මහ නා හිමි වරුනි,නිවන් යන්නත් ලයිට් ඕනෙද?

mahanahimi

චිරාගතව පැවතෙන ආගමික පුද චාරිත්‍රයන් නොපවත්වා ජනතාව ආගමික ස්ථාන කෙරෙන් ඈත් කිරීම අනාගතයේ දී බොහෝ අනිටු ඵල විපාක සමාජය තුළ ඇති කිරීමට හේතු විය හැකි බව වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් හා අමාත්‍ය වරුන් වටහා ගත යුතුයැයි ත්‍රෛනිකායික මහා නා හිමි වරුන්ගේ අත්සනින් යුතු ඒකාබද්ධ නිවේදනයක සඳහන් වෙයි.ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් මහනායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම නිවේදනය යොමු කර ඇත.මෙය මහ නා හිමි වරුන්ගේ අත්සනින් යුතු නිවේදනයක් වුව ද මෙම පිටපත උන් වහන්සේලාගේ නොවන බව පැහැදිලි ය.ඒ අනුව එම නිවේදනය කියැවූ සැනින් අපට වැටහී ගියේ එය ලියූ තැනැත්තා කවුරුන් වුණත් ගොබ්බම ගොබ්බ වාක්‍ය රචනා ලිවීමෙහි අති දක්ෂයකු බව ය.

අප කවුරුත් දන්නා පරිදි සමාජයේ ගිහි පැවිදි යනුවෙන් කොටස් දෙකක් සිටිති.මෙම පැවිදි සමාජයේ වැඩි කොටස පූජකයන් වන අතර ඉතා සීමිත පිරිසක් ශ්‍රමණ නම් වන කොට්ඨාශයට ගැනෙති.සම්ප්‍රදාය වශයෙන් සේම ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රමණයෝ ලෞකිකත්වයෙන් බැහැර වූ දැඩි ශික්ෂාකාමී ප්‍රතිපදාවනට එල්බ ගත්තෝ වෙති.ඒ අනුව බෞද්ධ භික්ෂූන් සෛද්ධාන්තික වශයෙන්ම ශ්‍රමණ ගණයට අයත් වෙති. සීදූව, වෑත්තෑවේ ශ්‍රී මහින්දාරාමාධිපති නැදගමුවේ මහානාම හිමියන් ශ්‍රමණ ගණයට අයත් වුවද ලෞකික උපහෝග පරිභෝග සම්පත් රැසක් මැද දිවි ගෙවූ හිමි නමකි.ඒ හිමියන් මෑත දිනයෙක එම විහාරස්ථානය තුළ දීම සාහසික ලෙස ඝාතනයට ලක් විය.

පසුව එම ඝාතනය ඒ හිමියන් සතු වස්තුව කොල්ල කෑම පිණිස ඒ හිමියන්ගේම ගෝල හිමි නමක් සැලසුම් කළ බව අනාවරණය විය.නමුදු බුද්ධ ශාසනය තුළ භික්ෂු චර්යාවන් පවා එපමණකටම කෲර බිහිසුණු වීම පිළිබඳව එක් වදනකුදු නොදෙඩූ මහ නා හිමි වරුන් චිරාගතව පැවතෙන ආගමික පුද චාරිත්‍රයන් නොපවත්වා ජනතාව ආගමික ස්ථාන කෙරෙන් ඈත් කිරීම අනාගතයේ දී බොහෝ අනිටු ඵල විපාක සමාජය තුළ ඇති කිරීමට හේතු විය හැකි බවට කළ ප්‍රකාශය තරම් අන් විහිළුවක් මෑත කාලීනව සොයා ගත නොහැකි බව අපගේ වැටහීම ය.එසේම විහාරස්ථාන සඳහා සාධාරණ මුදලක් යටතේ විදුලිය ලබා දුන් පසුබිමක පවා ශ්‍රී ලංකාව මිනී මැරුම් ඇතුළු සාපරාධී ක්‍රියා සේම වංචා දූෂණ අක්‍රමිකතා අතින් ලෝක දර්ශක වල පවා ඉදිරියට පැමිණීමට හේතුව ද උන් වහන්සේලාම අපට පහදා දිය යුතු ය.

