සොම්බි( Zombie ) යන වදන මෑතක සිට අපට නිතර අසන්නට ලැබේ.ඒ බොහෝ විට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් කරන කතා බහ වලදී ය.මළාණික වූ පුද්ගලයා හැඳින්වීම පිණිස බහුල ලෙස යොදන සොම්බි යන වදන ගුප්ත ක්‍රම මඟින් පණ ගැන්වූ මළ සිරුර හෙවත් පිල්ලිය යන්න හැඳින්වීම පිණිස ද යොදා ගනු ලැබේ.තත්වය එසේ වුව ද පිල්ලිය යනු අප ගේ ජන සංස්කෘතිය සමඟ ද සෘජුවම සම්බන්ධ වදනකි.
අප සමාජයේ පවතිනා අණ වින හදි හූනියම් ආදී කටයුතු සමාජ විද්‍යාත්මකව හැඳින්වෙනුයේ කළු අභිචාර (Black Magic) යනුවෙනි. අපගේ සාම්ප්‍රදායික විශ්වාස අනුව ගුප්ත ශාස්ත්‍රය අෂ්ට කර්ම නමින් කොටස් අටකට බෙදෙයි. ඒ වශී, ආකර්ණ, මෝහ, ස්ථම්භන, ශාන්ති, විද්වේෂණ, උචචාරණ සමාරණ යනුවෙනි. මින් කායික මානසික රෝග සමනය කිරීමට සිදුකරනු ලබන ක්‍රියා ශාන්ති කර්ම නමින් හැඳින්වෙයි. එමෙන්ම පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥයන්ගේ වදන් වලට අනුව කිවහොත් යමකු ‘මකබෑවිය” හැකි හෙවත් යමකු වනසා දැමිය හැකි කටයුතු හැඳින්වෙනුයේ ‘මාරණ’ ලෙසිනි.
මෙම ගුප්ත ශාන්ති කර්ම පිළිබඳව වැඩිදුර කරන ලද විමර්ශනවලදී හැඟී ගිය ප්‍රධාන කරුණක් තිබේ. එනම් පිල්ලි හෙවත් පිල්ලු යැවීම මෙම මාරණ අතරේද ඇති බිහිසුණුම කටයුත්තක් බව ය. ඊට හේතුව මෙම පිල්ලියක් හෙවත් පිල්ලුවක් යැවීමෙන් යමකු ක්ෂණික මරණයකට පත් කළ හැකි වීම ය. කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇති මහනුවර යුගයට අයත් පැරණි පුස්කොළ පොත් කිහිපයකින් සහ තවත් පැරණි සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයකින් මෙම පිල්ලි යැවීම පිළිබඳ තොරතුරු රැසක් ඒකරාශී කරගැනීමට මට හැකි විය. පසුව ගුවන් විදුලි, රූපවාහිනී, පුවත්පත් සහ සමාජ ජාල මාධ්‍ය මඟින් තම අඬහැර පාන මහා බලගතු මන්ත්‍ර ශාස්ත්‍රඥයන් කිහිපදෙනෙකු ඇමැතීමි.
‘මට ඉන්නව මෙහේ ජන්මාන්තර වෛරක්කාරයෙක්. මට ඒකෙන් පිල්ලියක් යවලා ඒකාව නැති බංගස්තාන කරලම දාන්න බැරිද මට රහසිගතව මේ වැඩේ කරලා දෙන්න සල්ලි ප්‍රශ්නයක් කර ගන්න එපා.මට බුලත්කොහුපිටියේ තේ අක්කර දොලහක් තියනවා. මේ වැඩේ හරි ගියොත් මට ඒකෙන් කොටසක් විකුණන්න වුණත් පුළුවන්. හැබැයි ගාස්තුව ගෙවන්නේ නම් වැඩේ ඉවරයක් කළාට පස්සේ තමයි’.මා ඔවුන්ට කියා සිටියේ ඔවුන්ගේ ප්‍රතිචාර කෙබඳු දැයි දැනගැනීම පිණිස ය.
