සමාව ප්‍රතික්ෂේප වීම මත යළි කිසිදා එය ලබා ගත නොහැකි බව ඔහු වටහා ගත යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පදවිය හොබවමින් දිගු කලක් කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන එවක රාජපක්ෂ ආණ්ඩුව තුළ ඉහවහා යමින් තිබූ දූෂණයට හා පවුල් පාලනයට සෘජුව එරෙහි විය.ඒ සම්බන්ධයෙන් ඔහු තුළ පැවැති දැඩි අප්රසන්නතාව මුල් කොට රාජපක්ෂ පවුල් දේශපාලන අධිකාරියට සෘජු අභියෝගයක් එල්ල කරමින් 2015 පොදු අපේක්ෂක ලෙස බහුතර එජාප ඡන්ද වලින් ජනාධිපති පදවියට පත් වූ මෛත්‍රීපාල සිරිසේන පසුව ශ්‍රීලනිප සභාපති ධූරය දරමින් වෙනම ශ්‍රීලනිප නායකත්වයක් වටා ජනතාව ගොනු කිරීමට උත්සාහ කළ ද මහින්ද රාජපක්ෂ හා එම පක්ෂයෙන් බිඳී ගිය කොටසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස නව දේශපාලන කඳවුරක් බැඳ ගැනීම මත ඊට පසු පැවති මැතිවරණවල දී ශ්රීලනිපය වේගවත් පසුබෑමක් පළ කරනු දක්නා ලදී.ඉන්පසු ශ්‍රීලනිපයේ ඇතැම් තනතුරු වලට නිස්සන් වෙනුවට පුස්සන් පත් කිරීම ද ඊට හේතු විය.. හිටපු ජනපතිවරයා තමන් ජනපතිවරණයට ඉදිරිපත්වන බව මෙලෙස පවසන්නේ දේශපාලන පක්ෂයක් ලෙස මේ වනවිට ශ්රීලනිපය අබල දුබල වී බිඳී විසිරී ඇති පසුබිමකදීය.
මෙවන් තත්වයන් යටතේ මේ වන විට අප රටේ පැහැදිලි දේශපාලන වෙනසක් සඳහා වන පොදු ජන උද්යෝගයක් ඇති වෙමින් තිබේ.පසුගිය කාලයේ ගෝල්ෆේස් අරගලය නමින් ඉස්මතු වූ පොදු සමාජ වලවේගය විසින් හැට නව ලක්ෂයක ජන වරමින් ඒ වන විට ජනාධිපති පදවිය හොබවමින් සිටි දේශපාලන ආධුනිකයාට යන එන මං නැති කළේ මේ නවමු වෙනස පිළිබඳ ජනතා සිහිනය මල් ඵල ගන්වා ගනු පිණිසය.එහෙත්,එම රගලය තුළට පිවිසි ඇතැම් පාර්ශවයන් විසින් එහි ගාමක බලය බෙලහීන කරන ලදී. ඉන්පසු රාජපක්ෂ පවුලේ ඒජන්ත වරයකු ලෙස මහජන වරමකින් තොරව ජනපති පුටුවට පිවිසි;ඒ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පවා නන්නත්තාර කර සිටි රනිල් වික්‍රමසිංහ මේ වන විට මෙම නව දේශපාලන වෙනස සිදු කිරීමට සැරසෙනුයේ අළුත් බෝතල් වලට යල් පැන ගිය පරණ බෙහෙත් පුරවා ලෙඩ සුව කිරීමේ න්‍යායට ය.
මේ අතර පසුගිය දා අනුරාධපුර රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීමට ගිය ශ්‍රී ලංකාවේ ප්රතාපවත්ම ජනාධිපති පදවියේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී පුටුව දක්වා ඇද වැටුණු මහින්ද රාජපක්ෂ කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කිරීම කිසිවකුටත් වැලැක්විය නොහැකි බව ය.ඔහුගේ එම ප්‍රකාශයේම දිගුවක් ලෙස ඔහු නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කොට තිබේ.එනම් රාජපක්ෂලා සම්බන්ධ ජනතා හදවත් වල පවත්නා ප්‍රසාදනීය ගෞරවය තවමත් එලෙසම පැවතීම මත ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියත ජයක් අතපත් කර ගන්නා බවකි.නමුත් එම රාජපක්ෂ පවුලේම ප්‍රබල දේශපාලන චරිතයක් වන චමල් රාජපක්ෂ පසුගිය කාලයේ කියා සිටියේ තමන් තුළ පවත්නා අධික බල කාමය මත මහින්ද රාජපක්ෂ සිය දේශපාලන ප්‍රතිරූපය වනසා ගත් බව ය.
මේ අතර රාජපක්ෂ පවුලේ දේශපාලන ගරිල්ලා සටන් ශූර බැසිල් රාජපක්ෂගේ හඬ සමාජ ගත කරන “හොරණෑවක්” ලෙස ඇතැමුන් හඳුන්වන සාගර කාරියවසම් ගේ එම ප්‍රකාශය ඇතුළු ඉහත සඳහන් සැම ගේ අනේක විධ කියුම් කෙරුම් වලින් ඉතා පැහැදිලි වන කරුණක් තිබේ.එනම් අප රටේ පොදු ජනතාව ප්‍රාර්ථනා කරන වත්මන් දේශපාලන ධාරාවේ සැබෑ වෙනස උදා කර ගැනීම බොහෝ දනකු සිතන තරම් සරල සහ පහසු කාරියක් නොවන බව ය.ඒ තත්වය යටතේ බලය අත හැර පලාගිය රාජ්‍ය නායකයන් ගේ ජාත්‍යන්තර ලේඛන වලට නම ඇතුළත් ව හිඳින ගෝඨාභය රාජපක්ෂ ද යළි කවරාකාරයකින් හෝ මෙරට දේශපාලන කරලියේ කුමන හෝ භූමිකාවක් ඔස්සේ යළි ඉසමතු වීමට ඇති ඉඩ කඩ ද මුළුමනින් ශූන්‍ය නොවන බව සිතේ කෙලවරකින් හෝ තබා ගන්නට ද අපට සිදු වනු ඇත.
දමයන්ති ගමගේ