මිථ්‍යාවේ අලුත්ම ‘වර්ෂන්’ එක ළඟදීම! හේතුවාදියෙකුගෙන් අනාවැකියක්

hethu

මේ වන විට අපේ රට සමාජ, ආර්ථික සහ දේශපාලනමය වශයෙන් බරපතල අර්බුදයකට පත්ව ඇත. දැන් එළැඹී ඇති තත්වය අනුව රටේ ඉදිරි කල දවස කුමකින් කුමක් වේදැයි කිසිවකුටත් නිශ්චිතව කිව නොහැකි තත්වයක් එළැඹී තිබේ.

එහෙත්, ගත වූ කාලය පුරාවටම අපගේ පෞද්ගලික, පවුල්මය වශයෙන් හෙට දවස සේම රටේ අනාගත කල දසාව ගැන කියමින් ජනකාන්ත බවට පත් ගුප්ත ශාස්ත්‍රඥ තාරුකාවෝ අද පෙර මෙන් ජන මාධ්‍ය වලින් අපට මුණ නොගැසෙති.

මොවුන් පිළිබඳව අප සමාජයේ වැඩි පිරිසක් පූර්ණ සහ අර්ධ වශයෙන් විශ්වාසය රඳවා ගෙන හිඳින අතරේ තවත් පිරිසක් කියනුයේ මොවුන් ඉතා සටකපට බොරුකාරයන් සහ වංචනිකයන් බව ය.

එමෙන්ම ගුප්ත ශාස්ත්‍රඥයන් නමින් පෙනී සිටින මොවුන් ගෙන් සමහරකු ජනමාධ්‍ය ආයතන වලට මුදල් ගෙවා ඒ ආයතන ද සමඟ එක් වී විවිධ ඇස්බැන්ඳුම් කොට මෙරට අසරණ ජනතාව ගෙන් රුපියල් කෝටි, ප්‍රකෝටි ගණනක මුදල් කොල්ල කන බවට ද සමාජයේ ඇතැම් පිරිස් වලින් චෝදනා එල්ල වෙයි.

එවන් පසුබිමක් යටතේ ජනමාධ්‍ය මගින් පෙනී සිටින මෙම ගුප්ත ශාස්ත්‍ර සුපිරි තරු හදිසියේ මෙලෙස අතුරුදන් වීමට හේතුව පිළිබඳව අපි එම ක්ෂේත්‍රය දැඩි විවේචනයට බඳුන් කරන ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම් තාරක වරාපිටිය ගෙන්ම විමසුමක් කළෙමු.

■ පහුගිය කාලේ ජනමාධ්‍ය වලින් වැජඹුණු 2015 ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුණොත් ඔළුවට වෙඩි තියා ගන්නවා කියපු; පහුගිය කාලේ දවසක කතරගම ගියොත් කතරගම දෙවියන්ව සජීවීව බලන්න පුළුවන් කියපු ජනකාන්ත ගුප්ත ශාස්ත්‍රඥ රැල්ලට අද මොකද වුණේ?

අනාගතයේ සිද්ද වෙන දේවල් ගැන විවිධ පුරෝකතනය කරන විද්‍යාත්මක ක්‍රම තියනවා. ඒවා ලෝකය පුරාම භාවිතා කරනවා.ලොව පුරා කාලගුණ අනාවැකි කීම එවැන්නක්. තවත් සමහරු වර්තමානයේ පවතින සාධක පදනම් කරගෙන අනාගතය ගැන පුරෝකතනය කරනවා. මොකද ලෝකයේ, සමාජයේ පැවැත්මට ඒ වගේ පුරෝකතන අවශ්‍ය නිසයි.තවත් පිරිසක් තමන් සතු විශේෂ බුද්ධිමය හැකියාවන් පාදක කරගෙනත් යම් යම් අනාවැකි පළ කරනවා.

හරියට ආතර් සී. ක්ලාක් වගේ. නමුත් මේ කිසිම අනාවැකියක් 100% සාර්ථක වෙනවාමයි කියලා කාටවත් කියන්න බෑ. ඒ වගේ තත්වයක් යටතේ ඔය වගේ අන්ධභූත ශාස්ත්‍ර වලින් කියවෙන අනාවැකි ඇත්ත වෙන්නේ කොහොමද?මේ කොවිඩ් වසංගතයත් එක්කම ඔය කපටින්ගේ අනාවැකි පට්ට පල් බොරු බව මේ රටේ සැළකිය යුතු පිරිසක් තෙරුම් අරන් ඉවරයි.කොටින්ම මේ කොවිඩ් රැලිත් එක්ක ඔය අන්ධ විශ්වාස රැල්ල බිඳ වැටුණා.