අනාදිමත් කාලයක සිට බෞද්ධ විහාරාරාම රාත්‍රී කාලයේ ආලෝකමත්ව තබා ගැනීම සිදු කෙරෙන කටයුත්තක් බව ද ත්‍රෛනිකායික මහා නා හිමි වරු එම ලිපියෙන් පෙන්වා දෙති.නමුදු මෙහි ආලෝකමත් ව තබා ගැනීම යනු පහන් දල්වා අඳුර දුරු කිරීමක් පමණක් ම ය.එහෙත්, මෙරට ප්‍රධාන පෙළේ විහාරස්ථාන ගණනාවක ම විදුලි බිල විශාල වශයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ ඒවායේ විදුලි පහන් වලට අමතර අනේක විධ විදුලි උපකරණ ක්‍රියාත්මක වීම මත බව තහවුරු වී ඇති අතර ඒවා අතුරින් වායු සමීකරණ යන්ත්‍ර,අධි ශීතකරණ සහ උනුසුම් ජලය ලබා ගන්නා නාන කාමර කට්ටල ප්‍රධාන තැනක් ගන්නා බව පැවසෙයි.

සාමාන්‍ය මෙම පහසුකම් සහිත සාමාන්‍ය නිවෙසක විදුලි බිල මෙන් කිහිප ගුණයක විදුලි බිලක් විහාරස්ථාන වලට ඒමට හේතුව නිවෙස් වලට සාපේක්ෂව ඒවායේ එම පහසුකම් ජාලය පුළුල් ව පැවතීම නිසා බව කියනු ලැබේ. මෙතෙක් ආගමික ස්ථාන සඳහා විදුලි ඒකකයක් ඉතා අඩු මුදලකට ලබා දීම මත විශාල විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කළ ද අඩු විදුලි බිලක් මෙතෙක් ඒවාට ලැබී තිබිණ.නමුත් පසුගිය අගෝස්තුවේ බිල් ඉහළ නැගීමත් සමඟම විහාරස්ථානවල විදුලි බිල් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.ඒ හේතුවෙන් විහාරස්ථාන ප්‍රධාන විහාරස්ථාන ගණනාවක ම විහාරාධිපති හිමිවරුන් ඊට විරෝධය පළ කරමින් සිටිති.

මේ අතර නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පන්සලක විහාරස්ථානයකට සුර්ය බල විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා තාක්ෂණික ශිල්පීන් කැඳවූ අවස්ථාවේ ඔවුන් පෙන්වා දී ඇත්තේ එහි ඇති සියලුම වායුසමීකරණ යන්ත්‍ර,ශීතකරණ සහ සෙසු උපකරණ ක්‍රියාත්මක කරවන්නේ නම් ඊට අවශ්‍ය බලය උත්පාදනය කිරීමට සූර්ය පැනල සවිකිරීමට විහාරත්ථාන භූමියේම ඉඩ කඩ පවා නොමැති බවකි. ඒ අනුව අප සමාජයේ ගිහියන්ට සාපේක්ෂව ශ්‍රමණ නම් වන කොට්ඨාශයට අයත් බව පැවසෙන බොහෝ භික්ෂූන් විදුලි පහන් දැල්වීමට අමතර ව අධි විදුලි පරිභෝජනයක යෙදෙන බව පැහැදිලි ය. කුමන කරුණක් මත හෝ ජනතාවට දරා ගත නොකැකි විදුලි ගාස්තුවක් මේ වන විට පනවා තිබේ.එයට අපි ඉඳුරාම විරුද්ධ වෙමු.

එහෙත් එම සැබෑ අසාධාරණය පිටු දැක “ලයිට් නැත්නම් බුද්ධ ශාසනයත් ඉවරයි; නිවන් යන්නත් බැහැ” යනුවෙන් ත්‍රෛනිකායික මහා නා හිමි වරුන් අත්සන් තබා ඇති අමනෝඥ ප්‍රකාශය පිළිබඳව අප තුළ ඇත්තේ අති මහත් කලකිරීමකි. මේ අතර විදුලි බිල ඉහළ දැමීමට විරුද්ධ වන ඇතැම් භික්ෂූන් වහන්සේලා ගමන් බිමන් යන්නේ කෝටි තුන හතරේ වාහන වලින් බව ‍ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ සඳහන් කරති.එම වාහන වලට මාසකට ඉන්ධන වියදම රුපියල් පනස් දහසක් ලක්ෂයක් වන බවත් පැවසූ උන්වහන්සේ දානය ගෙවල් දාන ගෙවල්වල, ආදාහන පොල වල මෙම අත් සුඛෝපභෝගී වාහන දැකගත හැකි බව ද කියා සිටිති.

