වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් සිය අවස්ථාවාදී, පටු වාසි වෙනුවෙන් පක්ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දීම හේතුවෙන් එය මේ වන විට බරපතල පසුබෑමකට ලක්ව ඇතත් සැබෑ පාක්ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගැනීමට ඉදිරියටත් අඛණ්ඩව කැපවන බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා, වෙනත් කිසිදු පක්ෂයකට එකතු නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරයි.නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ තමා දේශපාලනිකව ඉපදුනේත්, හැදී වැඩුණේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව ය.තමන් විවිධ ප්රහාරයන්ට ලක් වූයේ ද පක්ෂය වෙනුවෙන් බවත් පවසන හිටපු ජනාධිපතිවරිය තමා මිය යාමට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු ලෙස බව සඳහන් කරයි.බණ්ඩාරනායක දර්ශනය අගය කරන, තමන්, එම දර්ශනයට අනුගත දේශපාලනයක නිරත වන ඕනෑම දේශපාලන කණ්ඩායමකට උපදෙස් ලබා දීමට ඉදිරිපත් වන බව ද ඇය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.එමෙන්ම මේ මොහොතේ පවතින ජාතික අර්බුද දෙකක් වන ළමා මන්දපෝෂණය සමනය කිරීම සහ ජනවාර්ගික ගැටළුවට ස්ථිර සාර විසඳුම් ලබාදීම යන අවස්ථාවන් වලදී පමණක් රටේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නායිකාවක ලෙස ඊට තම උපදෙස් ලබාදෙන බව ද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.