මිනිස්-අලි ගැටුමේ නිමාව කුමක්ද?

minis-ali

ශ්‍රී ලංකාවේ අපට අලි අතුන් සමග ඇත්තේ දිගු අතීතයකට ඇදී යන සම්බන්ධයකි. මෙරට මුල් බැසගත් ප්‍රධාන ආගමික විශ්වාසයන් දෙක වන බෞද්ධ සහ හින්දු ආගම් වල අලි අතුන්ට විශාල සංස්කෘතික වටිනාකමක් හිමිව තිබේ. නමුත් අද වන විට අලි අතුන් යනු මෙරට විශාල ප්‍රදේශයක ජීවත්වන ජනතාවට කරදරකාරී සත්වයෙකු බවට පත්ව ඇත. ඊට ප්‍රධානතම හේතුව මිනිස්-අලි ගැටුමයි. ශ්‍රී ලංකාවේ මිනිස්-අලි ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශ වලට පැතිරෙමින් පවතින බව නවතම විද්‍යාත්මක අධ්‍යයන මගින් අනාවරණයවී ඇත. ලොව මිනිස්-අලි ගැටුම මගින් වැඩිම අලි ඇතුන් සංඛ්‍යාව සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණය පත්වන රට ශ්‍රී ලංකාව‍යි. දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක පමණ මිනිස්-අලි ගැටුම් වාර්තාවී ඇති අතර එම ප්‍රමාණය මෙරට සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් තුනෙන් එකකටත් වඩා ඉහළ අගයක් ගනී.

පසුගිය වසර පහක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 558 ක් මිනිස්-අලි ගැටුම හේතුවෙන් රටට අහිමිවී ඇති අතර එම ප්‍රමාණය වසරකට 112 ක් පමණ වේ. මෙම වසරේ ගතවුනු මාස අටක කාලසීමාව තුළ ද මිනිස් ජීවිත 76 ක් රටට අහිමි කිරීමට මිනිස්-අලි ගැටුම හේතුවී ඇත. මෙරට ඉතිහාසය තුල මිනිස්-අලි ගැටුම හේතුවෙන් වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් රටට අහිමි වන්නේ ඉකුත් 2021 වසරේ ය. එම සංඛ්‍යාව 142 කි. 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී මිනිස්-අලි ගැටුම හේතුවෙන් සිදුවූ මිනිස් මරණ සංඛ්‍යාව මේ වන විට 50%කින් වර්ධනය වී ඇති අතර 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 14%ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. මිනිස්-අලි ගැටුම හේතුවෙන් වාර්ෂිකව මරණයට පත්වන්නන්ගෙන් වැඩිම පිරිසක් පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් අවරුදු 51 – 60 ත් අතර පසුවුවන් වේ. තවද වැඩිම කාන්තාවන් පිරිසක් මරණයට පත්ව ඇත්තේ අවුරුදු 61 – 70 වයස් කාණ්ඩයේ ය.

අදාළ කාලසීමාව තුල අලි ඇතුන් 1683 ක් මරණයට පත්වී ඇති අතර එම ප්‍රමාණය වසරකට 337 කි. වැඩි වශයෙන් මරණයට පත්ව ඇත්තේ පිරිමි අලින් ය. 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී මිනිස්-අලි ගැටුම හේතුවෙන් සිදුවූ හස්ති මරණ සංඛ්‍යාව මේ වන විට 92%කින් පමණ වර්ධනය වී ඇති අතර 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 31%කින් වර්ධනයවී ඇත. මිනිස්-අලි ගැටුම හේතුවෙන් වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් රටට අහිමිවී ඇත්තේ 2019 වසරේය. එම සංඛ්‍යාව 405 කි. එසේම වසරේ සෑම කලාසීමාවකදීම නොවෙනස්ව මිනිස්-අලි ගැටුම් වාර්තාවන අතර වසර පුරාම මෙසේ මිනිස්-අලි මරණ වාර්තාවීමට වාරි ජලය මගින් වගා කිරීම නිසා වසරේ සෑම කාලසීමාවකම කෘෂිකාර්මික කටයුතු සිදුකිරීම, බහුවාර්ෂික භෝග වගාව, නිවෙස් වල අස්වනු තැන්පත්කර තැබීම, අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශ වල වසරේ සෑම කාලසීමාවකම ජනතාව අනාරක්ෂිතව හැසිරීම වැනි කරුණු හේතුවන බව සිතිය හැකිය. මීට අමතරව මිනිස්-අලි ගැටුම් හේතුවෙන් මිනිසුන්ට වාර්ෂිකව සිදුවන ශාරීරික හානි සහ දේපොළ හානිද නිමක් නැත.