අනිත් ආගමික සංස්ථා කේන්ද්‍ර කරගත් පොදු අරමුදලක් පිහිටුවා ඇතත් මෙරට විහාරස්ථාන සඳහා එවන් අරමුදලක් පිහිටා නැති බව ද පැවසූ උන්වහන්සේ සියලුම විහාරස්ථානවල ආදායම එක පොදු අරමුදලකට බැර කළ යුතු බවද මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ ප්‍රකාශ කරන ලදී.පල්ලෙකන්දේ රතනසාර හිමි යනු බුදු සමයට ලිබරල්වාදී සවරූපයක් ලබා දීමට නිති වෙර දරන යති වරයාණන් නමකි. නමුත් මේ අමිහිරි යථාර්ථය යටපත් කරමින් බෞද්ධ විහාරාම වල විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති වරයාට යවන ලිපිය මඟින් ත්‍රෛනිකායික මහා නා හිමි වරුන් පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ආසන්න වූ විට දේශීය සහ විදේශීය දානපතියන්ගේ පරිත්‍යාගශීලිත්වයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් රුපියල් මිලියන ගණනක ඖෂධ අද වන විට රෝහල් වෙත ලබා දී ඇති බවකි.

එම කතාවෙහි යම් සත්‍යයක් ඇති මුත් වාර්ෂිකව රුපියල් කෝටි ගණන් ආදායම් උපයන අප රටේ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන අරමුදල් වලින් අරරණ රෝගීන්ගේ අභය දානය උදෙසා පරිත්‍යාග කළ මුදල් පිළිබඳව එම නිවේදනයට ඇතුළත් කොට නැත.ඒ එම මාතෘකාව යටතේ “ලියන්නට තරම් දෙයක් නොමැති වීම” නිසා නොවෙද?අනික එසේ තමන් වෙත පෞද්ගලිකව ලැබුණු මුදල් ඖෂධ සඳහා පරිත්‍යාග කළ හිමි වරුන් කිහිප නමගේ ගේ නම් සහ එම මුදල් ප්‍රමාණයන් තම ඒකාබද්ධ ප්‍රකාශයෙන් ඉදිරිපත් කිරීමට එම ත්‍රෛනිකායික මහා නා හිමි වරුන්ට නොහැකි වූයේ ඒ ආධාර දුන් හිමි වරුන් අපේ රටේ නිකායත්‍රයට අයත් නොවන නිසාද?

එමෙන්ම මෙම ආගමික ස්ථාන මුල් කොට විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් හුදෙක් බෞද්ධ විහාරාරාම වලින් මිස සෙසු ආගමික සංවිධාන වලින් මෙතෙක් හඬක් නැඟී නැත.අඩුම තරමින් සර්ව ආගමික සංවිධාන වලින් වත් හඬක් නැඟී නැත. ඒ අන්‍ය ආගමික පූජනීය ස්ථාන වල බෞද්ධ විහාරාරාම වල මෙන් විදුලි අධිපරිභෝජනයක් සිදු නොවන නිසා බව අපගේ වැටහීම ය.මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීම හේතුවෙන් බෞද්ධ සිද්ධස්ථාන වල යම් විරෝධයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් ද කරයි.

මෙම අසීරු කාලය රට වෙනුවෙන් මඳක් ඉවසන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ද පැවසූ ඔහු එතෙක් බෝධි පූජාවන් වැනි දේ බෝධිය වටේ පහන් ටිකක් දල්වාගෙන හෝ සිදු කරන ලෙස සිදු කරන්නැයි ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් කියා සිටියේය.ඉන් පැවසෙනුයේ පොදු ජන පෙරමුණේ මහ ලේකම් වරයා සමකාලීන විඥානය හමුවේ කෙතරම් ළදරුවකු ද යන්නය.අද රට පත්ව ඇති මෙම සියළු ඛේදවාචකයන්ට හේතුව එබඳු ළදරුවන් රටේ සමාජයේ වග කිව යුතු භූමිකාවන්ට පත් වීම බව අප ගේ අදහස ය.

කදුරුපොකුණේ සුමංගල හිමි

එතෙර - මෙතෙර