අප සමාජයේ ජීවත් වන විවිධාකාරයෙන් පිහිටාධාර සලසන පිරිස් “දෙවිවරුන්” ලෙස හැඳින්වීමේ සමාජමය නැඹුරුවක් නිරතුරුව පවතී. “ඒ නම් මනුස්සයෙක් නෙවෙයි දෙවියෙක්” යනුවෙන් එබඳු පුද්ගලයන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු පවසනු අපි අසා ඇත්තෙමු.බටහිර සමාජය විසින් අදහනු ලබන දෙවිවරුන් සහ පෙරදිග ඇදහීමට ලක් වන දෙවිවරුන් අතරේ පැහැදිලි වෙනසක් තිබේ. කිතුනු සහ ඉස්ලාම් ආදී ආගම්වලින් විස්තර කෙරෙන අන්දමට ඔවුනට ඇත්තේ සර්වබලධාරී එකම දෙවි කෙනකු පමණි. ඒ දෙවියන් හැරුණු කොට වෙනත් දෙවිවරුන් පිළිබඳ විශ්වාසය තැබීම පවා බරපතළ පාපයකි. එහෙත්, ලොව පැරණිතම ආගම වශයෙන් හැඳින්වෙන ඉන්දියාවේ හින්දු ආගම එබඳු ඒක දේව වාදයක් නොවේ. ජන සම්මතය අනුව හින්දු ආගමෙහි දෙවිවරුන් තිස් තුන් කොටසක් වෙති. ශ්‍රී ලාංකේය මෙන්ම ඉන්දීය සමාජයේ ද තිස් තුන් කෝටියක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කරනුයේ එම දෙවිවරුන් තිස් තුන් කොටසක් යන්න ය. සංස්කෘත භාෂාවේ ‘කෝටි’ යන වදන දෙඅයුරකින් අරුත් ගැන්වෙයි. ඉන් පළමු අරුත ‘කෝටිය’ වන අතර දෙවැනි අරුත වනුයේ ‘කොටස’ යන්න ය.
කිතුනු, ඉස්ලාම් ආදී ඒක දේවවාදී ආගම්වල එම දෙවිවරුන්ගේ අනුගාමිකයන්ව සිට මනුෂ්‍යත්වය ඉක්මවූ සුවිශේෂ පුද්ගලයෝ ද සිටිති. ඔවුන් හැඳින්වෙනුයේ ශුද්ධත්වයට හා සාන්තුවර තත්ත්වයට පත් වූවන් ලෙසිනි. මිනිසා සහ සර්ව බලධාරී දෙවියන් එකට යා කරන්නවුන් වශයෙන් හැඳින්වෙන මෙම සාන්තුවරුන් ද ප්රාතිහාර්ය බලයන් ඇත්තවුන් ලෙස සලකනු ලැබේ. එහෙත් ඇතැම් ඉස්ලාම් නිකායිකයන් මෙම සාන්තුවර බැතිය ප්‍රතික්ෂේප කරන බව ද පැවසෙයි.
බෞද්ධ සාහිත්‍යයට අනුව දෙවිවරු තුන් කොටසකි. එනම් විශුද්ධි දේව, උප්පත්ති දේව සහ සම්මුති දේව යනුවෙනි. බුදු දහමට අනුව කෙලෙසුන් නැසූ බුදු, පසේ බුදු, මහ රහත් ආදීහු විශුද්ධි දේව යන නමින් හැඳින්වෙන අතර උප්පත්ති දේව යනු සදෙව් ලෝකාදී පුණ්‍යවන්ත ස්ථානයන්හි දෙවිවරුන් වශයෙන්ම උපදින දෙවිවරු ය. ඊට අමතරව උතුම් ගති ගුණ ආදිය නිසා ජනතාව විසින් දෙවිවරුන් සේ සලකන්නවුන් සම්මුති දේව වශයෙන් බුදු සමයෙහි දක්වා තිබේ. ඒ සම්බන්ධයෙන් අටුවාවෙහි තවදුරටත් විස්තර කෙරෙන අන්දමට රටවැසියා විසින් දේවත්වයෙන් සලකනු ලබන රාජ රාජ මහාමාත්‍යවරුන් අයත් වනුයේ ද මෙම සම්මුති දේවත්වයට ය.නමුදු අද වන විට ප්රජාතන්ත්රවාදය සේම සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය සවි බල ගැන්වී තිබීමට සහ රටක පාලනයෙහි දී ජනතා පරමාධිපත්‍යයට මුල් තැනක් හිමි වීමට සාපේක්ෂව දේශපාලනඥයාගේ බලය අවප්‍රමාණ වී තිබේ.නමුත් ඉන්දියාව වැනි සාම්ප්‍රදායිකත්වය කෙරෙහි වැඩි නැඹුරුවක් පළ කරන රට වල ඇතැම් දේශපාලනඥයන් සේම කලා කරුවෝ ද දේවත්වයට ආසන්න තැනක් දක්වා ඉහළට එසවී සිටිති.