■ නමුත් ගුප්ත ශාස්ත්‍ර වලින් කියැවෙන සමහර අනාවැකි හරියන බවට ජනතා විශ්වාසයක් තියනවා.
අපි කවුරුත් මොන ක්‍රමයකින් හරි පළ කරන අනාවැකි ඉබේටම සපල වීමේ ස්වභාවික හැකියාවක් තියනවා. ඒක භව්‍යතා රීතිය කියන සිද්ධාන්තය මත වෙන එකක්.
ඔබ කියනවා. ලබන ඉරිදා මෙහාට වහිනවා කියලා; මම කියනවා නෑ පායනවා කියලා;එතකොට අපි දෙන්නගෙන් කවුරු හරි කියන දේ ඇත්ත වෙනන ඕනේ නේද? ඒත් ඒ කියපු දේ හරිගිය පමණින් අපි දෙන්නාගෙන් කවුරු හරි නිවැරදි අනාවැකියක් කියූ බව සහතික කරන්න පුලුවන්ද? ඒක අර නෝනා-පොල්ල සෙල්ලම වගේ දෙයක්නේ

■ ඔබ කියනවා ගුප්ත ශාස්ත්‍ර වලින් තොරවත් සමහරුන්ට යම් දේවල් ගැන පුරෝකතනය කරන්න අනාවැකි කියන්න පුළුවන් කියලා; ඒත්, ඔය ගුප්ත ශාස්ත්‍ර වල යෙදිලා ඉන්න අයටත් එහෙම කරන්න පුළුවන් නේද? ඇයි ඒ අය එහෙම නොකරන්නේ ?

කපටියා නුවණක්කාරයෙක් හැටියට පේන්නේ මෝඩයන්ට; මෝඩයන් නොවෙන අයට කපටියා පේන්නේ මෝඩයෙක් විදිහට; දැන් අපේ රටේ පවතින දේශපාලනය ගැන කියන්න පුළුවන් ළඟදීම ලොකු පෙරළියක් වෙනසක් වෙනවා කියලා; ඒත් අනාගතයේ රටේ සිද්ද වෙන ඊළඟ වැදගත් සංසිද්ධියට අර ‘පෙරළිය’ කියන අනාවැකිය යස අගේට හේත්තු කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ තියන කොවිඩ් පසුබෑම අතරේ යම් විශේෂ වෙනසකුත් දකින්න පුළුවන් කියලා අනාවැකි පළ කරන්නත් බැරිකමක් නෑ.

ඊට පස්සේ තව කොවිඩ් ප්‍රභේදයක් ආවොත් ඊට පස්සේ කියන්න පුළුවන්නේ ඔන්න මම කියපු අනාවැකිය සපල වුණා ‘විශේෂ වෙනස” වුණා කියල; ඒ වගේම පසුගිය කාලේ රටේ ගෞරවාදරයට ලක්වුණු කෙනෙක් ගේ මරණයක් වෙනවා කිව්වා නම් සුනිල් පෙරේරාගේ මරණයට හරි වැලිමිටියාවේ නායක හාමුදුරුවන් ගේ අපවත් වීමට හරි ඒ අනාවැකිය හේත්තු කරන්න පුළුවන්.ඕවට කියන්නේ ‘අතේ රෝල්’ අනාවැකි කියලා; නමුත් අද ඔය කපටි කයිරාටිකයන්ට ඒ වගේ අනාවැකි කීමේ හැකියාවක් වත් වත් නෑ.අද ඒ හැමෝම වගේ ඉන්නෙ කාටත් තෙරෙන විදිහට කිව්වොත්”කොලේ ඉරාගෙන”

■ මොකක්ද ඒකට හේතුව? අපේ රටේ ජනතාව මිථ්‍යාවෙන් යථාර්ථයට ඇවිත්ද?

ඒක නම් කීයටවත් වෙන්නේ නැහැ. මම හිතන්නේ රටේ ජනතාවත් දැන් මිථ්‍යාවෙන් අලුත් “වර්ෂන් එකක්’ බලාපොරොත්තු වෙනවා. මොකද දැන් ඉන්න ගුප්ත ශාස්ත්‍රඥ සෙට් එක කන්ඩෙම් වෙලා; හරියට ඇක්සිඩන්ට් වෙච්ච වාහන වගේ. ඔන්න බලන්න තව ටික කාලෙකින් ඔය ගුප්ත විශ්වාස ක්ෂේත්‍රයට අලුත් සෙට් එකක් බහින්නේ නැද්ද කියලා.