වසරක් පාසා මිනිස්-අලි ගැටුම් හේතුවෙන් සිදුවන මිනිස් මරණ, ශාරීරික හානි, දේපොළ හානි සහ අලි මරණ ප්‍රමාණය ඉහළ යමින් පවතින අතර ඒ අනුව ගැටුම එන්න එන්නම දරුණු අතට හැරෙමින් පවතින බව පැහැදිලි වෙයි. තවද ගැටුම් වාර්තාවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවද වාර්ෂිකව වැඩිවීමක් පෙන්නුම් කරන අතර ඒ අනුව මිනිස්-අලි ගැටුම නව ප්‍රදේශ කරා ව්‍යාප්ත වන බව සිතිය හැකිය. මිනිස් මරණ, ශාරීරික හානි හා අලි මරණ සංඛ්‍යාව එක්ව ගත්කල වැඩිම සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වන අතර පොළොන්නරුව, අම්පාර සහ මොණරාගල පිළිවෙලින් එහි ඉදිරියෙන්ම පසුවන සෙසු දිස්ත්‍රික්ක වේ. දකුණින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට යාපනය අර්ධද්වීපයට අයත් මදුරන්කේණි හෙවත් වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දක්වා උතුරට මිනිස්-අලි ගැටුම් පැතිරී ඇත. වැඩිම දේපොළ හානි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර පොළොන්නරුව, බදුල්ල සහ මොණරාගල දේපොළ හානි වැඩි වශයෙන් වාර්තා වන සෙසු දිස්ත්‍රික්ක වේ.

විමතියට කරුණ නම් ශ්‍රී ලංකාවේ මිනිස්-අලි ගැටුම් මේ ආකාරයෙන් ඉහළ යමින් තිබෙන්නේ ඒ සඳහා රජය මගින් වියදම් කරන මුදල් ප්‍රමාණයද වාර්ෂිකව ඉහළ නංවමින් තිබීම ය. අලි වෙඩි, වන්දි ගෙවීම්, වන අලි පරිස්ථාපනය, සහ වන අලි පලවාහැරීම යන ප්‍රධාන මිනිස්-අලි ගැටුම් කළමනාකරණ ක්‍රම හතර සඳහා රජය මගින් වැයකළ මුදල 2010 – 2018 කාලසීමාව තුළ 110% කින් පමණ වර්ධනය වී ඇත්තේ ඒ අනුව ය. 2010 වසරේදී මේ සඳහා රුපියල් මිලියන 92 ක් පමණ වැයකර ඇති අතර 2018 වන විට එම ප්‍රමාණය රුපියල් මිලියන 194 දක්වා ඉහළ ගොස් තිබේ. මිනිස්-අලි ගැටුම පාලනය කිරීමේ අරමුණින් දිවයින පුරා වාර්ෂිකව නව විදුලි වැට කිලෝමීටර් 267 ක් පමණ (පැරණි විදුලි වැට නවීකරණය සහ ප්‍රතිස්ථාපනය කිරීමට අමතරව) ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර 2010-2019 කාලසීමාව තුළ මහා පරිමාණයේ වන අලි පලවාහැරීම් 10 ක් පමණ (දෙපාර්තමේන්තුව මගින් කුඩා අලි පලවාහැරීමේ මෙහෙයුම් සිය ගණනක් දින පතා සිදුකරයි) වසරක් පාසා සිදුකර ඇත. නමුත් එවන් පසුබිමක් තුළ මිනිස්-අලි ගැටුමේ කිසිඳු අඩුවක් සිදුවී නොමැති වීමට හේතුව මිනිස්-අලි ගටුම් අවම කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රමවේදයන්ගේ ගැටලුවක්ද යන්න විමසා බැලිය යුතු ය.