මේ අතර අප සමාජයේ ජීවත් වී මිය පරලොව යන්නවුන්ගෙන් කොටසක් ද දේවත්වයට පත්වන බවට විශ්වාසයක් පවතී. ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ ආගමික කටයුතුවල දී බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වන නිවන් පැතීමේ දී පවා ‘දෙව් මිනිස් සැප කෙළවර’ යන වදන යෙදීමෙන් ඒ බව වැඩිදුරටත් තහවුරු වෙයි. එහෙත් අප රටේ බෞද්ධ සම්ප්රදාය අනුව මියගිය ඥාතීන්ට පින් දීමේ දී ඔවුනට සදෙව් ලෝකවල උප්පත්තිය ලැබීමට පින් දෙනු මිස මිහිපිට හෙවත් භූමාටු දෙවියකු ලෙස ඉපිද තවදුරටත් අප අතරේම රැඳෙන ලෙස පින් දීමේ සම්ප්රදායක් නැත. ඊට හේතුව බෞද්ධ සංස්කෘතිය තුළ මියගිය පුද්ගලයා ‘ඥාති පේත’ යනුවෙන් හැඳින්වීම නිසා ද විය හැක.මෙහි දී මියගිය ඥාතියා ‘පේත’ ‘පේතස්ස’ නමින් හැඳින්වුව ද එය දුගතිගාමී උපතක් ලෙස නොසැලකේ.එය මළවුන් හඳුන්වනු ලබන පොදු ව්‍යවහාරයකි. නමුදු ශ්‍රී ලාංකේය ආදීවාසී ජනතාවගේ ඇදහීම්වල මෙම මියගිය ඥාතීන් හට මුල් තැනක් හිමි වෙයි. දුරාතීතයේ සිට විවිධ කාල වකවානුවල විවිධ හේතූන් මත මිය පරලොව ගිය ඥාතීන්ගේ ආත්ම තමන් ජීවත් වන පරිසරයේ ඒ මේ අත සැරිසරන බවටත් ඒ ආත්මයන්ට නොයෙකුත් පුද පූජා පැවැත්වීමෙන් එම මියගිය ඥාතීන්ගේ හෙවත් ‘නෑ යකුන්’ ගේ පිහිටාරක්ෂාව ලැබෙන බවටත් ප්‍රබල විශ්වාසයක් වැදි ජනතාව තුළ තිබේ.
මේ සියලු තත්ත්වයන් යටතේ අතීතයේ අප සමාජයේ ජීවත් වූ ඇතැමුන් ද මරණයෙන් පසු දේවත්වයට පත් වීමක් පිළිබඳ ප්‍රබල විශ්වාසයක් අප ජන සමාජයේ පවතී.
ශ්‍රී ලංකාවේ අදහනු ලබන ප්‍රාදේශීය දෙවිවරුන් පිළිබඳ විස්තර විමසීම්වල දී බොහෝ විට අනාවරණය වනුයේ ඔවුන් ඈත හෝ මෑත අතීතයේ අප සමාජයේ ජීවත් වූ කිනම් අන්දමකින් හෝ ජන අවධානයට ලක් වූ ප්‍රබල පුද්ගලයන් බව ය.සාමාන්‍යයෙන් ‘දේව’ යන්නෙන් යහපත සම්බන්ධ අදහසක් පළ වුව ද එසේ මරණයෙන් පසු දේවත්වයට පත් වූවන් අතර යහපත් නොවූ පුද්ගලයන් ද සිටින බව පෙනේ. එහෙත්, ඒ තැනැත්තාගේ දේවත්වය කිසියම් යක්ෂ ස්වරූපයකින් හඳුන්වා දීම ද සාමාන්‍ය ස්වරූපයකි. කෝට්ටේ රාජධානි සමයේ උඩුගම්පොළ උප රාජධානියේ රජකම් කළ සකල කලා වල්ලභ රජතුමා ඝාතනය කරනු පිණිස රජු විසින් නාන මඟුල් පොකුණේ දිය යට උල් සිටුවා තැබූ ඔහුගේ පුත් කළු කුමාරයා ද මරණයෙන් පසු දේවත්වයට පත් වීම ඊට කදිම නිදසුනකි. අදත් සියනෑ කෝරලේ උඩුගම්පොළ කළු කුමාරයා ඇදහීම තිබේ.
නමුදු ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු තුළ පැන නගින ප්‍රධානතම ගැටලුවක් වේ. එනම් යමකු එසේ දේවත්වයට පත් වන බව ජනතාව දැන ගන්නේ කෙසේද? යන්න ය. එහෙත් අප රටේ ප්‍රාදේශීය දේව පුරාවෘත්ත දෙවිවරුන් සඳහා වන කෝල්මුර කවි ආදියෙන් අප සමාජයේ මියගිය පුද්ගලයන් දේවත්වයට පත් වීම් පිළිබඳ තොරතුරු හෙළිවන ආකාරය වටහා ගත හැක.සමකාලීන ජන සමාජය කෙරෙහි කිනම් හෝ ප්‍රබල බලපෑමක් සිදු කළ පුද්ගලයකුගේ මරණයෙන් පසු එම ජන සමාජයට දැනෙන අන්දමින් කිසියම් අහඹු, ආකස්මික සිදුවීමක් ඇති වීම ඒ හා සම්බන්ධ එක් ලක්ෂණයකි.එය බොහෝ විට ජනතාව තුළ යම් භීතියක් දනවන්නක් බව පෙනී යයි.