එතකොට ඔන්න අපේ රටේ වැඩි දෙනෙක් ඒ පැත්තට හැරෙනවා.

■ නමුත් ජ්‍යොතිෂය වගේ දේවල් නම් බොරුම නෙවෙයි නේද? මොකද ජ්‍යොතිෂය අනාවැකි වලින් සමහර වෙලාවට ඇත්ත දේවලුත් කියැවෙනවා.

අපිට රෙදි මනින්න මීටරේ කෝදුවක් නැත්නම් අපි කැලේ ගහකින් කෝටුවක් කඩා ගෙන ඒක මීටර් කෝදුව විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද සමහර විට ඒ කෝදුවේ දිගත් හරියටම මීටරයක් වෙන්න පුළුවන් හින්දා. නමුත් මීටර් කෝදු ඕනෑ තරම් තියෙද්දී කැලෙන් කඩා ගන්න කෝටු වලින් මිනුම් කටයුතු කරන්න කවුද කැමති?ජ්‍යොතිෂය භාවිතයට ගැනීමත් අන්න ඒ වගේ දෙයක්.

■ හැබැයි ඉතින් ජ්‍යොතිෂය අකුරටම පිළිපැදලා ජීවිතේ සාර්ථක කර ගත්තු අයත් ඉන්නවා.

ඔව්. ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒ ලෝකයේ ජීවිත සාර්ථක කරගත්තු ලක්ෂ ගාණකින් කෙනෙක්; ඒකට හේතුව නවීන ලෝකයෙන් මේ වෙන කොට පැරණි ජ්‍යොතිෂය වේගයෙන් ප්‍රතික්‍ෂ්ප වෙමින් තිබීම. ඒ අනුව බලන කොට අපිට හිතන්න පුළුවන් ජීවිතය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල මොකක්ද කියලා. ඒ වගේම ජ්‍යොතිෂයට වහල්වීම හින්දා කබලෙන් ලිපට වැටුණු තමන් ගේ මුළු සේසතම අහිමිකර ගෙන මහ පාරට වැටුණු අය ගැන ඔබ දන්නේ නැද්ද?ඒ හුඟ දෙනෙක් ජ්‍යොතිෂය ඇබ්බැහි වුණු අය.

■ එතකොට ඔබ ඔය කියන මිථ්‍යාවේ “අළුත්ම වර්ෂන් එක” කවදා වගේ සමාජගත වෙයිද?

ඒක සමාජයේ චින්තන පරිනාමයත් එක්ක සිද්ද වෙන දෙයක්. ලෝකයේ සෑම සමාජයකම වගේ යම් යම් ප්‍රමාණවලින් මිථ්‍යා විශ්වාස තියනවා. ඒවා ගොඩනැඟෙන්නේ ඒ ජන විඥානයට අනුරූපව, ඒ අනුව වර්තමාන නොවිධිමත් සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යුහය නිසා මතුවෙන අර්බුදවලින් පීඩිත වන ජනතාවගේ මානසික අවශ්‍යතා සපුරාලන නව ගුප්ත ශාස්ත්‍ර රැල්ලක් මතු වෙනවා.

■ නමුත් පරිගණක තාක්ෂණය, තොරතුරු සන්නිවේදනය මෙච්චර ප්‍රබල විදිහට පැතිරුණු මේ වගේ කාලයකත් බොහෝ දෙනෙක් තමන් ගේ ඉලක්ක සපුරා ගන්න ගුප්ත ශාස්ත්‍රවල පිහිට පතනවා නේද?

ඔව්; ඒක ආත්ම විශ්වාසයේ දුබල බවත් එක්ක මතුවෙන තත්වයක්. කවුරු හරි තමන්ගේ පරිගණක උපාධියෙන් පාස් වෙන්න ගුප්ත විද්‍යාවේ පිහිට පතනවා. ඒත්,තමන්ගේ පරිගණකය කැඩුණම ඒක හදාගන්න ගුප්ත විද්‍යාවේ පිහිට පතන්නේ නැහැ. තාක්ෂණ ශිල්පියෙකුට බාර දෙනවා මිසක්. ඒ කියන්නේ ඒ අයත් අනියමින් පිළිගන්නවා ගුප්ත ශාස්ත්‍ර කියන්නේ මිථ්‍යාවන් කියන බව.එහෙම දැනගෙන තමයි ඒවායේ පිහිට පතන්නේ.

සංවාදය: දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර