පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දකුණු ආසියානු දේශපාලනය තුළ නිතර පුවත් මවන චරිතයක් බව රහසක් නොවෙයි. මේ වනවිට ඔහු පවසමින් සිටින තවත් අලුත් කතාවක් නිසා නැවතත් විශාල ආන්දෝලනයක් ඇති වෙමින් තිබෙනවා.
මෙයට සති කිහිපයකට පෙර මහජන රැස්වීමක් අමතමින් ඉම්රාන් පවසා තිබුණේ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි. දේශීය බලවේග මෙන්ම විදේශීය බලවේග ද එක්ව මෙම කුමන්ත්‍රණය දියත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. පාකිස්තානය යනු මෙයට පෙර ද දේශපාලන නායකයන් ඝාතනයට ලක්ව තිබෙන රටක්. 2007 වසරේ සිදු වූ බෙනසිර් භූතෝ ඝාතනය ඒ අතරින් වඩාත් කැපී පෙනුණු ඝාතනයක්. මෙම පසුබිම තුළ ඉම්රාන් පවසන ඉහත කී කතාව ද නොසලකා හරින්නට පුලුවන් කතාවක් නොවෙයි. කෙසේ නමුත් තමා ඝාතනය කිරීමට සැරසෙන බලවේග කව්ද යන්න ඔහු නිශ්චිතව සඳහන් කරන්නේ නැහැ.
2018 වසරේ පාකිස්තානයේ අගමැති ධුරයට පත් වූ ඉම්රාන් පසුගිය අප්‍රේල් 10 වැනි දින ධුරයෙන් පහකෙරුණේ එරට පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් හරහා යි. මෙම විශ්වාසභංග යොජනාවට ඔහුගේම පක්ෂය වන තෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සහය දැක්වීම විශේෂත්වයක් වුණා. එම අවස්ථාවේ ද ඉම්රාන් පැවසුවේ මෙම විශ්වාසභංගය පිටුපසත් විදේශීය පාර්ශ්වයක් සිටින බවයි. එහිදී නම් ඔහු ඇමරිකාවේ නම සඳහන් කිරීමට පසුබට වුණේ නැහැ. තමා ඇමරිකාවේ විරුද්ධවාදීන් වන චීනය, රුසියාව වැනි රටවල් සමග සබඳතා ගොඩනගා ගැනීම ඇමරිකාවට ගැටලුවක් වී ඇති නිසා තමුන් බලයෙන් පහකිරීමේ වුවමනාවක් ඔවුන්ට ඇති බවට ඉම්රාන් චෝදනා කළා. නමුත් ඇමරිකාව මෙම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බවත් පැවසිය යුතුයි.
මේ අතර ඉම්රාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරුන් ඊට හේතු වශයෙන් පෙන්වා දුන්නේ අගමැතිවරයාගේ කාලය තුළ එරට ආර්ථික සහ සමාජ ප්‍රශ්ණ උග්රවීමයි. ජීවන වියදම ඉහළ යාම වැනි කාරණා නිසා පාකිස්තාන ජනතාව ද මේ වනවිට සිටින්නේ දැඩි පීඩනයකින්.
තමාට එරෙහි කුමන්ත්රණවලට විදේශ බලවේග ද හවුල් බව ඉම්රාන් පවසන්නේ ඒ හරහා ජනතාව තුළ දේශප්‍රේමී හැඟීම් අවුස්සා ඒ ඔස්සේ ඔවුන් තමුන් වෙත දිනාගැනීමට විය හැකි බවටත් ඇතැම් නිරීක්ෂකයන් අදහස් දක්වනවා. මේ අතර, විදේශ බලවේග සමග එක්ව ඉම්රාන් ඝාතනය කළහොත් ඊට එරෙහිව දරුණු ලෙස පලිගන්නා බවට ඉම්රාන්ගේ ඇතැම් ආධාරකරුවන් පාකිස්තානයේ නව පාලකයන්ට අනතුරු අඟවා තිබෙනවා. තෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්ෂයේ මන්ත්‍රීවරයකු වන අතාවුල්ලා ද ඉන් කෙනෙක්. ඔහු පවසා තිබුණේ ඉම්රාන්ගේ ජීවිතයට ඉදිරියේදී යම් අනතුරක් වුවහොත් ඊට වගකිව යුත්තන්ට එරෙහිව තමා මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කරන බවයි. මේ සම්බන්ධයෙන් ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කර තිබූ විඩියෝවක අතාවුල්ලා මෙසේ සඳහන් කර තිබුණා: ‘මම මේ රට පාලනය කරන උදවියට අනතුරු ඇඟවීමක් කරනවා. ඉම්රාන් ඛාන්ගේ කෙස්ගහකටවත් හානියක් කරල තිබුණොත් නුඹලාවත්, නුඹලාගේ දරුවන්වත් ඉතුරු වෙන එකක් නැහැ. නුඹලාට එරෙහිව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන පළමුවැන්නා මම වේවි. මම නුඹලා එකෙකුවත් ඉතුරු කරන්නෙ නැහැ. මං වගේම නුඹලාට ප්‍රහාර එල්ල කරන්න තව දහස් ගණනක් සූදානමින් සිටිනවා’.
