ඔබ ‘නයිට් රයිඩර්’ රසික පරපුරේ කෙනