මේ දිනවල පවත්නා දැඩි නියඟය හේතුවෙන් වියළි කලාපයේ වැව් අමුණු සිඳී යන අතරේ මොරගොල්ලාගම නිකවැව වැවේ සිඳී යමින් පවතින මඩ සහිත දියේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන මසුන් ගේ දිවි බේරා ගැනීමට පිරිසක් කැපවීම් කරති.එම වගුරු දියේ බැස සිදු කරන මෙම සත්කාරයට දායක වන සියලු දෙනා රැකියාවන්හි නියැළී සිටින අය වීම ද විශේෂත්වයකි. ඔවුන් එම සේවාවට නිවාඩු දමා දින කිහිපයක් තිස්සේ මොරගොල්ලාගම මඩගල්ල ප්‍රදේශවල සිට පැමිණ මෙහි රැඳී සේවයට කැපවීම විශේෂත්වයකි.මෙම සිඳී යන වැව් දියේ තම ජීවිත බේරා ගැනීමට මාරාන්තික සටනක යෙදෙන ලූල්ලු, තෙප්පලි ඇතුළු විවිධ වර්ගයේ මත්ස්‍ය වර්ග රැසක් කොක්කුන්ට හා මිනිසුන්ට ඩැහැ ගැනීමට ඉඩ නොදී එම මසුන් ආරක්ෂාකාරිව අල්ලා එහි නවතා තිබෙන ලොරි රථයක ජල බඳුන්වලට දමා එතැන් සිට කිලෝ මීටර් දහයක පමණ දුරකින් ඇති මඩගල්ල වැවට රැගෙන ගොස් මුදා හැරීමට මේ පිරිස කටයුතු කරති.මේ සඳහා අවට ගම්වාසීන් ගේ ද සහාය ලැබෙන බවත් පැවසෙයි.විපතට පත් වූවනට පිහිට වීම දේව ගතියක් බවට ඇති ජන සම්මතය අනුව දිය සිඳී යන වැව් දියේ හිඳිමින් ඒකාන්ත මරණයකට උරුම කම් කියන අසරණ මසුන්ගේ ජීවිත රැක දෙන මොවුන් මිනිසුන් අතර වෙසෙන දෙවි වරුන් සේ හැඳින්වීමේ ද දොසක් නැත.