පසුගිය දිනයෙක මම තඹුත්තේගම නගරයේ ගමන් කරමින් සිටිය දී මඟ අද්දර පදික වේදිකාවක කාන්තාවක කෙසෙල් ගෙඩි අලෙවි කරමින් හිඳිනු දුටුවෙමි.ඒ අතරේ වැඩිපුර ඉදී තිබූ කෝලිකුට්ටු ගෙඩි ද ගොඩවල් කීපයක් දක්නට ලැබිණ.මේ දිනවල කෝලිකුට්ටු මිල ඉතා අධික බැවින් එසේ ගොඩ ගසන ලද කෝලි කුට්ටු වල මිල ගණන් විමසුවෙමි.එවිට ඇය කීයේ ඉන් එක් කෙසෙල් ගොඩක් රුපියල් සියයක් බව ය.එහෙත්, ඒ කෙසෙල් ගෙඩි ගොඩක් කිලෝ දෙකක් පමණ බරින් යුතු බව මට වැටහිණ.”මේවා අපි ගන්නේ විශේෂ ආර්ථිකෙන්”එම කාන්තාව කීවා ය.ඇය එනමින් හඳුන්වන ලද්දේ තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයයි.”එතන බිස්නස් කරන කීප දෙනෙක් විතරයි.අපිට මේවා අඩු ගාණට දෙන්නේ.අනික් හැමෝම කරන්නේ ඒවා කුණු ට්‍රැක්ටරේට දෙන එක. ඒවා කෙලින්ම ගෙනියන්නේ ඌරු කොටු වලට.ඒත් ඒ කුණු ට්‍රැක්ටරේට පටවන ඒවායිනුත් හතරෙන් පංගුවක් විතර ඉදිලා වැඩි වුණු පොඩ්ඩක් තැළුණු අතනින් මෙතනින් නරක් වුණු ඒවා.ඒත් ඒවායේ රස ගුණ පොඩ්ඩක් වත් අඩු නැහැ.පෙනුමේ විතරයි යම් වෙනසක් තියෙන්නේ.
නමුත් බිස්නස් වල දී ඒවා කෙලින්ම කුණු ට්‍රැක්ටරේට දාලා තමයි ගනු දෙනු හදන්නේ”ඇය වැඩිදුරටත් කීවා ය. ඒ අනුව මම ඒවායින් එක් කෙසෙල් ගෙඩි ගොඩක් මිලට ගතිමි.සැබැවින්ම එහි පිරිසිදු බවේ හෝ රසයේ කිසිදු අඩුවක් නොවිණි. 1980 අංක 26 දරණ ආහාර පනත අනුව මිනිස් ආහාරයට නුසුදුසු කල් ඉකුත් වූ ආහාර පිළිබඳව සඳහන් වේ.එළවළු පළතුරු සම්බන්ධයෙන් ද එසේ මිනිස් ආහාරයට නුසුදුසු ලෙස හැඳින්විය හැකි මට්ටම් තිබිය හැක.ඒවා විකිණීම ප්‍රදර්ශනය කිරීම ආදිය නීතියෙන් තහනම් ය.එහෙත් ඉදී වැඩි වී එහෙත් නරක් නොවූ මෙන්ම නරක වූ කොටස් කපා ඉවත් කළ එළවළු පළතුරු සම්බන්ධයෙන් එම තහනම බලපාන්නේ නැත.මක් නිසාද? යත් ඒවා මිනිස් ආහාරයට නුසුදුසු නොනව බැවිනි.නමුත් ඒවා ප්‍රමිතියෙන් යුතු එළවළු ලෙසින් සුපිරි වෙළඳ සල් ආදියේ වැඩි මිලට අලෙවි කිරීමේ ගැටළුවක් තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු අස්වැන්නෙන් සියයට 19ක් හා පළතුරු අස්වැන්නෙන් සියයට 21ක් ඇසිරීමේ දී ප්‍රවාහනයේ දී විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ද පවසයි.
නිසි ඇසුරුම් හා ප්‍රවාහන ක්‍රමෝපායන් අනුගමනය නොකිරීම නිසා මෙලෙස පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.ඒ අනුව වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් පමණ හා පළතුරු මෙට්‍රික් ටොන් 290,151ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහනයේ දී විනාශ වන බව හෙළිදරව් වී ඇත. ලෝකයේ සෙසු රට වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත්, ලබන අස්වනු වලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් පසු අස්වනු හානිය නිසා රටට අහිමිවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. 2021 දී මෙලෙස අපතේ ගිය ආහාර ප්‍රමාණය සලකා බැලූ විට එය තවත් පුද්ගලයින් මිලියන 10කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් බව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විශ්ව විද්‍යාල කිහිපයක ආචාර්ය මහාචාර්යවරුන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා කළ සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.මිනිස් පරිභෝජනයට ගන්නා එළවළු පළතුරු වලින් කහළ ගොඩට දැමෙන කොටස් නැවත මිනිස් ආහාරයට ලබා දිය යුතු බව මින් අදහස් නොකෙරේ.ඒවා ඇතැම් විට මිනිස් ආහාරයට නුසුදුසු තත්වයක තිබීමට ද පුළුවන.එහෙත්, ගැටළුව එය නොවේ.
ඇසිරීමේ දී හා ප්‍රවාහනයේ දී හානි සිදුවන නො එසේ නම් නම් ප්‍රදර්ශනාත්මක නොවන එළවළු පළතුරු බොහොමයක් කිසිදු වගවිභාගයකින් තොරව කසල ගොඩට හෙළීමට එම ව්‍යාපාරිකයන් පෙළඹීම ය.එහෙත්, එහි පාඩුව විඳගත යුත්තේ ඒවා සපයන ගොවීන් විසිනි.මේ තත්වය යටතේ ප්‍රසිද්ධ වෙළඳ පළ වෙත නිකුත් කළ නොහැකි ප්‍රමිතියෙන් අඩු එළවළු පළතුරු අඩු මිල ගණන් වලට සැපයීමේ යාන්ත්‍රණයන් පෑලියගොඩ මැනින් වෙළඳ මධ්‍යස්ථානය ආදී ස්ථාන වල යම් යම් පිරිස් විසින් කර ගෙන යනු දක්නට ලැබේ.එහෙත් එම එළවළු පළතුරු වල නගරයට ඇති වටිනාකම ඒවා නිෂ්පාදනය කරන ප්‍රදේශවල ජනයාට නොමැති වීම නිසා දෝ එම ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාස්තිය බහුල ලෙසම සිදුවනු පෙනෙයි.එමෙන්ම මෙරට දරුවන් ගේ පෝෂණ මට්ටම පිළිබඳ වාර්තා මඟින් කෘෂිකාර්මික කලාප වල දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතා අඩු මට්ටමක පැවැතීම ද සංවේගයට සේම විස්මයට ද හේතුවකි.විශ්ව විද්‍යාල මඟින් කරන ලද සමීක්ෂණයකට අනුව 2021 දී මෙලෙස අපතේ ගිය ආහාර ප්‍රමාණය සලකා බැලූ විට එය තවත් පුද්ගලයින් මිලියන 10කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් වේ නම් දැනට රට පුරා පවතින පෝෂණ ඌණතාවන් මඟ හරවා ගැනීම පිණිස ඉහත සඳහන් අන්දමට නිකරුණේ අපතේ යන එළවළු පළතුරු අස්වැන්න යොදා ගත නොහැක්කේ ඇයි දැයි අප තව දුරටත් සිතා බැලිය යුතු නොවන්නේ ද?
දමයන්ති ගමගේ