‘ඔය පිල්ලි යවන එක කරන්න බැරිකමක් නැහැ. ඒත් ඒක මහ පණ යන වැඩක්. ඒ වගේම ඒක හරිම භයානකයි.වැඩේ පොඩ්ඩක් හරි වැරදුණොත් ඒ පිල්ලිය එක්කෝ අපි පස්සේ එනවා. නැත්නම් මහත්තයගේ පස්සේ එනවා. ඒ වැඩේ වරද්දා ගන්න එක හරියට තුවක්කුවක් තමන්ගේ පැත්තට හරවාගෙන කොකා ගස්සනවා වගේ වැඩක්. ඒ හින්දා ඔය පිල්ලි කතාව පැත්තකින් තියලා අපි වෙන අතකින් ඔය වැඩේ කර ගන්න බලමු. ඕනේ නම් පුංචි කාලයක් ගත වෙයි.එච්චරයි වෙනස” මගෙන් දුරකථන ඇමැතුම් ලැබූ ඇදුරන් බොහෝ දෙනෙකුගේ පිළිතුරේ පොදු ආකෘතිය වූයේ එවැන්නකි.
‘ඒත් මට කවුරු හරි නම් කිව්වා අෂ්ට කර්මෙන් වුණත් ඔය වැඩේ කරගන්න පුළුවන් කියලා. එතකොට මොකක්ද ඔය අෂ්ට කර්මය කියන්නේ?’ ඉන්පසුව මම ඒ ඇදුරන් කිහිප දෙනෙකු ගෙන් එසේද අසා සිටියෙමි.
‘ඔය පරණ එක එක පොත්වල ඔහොම එක එක දේවල් ගැන කියනවා තමයි. ඒත් මහත්තයට ඕනේ වැඩේ කරගන්නනේ ඒ හින්දා ඕවා ගැන ලොකුවට හිතන්න එපා’.
මට පිළිතුරු දුන් සමහර අයෙකු එසේ කී අතර ඉන් එක් ඇදුරකු කීයේ එම පොත්පත්වල තිබෙන දේ දැන සිටීම මෙම කටයුතු සිදුකිරීමට එතරම්ම අවශ්‍ය නොවන බව ය. “වාහනයක් එලවන්න මෝටර් මැකැනික් වැඩ දැනගෙන ඉන්න ඕනේම නැහැනේ මහත්තයෝ’. ඉන් මට සාධාරණ ලෙස අනුමාන කළ හැකි වූයේ ගුප්ත විද්‍යාධරයන් යැයි කියා ගන්නා ඔවුන් ගුප්ත විද්‍යාවේ හෝඩියවත් කියවා නොමැති බවකි.
පිල්ලි යන්න සිංහල ශබ්ද කෝෂවල අර්ථ ගන්වා ඇත්තේ සතුරන්ට උපද්‍රව කරනු පිණිස මන්ත්‍ර බලයෙන් යවන අමනුෂ්‍යයා යනුවෙනි. මෙම වදන දකුණු ඉන්දියාවෙන් සිංහලයට සපැමිණි එකක් බවද පෙනෙයි. එමෙන්ම මන්ත්‍ර බලයෙන් මළ සිරුරු පණ ගැන්විය හැකිය යන විශ්වාසය අප රටට හෝ පෙරදිග සංස්කෘතියට සීමා වූවක් ද නොවේ. අප්‍රිකානු සහ කැරේබියානු සංස්කෘතියේ ද ජීවම් බලයෙන් මළ සිරුරු පන ගැන්විය හැකිය යන විශ්වාසය පවතී.
එසේ පණ ගන්වන ලද මළ සිරුර හැඳින්වෙනුයේ අප ඉහත සඳහන් කළ සොම්බි යන වදනිනි. නමුදු අපගේ ජන සංස්කෘතියට අනුව එසේ පිල්ලි වශයෙන් යොදා ගත හැක්කේ මිනිස් මළ සිරුරු පමණක් නොවේ. ජීවත් වන සතුන් පවා ජීවම් බලයෙන් පිල්ලි බවට පත් කොට සතුරන් වැනසීම පිණිස යොදාගැනීමට පුළුවන. සුනඛ පිල්ලිය සහ සැවුළු (කුකුළු) පිල්ලිය ඒ අතරින් දෙකකි. දහ නව සියවසේ අප රටේ විසූ විශිෂ්ඨතම දාන පතියකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතා මිය ගියේ සුනඛ සපා කෑමක් නිසා ජල භීතිකා රෝගය වැළඳීමෙනි. එහෙත් ඊට මුල් වූයේ එවක මන්ත්‍ර ගුරුකම් සඳහා ප්‍රචලිතව සිටි බත්තරමුල්ලේ සුභූති හිමියන් විසින් ජීවම් කොට එවූ සුනඛ පිල්ලියක් බවට කට කතාවක් පැතිර ගොස් තිබිණ.
පිල්ලි යැවීම පිළිබඳ ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව විමැසීමේ දී ක්‍රි.ව. 2-3 අනුරාධපුරය රාජධානි සමයේ ලියැවුණු බව සැලකෙන පාලි සහස්ස වත්ථු ප්රකරණ ග්‍රන්ථයේ එන ‘නන්දි වෙළෙන්දාගේ කතාව’ නිදසුනක් සේ ගත හැකිය. නන්දි ඉතා ධනවත් දැහැමි වෙළෙන්දෙකි. ඔහු පුරා වසර තුනක් වෙළෙඳාම පිණිස සමුද්‍ර යාත්‍රාවේ යෙදෙනුයේ තම රූමත් බිරිඳ නිවසේ රඳවමිනි. ඒ අතර එම ප්‍රදේශය භාරව පැමිණෙන ශිව නම් ඇමැතියා නන්දි වෙළෙන්දාගේ බිරියගේ රූපශ්‍රීය දැක කාමයෙන් උමතුව ඇය වරදට පොළඹවා ගැනීම පිණිස තෙවරක්ම තුටු පඬුරු එව්වේය. නමුදු සැබෑ පති භක්තියෙන් පිරිපුන් නන්දිගේ බිරිඳ ඊට එකඟ නොවූවාය. එවිට ශිව ඇමැතිවරයා යකැදුරකු හා එක්ව සොහොනකදී ජීවම් කරනු ලැබූ පිල්ලියක් සමුද්‍ර යාත්‍රාවේ යෙදෙන නන්දි වෙළෙන්දා මරා දැමීම පිණිස යවනුයේ ඔහුගේ බිරිඳ අස්වාමික කොට හිමිකර ගැනීමටය. පිල්ලිය තෙවරක් නන්දි වෙළෙන්දාගේ සමුද්‍ර යාත්‍රාව වටා කරකැවිණි. එහෙත්, වෙළෙන්දා බුදුගුණ සිහිකරගත්තකු වූ නිසා පිල්ලියට ඔහු වෙතට ළංවිය නොහැකිය. එබැවින් ආපසු පැමිණෙන පිල්ලිය ශිව නම් ඇමැතිවරයා සේම එම යකැදුරා ද මරණයට පත් කළේය.
අපගේ ජන සම්මතයට අනුව පිල්ලි කීයක් තිබේදැයි යමකු විමසා සිටියහොත් ඊට පිළිතුරක් දීමට අපට නොහැකි වේ. ඊට හේතුව මහනුවර යුගයේ ලියැවුණු විවිධ අසම්භාව්‍ය සාහිත්‍ය මූලාශ්රවල පිල්ලි සංඛ්‍යාවක් පිළිබඳ සඳහන් වී ඇති බැවිනි. එහෙත්, එක් එක් මූලාශ්‍රයේ සඳහන් පිල්ලිවල විෂමතා පවතින බැවින් මෙම පිල්ලි ගණන තිහකට ආසන්න විය යුතු බව අපගේ වැටහීම ය.
මේ සමස්ත පිල්ලි සංඛ්‍යාවෙන් මළ සිරුරු ජීවම් කොට යැවෙන ප්‍රධාන පිල්ලි දෙකකි. ඒ මළ පිල්ලිය සහ තුන් කුළුදුල් පිල්ලිය හෙවත් කුමාර පිල්ලියයි. මළ පිල්ලිය යනු වියපත් පුද්ගලයකුගේ මළ සිරුරක් ජීවම් කොට යමකු නැසීම පිණිස යැවෙන්නකි. නමුදු අද සමාජයේ වැඩිපුරම අවධානයට ලක්වනුයේ තුන් කුළුදුල් පිල්ලියයි. නිදන් ලබාගැනීම සඳහා බහිරවයාට පුද දීම පිණිස යොදා ගන්නා තුන් කුලුදුල් බිල්ල පිළිබඳව ඔබ ද මීට පෙර අසා තිබෙන්නට පුළුවන.පවුලක වැඩිමහල් පිරිමි දරුවාගේත් තවත් පවුලක වැඩිමහල් ගැහැනු දරුවාගේත් විවාහයෙන් පසු බිහිවන පළමු දරුවාට මෙම තුන් කුළුදුල් නාමය පටබැඳෙයි. එනිසා මෑතක් වන තුරුම පවුල් දෙකක පිරිමි දරුවකු සහ ගැහැනු දරුවකු අතර විවාහයක් සිදුවූයේම නැති තරම් ය. ඊට හේතුව එම විවාහයෙන් උපදින මුල්ම දරුවා තුන් කුළුදුල් දරුවකු බැවින් විවාහය සිදුවූ මොහොතේ සිටම දුෂ්ට යකැදුරන් එම දරු උපතට ඉව අල්ලාගෙන හිඳින බැවිනි. එවැනි බිරිඳක් ගැබ් ගැනීමත් සමඟ ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන යකැදුරන් ඇගේ දරු ප්‍රසූතිය එළැඹෙන මොහොත බලා ඇයට ගැබ්බර බන්ධනයක් කරති. ගැබ්බර බන්ධනය යනු දරු ප්‍රසූතියේ දී ඒ කාන්තාව ප්‍රසව මාර්ගය හකුළුවන ගුරුකමකි.
