මහ කන්නයේ පෝර ගන්න කෝටි 1200ක් ගොවීන් ගේ ගිණුම්වලට

මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම පිණිස සහනාධාරයක් වශයෙන් රුපියල් කෝටි 1200ක් ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කර ඇත.කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ වී වගා කරන හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක් වශයෙන් එම මුදල්, ගොවීන්ට හිමි වන බවකි.මෙම මුදලින් ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි බව ද ඇමැතිවරයා පවසයි.බණ්ඩි පොහොර හා යූරියා පොහොර දැනටමත් අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව තිබෙන අතර, මූලික පොහොර හෙවත් මඩ පොහොර පුද්ගලික අංශය විසින් සැපයීමට නියමිත බව ද ඇමැතිවරයා කියයි. එමෙන්ම මෙවර ද යූරියා පොහොර මිටියක් රුපියල් 9000ක මුදලට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මඟින් ලබා දෙන බවත් එම මිලටම යූරියා පොහොර ගොවීන් වෙත ලබා දීමට පුද්ගලික අංශය ද එකඟත්වය පළ කර තිබෙන බවත් අමාත්‍ය වරයා අවධාරණය කරයි.පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 1200ක මුදලක් රජය වෙන් කර ඇත්තේ රටේ පවතින මුදල් අර්බුදයද සැලකිල්ලට ගනිමින් බවත් මෙයට වඩා මුදලක් ලබා දීමට හැකි නම් ඒ සඳහා පියවර ගන්නා බවත් ඇමති වරයා පවසයි.

කාලීන පුවත්