මේ අතර ඉම්රාන් පවසා තිබුණේ තමා ඝාතනය කිරීමට සැලසුම් කරන සියලු දෙනාගේ නම් තමුන් සතුව ඇති බවයි. යම්හෙයකින් තමා ඝාතනය කෙරුණහොත් එම නම් ජනතාව අතට පත්වනු ඇති බවට ඔහු අනතුරු අඟවනවා. ‘මම මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විඩියෝවක් පටිගත කර තිබෙනවා’ යයි ඉම්රාන් වරක් සඳහන් කර තිබුණා. ‘මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනාගේ නම් එහි අඩංගුයි. යම් හෙයකින් මගේ ජීවිතයට අනතුරක් වුවහොත් ජනතාව මෙම විඩියෝව හරහා එම නම්ගම් දැන ගනීවි’.
ඉම්රාන් ඝාතන සැලැස්මක් ගැන මේ ආකාරයෙන් කතා පැතිරෙන්නට පටන් ගැනීමත් සමග ඔහුගේ ආරක්ෂාව තර කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව මෙන්ම නිවසේ සහ ඒ අවට ආරක්ෂාව ද තර කිරීමට ඔවුන් කටයුතු කළා. ඉම්රාන් ඛාන්ගෙන් පසු අගමැති ධුරයට පත් වූ ෂෙබාස් ෂරීෆ් ඉම්රාන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා වන රානා සනාවුල්ලා ට විශේෂ උපදෙස් ලබා දී තිබුණා. ඉම්රාන් ඛාන් වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව මෙන්ම ආරක්ෂක වාහන සංඛ්‍යාව ද වැඩි කර ඇති බවයි සඳහන් වුණේ.
මේ සියල්ල සිදුවන අතරේ ඉදිරියේ දී ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදනමක් ඇති බවටත් තොරතුරු පළ වෙනවා. පසුගිය දිනවල ඉම්රාන්ගේ ප්‍රධානත්වයෙන් එරට වත්මන් පාලනයට එරෙහිව විරෝධතා පෙළපාලියක් පැවැත්වුණු අතර එහි දී විශාල වශයෙන් දේපල හානි සිදු වූ බවට චෝදනා එල්ල වුණා. ඉම්රාන් ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යන්නේ මෙම චෝදනාවලට අදාලව යි. තමා අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව දැනගත් ඉම්රාන් එය වලක්වමින් අධිකරණයෙන් අපේක්ෂිත ඇප ලබා ගැනීමට පියවර ගත්තා. ලබන 25 වැනි දින දක්වා ඔහුට ඒ ආකාරයෙන් ඇප ලබා දීමට අධිකරණය කටයුතු කළා. කෙසේ හෝ වේවා, එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය රානා සනාවුල්ලා පවසා තිබුණේ මෙම ඇප කාලය අවසන් වූ විගස ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවස අසළ රඳවා සිටින ආරක්ෂක නිලධාරීන් පියවර ගනු ඇති බවයි. යම් හෙයකින් එවැන්නක් සිදුවුවහොත් නැවතත් පාකිස්තානය තුළ උණුසුම් තත්ත්වයක් පැන නැගීමට විශාල ඉඩක් තිබෙනවා.
නිහාල් පීරිස්