එහි ප්‍රතිඵලය වෙනුවෙන් එම කාන්තාව මළ දරුවකු ප්‍රසූත කිරීම බව පැවැසේ.කෙසේ හෝ එම බිළිඳු මළකඳ සොහොන් බිමක වළ දැමූ රාත්‍රියේ එම සොහොනට රහසින් පිවිසෙන යකැදුරා බිළිඳු මළ සිරුර සොරා ගත යුතු ය. ඉන්පසු පිළිවෙත් කිහිපයක් කරනු ලැබේ. අනතුරුව එම මළ සිරුර තම ගුරුකම සිදුකරන දින තෙක් අමනුෂ්‍ය බැල්මට හසු නොවන රුක් බිලයක් වැනි තැනක සඟවා තැබිය යුතු බව පැරණි පොත පතෙහි සඳහන් වේ. මෙලෙස එම ස්ථානවලට අමනුෂ්‍ය බැල්ම නොමැති බව දැනගත හැක්කේ විශ්වාසවන්තයෙකුට අංජනම් ඇදුරෙක් ලවා අංජනමක් බැලවීමෙනි. යමෙකුට තමන්ගේ සතුරකු වෙත තුන් කුළුදුල් පිල්ලියක් යවා ඔහු විනාශ කිරීමට අවශ්‍ය නම් එම කොන්ත්‍රාත්තුව භාර ගන්න ඇදුරා එම බිළිඳු මළකඳ පාළු සොහොන් පිටියකට ගෙන යා යුතුය. එහි දෙපයට ගිගිරි ආදිය පළඳවා නැට්ටුවකුගේ ඇඳුම් අන්දවා එය අලුත් මිනීවළක් මත තැන්පත් කළ යුතු බවත් පැවැසෙයි.
මෙම තුන් කුළුඳුල් පිල්ලිය නම් ගුරුකමෙ බිහිසුණුම කොටස ඇතිවෙන්නේ මෙතැන් සිට ය. එනම් එම පිල්ලියට පණ එන තුරු ජීවම් කරන අවස්ථාව ය. එමෙන්ම මේ සඳහා තමන්ට අතිශය විශ්වාසවන්ත සහ යකෙකුටවත් බය නැති සහායකයකු හෝ දෙදෙනෙකුගේ උපකාර ලබා ගැනීමට ද ඇදුරාට සිදුවේ. පිල්ලිය යැවිය යුතු පුද්ගලයාගේ නමට එය බන්ධනය කරමින් එම හෝරාවේ සිට එම පිල්ලිය ජීවම් කරන විට විවිධ බලගතු අමනුශ්‍යයන්ගේ බැල්ම ඊට යොමු වන බැවිනි. මෙසේ හාත්පස මිනිස් පුළුටක්වත් නොමැති පාළු සොහොන් බිමක ඇදුරා අළුත් මිනීවළක් මත සිට මෙම තුන් කුළුඳුල් පිල්ලිය ජීවම් කරන විට අද්භූත කළු බල්ලකු, ඇතකු, නාගයකු වැනි සතුන් එතැන පහළ විය හැකි බව කියනු ලැබේ. එවිට උන් පලවා හරිනු පිණිස දොළ පිදෙනි වශයෙන් පිළිවෙළින් මස් කැබැල්ලක්, උක් දණ්ඩක් සහ බිත්තරයක් එම සහායකයන් නිරතුරුවම සූදානම් කර තිබිය යුතුය. මෙසේ ඇදුරා එම පිල්ලිය යවන තැනැත්තාගේ නම කියමින් දිගින් දිගටම ජීවම් කරන අතරේ එම මිනී වල මත ඇති බිළිඳු මළ සිරුරේ පා බැඳි ගිගිරි කෙමෙන් හැඬවෙනු ඔවුනට ඇසෙයි.