ශ්‍රී ලංකාවේ ජීවත්වන අලි ඇතුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ ජීවත්වන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව වන අතර එම සතුන් වනජීවී රක්ෂිත තුලට ගාල්කර මිනිස්-අලි ගැටුම විසඳීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසර හැත්තෑවක පමණ කාලය තුළ නොගත් උත්සාහයක් නැත. එසේම ඔවුන් මිනිස්-අලි ගැටුම පාලනය සඳහා යොදාගන්නා වනජීවී රක්ෂිත වටා විදුලි වැට ඉදිකිරීම, අලි පලවාහැරීම, මිනිස් ජීවිත හා දේපොළ වලට හානි සිදුකරන අලින් අල්ලා හොරොව්පතාන වැනි අලි රැඳවුම් මධ්‍යස්ථාන වෙත ගාල් කිරීම වැනි අවිද්‍යාත්මක සහ යල්පැනගිය මිනිස්-අලි ගැටුම් කළමනාකරණ ක්‍රමවේද මෙන්ම අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් ද මෙසේ දිවයිනේ මිනිස්-අලි ගැටුම් ඉහළ යාමට හේතුවී තිබේ.

2020 ජූලි 22 දින ‘ශ්‍රී ලංකාවේ අලි- මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කෙරිණි. අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු මෙම කමිටුවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ පරිපාලන නිලධාරීන් රැසක් ඇතුලත් විය. ඔවුන් විසින් සකස් කෙරුණු සැලැස්ම 2020 දෙසැම්බර් 17 දින ජනාධිපතිවරයා වෙත භාරදී ඇත. ශ්‍රී ලංකාවේ මිනිස්-අලි ගැටුම අවමකරගැනීම සඳහා වන තුන් කල් දක්නා සාධණීය, ප්‍රායෝගික, යථාර්තවාදී සහ සමෝධානිත වැඩපිළිවෙලක් එමගින් යෝජනාකර ඇති බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවද (කෝපා කමිටුව) එය අනුමත කර ඇත. නමුත් දැනට දෙවසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් එම සැලැස්ම හමස් පෙට්ටියේ සඟවා ඇත.

වන අලි ඇතුන් තවත් ප්‍රචණ්ඩත්වයට ඇද දමන යල් පැන ගිය මිනිස්-අලි ගැටුම් කළමනාකරණ ක්‍රම වලින් මිදී එම සතුන් ඔවුන්ගේ වාසභූමි තුළම සංරක්ෂණය කරමින් විද්‍යාත්මක භූමි පරිහරණ රටාවකට අනුව කටයුතු කිරීම තුළින් මිනිස්-අලි ගැටුමට විසඳුම් සෙවියයුතු බව පර්යේෂකයින් පෙන්වා දෙති. එසේම වන අලි ඇතුන් වනජීවී රක්ෂිත තුළට ගාල්කිරීම වෙනුවට වන අලින්ගේ ප්‍රහාර වලින් බැටකන ගම්මාන ආරක්ෂාවන පරිදි ඒ වටා ස්ථිර විදුලි වැට ඉදිකිරීම සහ කුඹුරු වටා තාවකාලික විදුලි වැට ඉදිකිරීම මෙන්ම වන අලි ගැවසෙන ප්‍රදේශවල විශේෂයෙන් රාත්‍රී කාලයේ කටයුතු කිරීමේ දී සැළකිලිමත්වීම වැනි කරුණු මගින්ද ජීවිත හා දේපොළ හානි අවමකර ගැනීමට හැකියාව පවතී.

තවද වන අලින් නිවෙස් වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වන කෘෂි අස්වනු නිවෙස් තුළ ගබඩාකර තැබීම වැලැක්වීම සඳහා මිනිස්-අලි ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල කෘෂි අස්වනු සාධාරණ මිලකට මිලදී ගැනීමට රජය මගින් කටයුතු කිරීමද කාලෝචිත ය. ශ්‍රී ලංකාවේ මිනිස්-අලි ගැටුම් අවම කිරීම සඳහා ඊට අදාල සියලු ඇල්මැති පාර්ශව අන්තර් පාර්ශවීය සම්බන්ධීකරණයෙන් යුතු කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ හොත් “අවසන් කුංචනාදය” මෙම දිවයිනෙන් මැකී යන තුරුම මෙම නිරන්තර අරගලයට විසඳුමක් නොලැබෙන බව අවසන් වශයෙන් අවධාරණයෙන් ලියා තැබිය යුතු ය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

එතෙර - මෙතෙර