ගම්පහ සහ කොළඹ දෙදිසාවේ කැලණි නදිය දෙපස ජනතාව අතරේ අදත් චිර ප්‍රසිද්ධ රන්වල දෙවියන් සම්බන්ධ පුරාවෘත්තයට අනුව එතුමන් මිනිස් ආත්ම භාවයේ දී කැලණි නදිය අද්දර අසපුවක ජීවත් වූ උපාසකයෙකි. එවක රන්වල මුත්තා නමින් හැඳින්වුණු එතුමන් වියපත් වීමෙන් පසු ගම්මුන්ගෙන් ලැබෙන සලාක දානයෙන් එතුමන්ගේ ජීවිතය ගත වී තිබේ. එහෙත් එක්තරා දිනයෙක කිනම් හෝ හේතුවක් මත අවට වැසියන් සියලු දෙනාටම රන්වල මුත්තාට සලාක දානය ගෙන යාමට අමතක වී තිබේ. එදින රාත්‍රියේ මහා වැස්සක් ඇද හැලී කැලණි ගඟ දෙගොඩ තළා උතුරා ගොස් ඇති අතර පසු දා උදේ හිරු නැගුණු පසු ගැමියන් දැක ඇත්තේ ඒ අසපුව තුළ මියගොස් ඇති රන්වල මුත්තාගේ මළ සිරුර ය. තමන් හට වූ එම බරපතළ අමතක වීම ඔවුනට සිහිගැන්වී ඇත්තේ එවිට ය.ඉන්පසු පුරා දින හතක් ඒ ආකාරයෙන්ම ඇද හැළුණු ඒ මහා වර්ෂාවෙන් කැලණි ගඟ දෑලේ ගම් හත බැගින් ගම් දාහතරක් ජලයෙන් යට වූ බව කියනු ලැබේ.
මීට අමතරව කිසියම් විශේෂිත පුද්ගලයකුගේ මරණයෙන් පසු ගම පුරා වසංගත පැතිර යාම, වන සතුන් ගම් වැදීම සහ ආරූඪ පේන ආදියෙන් ඒ බව ප්‍රකාශ වීම ආදිය ද ජීවත් වූ යමකු දේවත්වයට පත් වූ බව හඟවන සෙසු නිමිති බව පැහැදිලි වේ.ඒ කෙසේ හෝ මීට සියවස් දෙකකින් පමණ මෙපිට මිය ගිය කිසිවකුත් එසේ දේවත්වයට පත් වූ බවට ජන විශ්වාසයක් ඇති වී නොමැත.ඩී.එස් සේනානායක,එස්.ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක,විජය කුමාරතුංග සහ ආර්.ප්‍රේමදාස යන සුවිශේෂ පුද්ගලයන්ගේ අකල් මරණ වලින් පසු ඔවුන් ගේ ඡායාරූප ද අප රටේ ඇතැම් නිවෙස් වල බුදු කුටි සහ දේව රූප සහිත ස්ථාන වල පහළ තලයේ ප්‍රදර්ශනය කෙරුණු බවට තොරතුරු තිබේ.ඒ ඔවුන් උප දේවතා තත්වයට පත් වූ බව අනියමින් කියා පාමිනි.එහෙත් එම මතය සමාජයේ ස්ථාපිත වී නැත. එහෙත්, 2018 වසරේ ඇත් දළ සොරුන් විසින් කෲර ලෙස ඝාතනය කරන ලද දළ පූට්ටුවා ඇතුගේ සහ 2010 වසරේ වන ජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත් කම නිසා මියගිය සියඹලංගමුව ඇතාගේ සජීවී ප්‍රමාණයේ මූර්ති සහිත පාදෙණිය අනුරාධපුර ප්‍රධාන පාරේ ගල්ගමුව පූලංචිය වැව අද්දර තනා ඇති සත්ව අහිංසා ස්මාරකය ඉදිරියේ සහ ඒ ඒ වෙතට නැවුණු කොහොඹ අත්තක මල් මාලා තැබීම් ආදිය නිරීක්ෂණ වී තිබේ.ඉන් පෙනී යනුයේ මිනිසුන් සේම යහපත් යැයි සම්මත ඇහැම් සතුන් ද දේවත්වයට පත් වීම කෙසේ වුවද ඒ සම්බන්ධ යම් යම් සමාජමය නැඹුරුතාවයන් පවතින බවකි.
තිලක් සේනාසිංහ