එහෙත්, ඉන් බියපත් වීමට ඇදුරාට හෝ ඔහුගේ සහායකයන් හට ඉඩක් නැත. මෙසේ නිසි පදමට ජීවම් කෙරුණු පිල්ලිය එක්වරම කන් බිහිරි කරවන තරමේ හූ හඬ තුනක් තබාගෙන සොහොනින් පිටව අදාළ පුද්ගලයා සොයා පිටත්වන තුරුම එම කාරිය අතරමඟ නතර කිරීමට ඇදුරාට හෝ ඔහුගේ සහායකයන්ට නොපුළුවන.
පැරණි මන්ත්‍ර ශාස්ත්‍රවල දැක්වෙන අන්දමට මෙලෙස සොහොන් පිටියකින් ජීවම් කොට යවන පිල්ලිය ගිය කාරිය නිමවා යළි පැමිණෙන තුරු ඉන් ඉවත්වීමට ද ඇදුරාට හෝ ඔහුගේ සහායකයාට ඉඩක් නැත. එම පිල්ලිය උදෙසා කළ යුතු තවත් කටයුතු කිහිපයක් ඇති බැවින් එය යළි ආපසු සොහොන් පිටියට එන තෙක් තම සහායකයන් ද සමඟ ඇදුරා මඟ බලා සිටිය යුතු ය. නමුදු යම් හෙයකින් එම පිල්ලිය ඉලක්ක වූ පුද්ගලයාගේ පාර්ශ්වයෙන් මන්ත්‍ර බලයෙන් එය ආපසු හරවා එවීමට පුළුවන. එමෙන්ම ඉලක්ක වූ පුද්ගලයා තුළ ඉහළ නන්දි නම් වෙළෙන්දා සතුව එම පිල්ලියේ බලය ඉක්ම වූ ගුණ බලයක් තිබිය හැකිය. එසේත් නැත්නම් පෙරදා රාත්‍රිය පුරා නිදිවැරීම නිසා එම ඇදුරාට සහ සහායකයාට සොහොන් පිටියේදීම මඳකට නින්ද ගොස් තිබීමට ද බැරි නැත.
මේ සියලු තත්ත්වයන් තුළදී සිදුවන්නේ තමන් විසින් අනෙ`කෙකු වෙත එල්ල කරන ලද පිල්ලියේ ප්‍රහාරය ප්රතිප්රහාරයක්ව අකල් මරණයකට ලක්වීමට එම ඇදුරාට ඔවුන්ගේ සහායකයාට සේම එම පිල්ලිය යැවීමට කටයුතු කළ තැනැත්තාට සිදුවීම ය.
නමුත් හුදු අද්භූත රසයෙන් සපිරි ප්‍රබන්ධ ලෙසින් සහ යථාර්ථවාදී පදනමින් සිතන විට විහිළු ලෙසින් ගත හැකි මෙම කටයුතුවලට සම්බන්ධ වීම නිසා අතීතයේ බොහෝ පිරිස් හදිසි අකල් මරණවලට ද පත්ව ඇති බව නොරහසකි.මේවා සැබැවින්ම බලගතු ක්‍රියා ලෙස සමාජ සම්මතව ඇත්තේ එබැවිනි. නමුදු එම ඛේදවාචකවලට මුල්වූ සැබෑහේතුව එම ගුප්ත විශ්වාස පූර්ණ සත්‍ය වශයෙන් පිළිගෙන ඒ අනුව ක්‍රියා කිරීමට යෑම නිසා ඇති වන චිත්තවේගී සහ මානසික කම්පන නිසා හටගත් හෘදයාබාධ ආදිය මත සිදුවූවක් බව මේ වන විට විද්‍යාත්මකව සනාථ වී තිබේ. අතීතයේ ගුප්ත ශාස්ත්‍ර වශයෙන් තිබී මහනුවර යුගයේ දී අසම්භාව්‍ය තල්පත් මූලාශ්‍රවලට පවා එක්ව ඇති මෙම පරිකල්පනීය කරුණු නූතන කලාවන් සහ සාහිත්‍යය පෝෂණය කිරීම යහපත් ලෙසින් යොදා ගත හැකි යැයි පවසා සිටින්නේ මේවා ද අපගේ පැරණි සංස්කෘතිකාංග බැවිනි.
තිලක් සේනාසිංහ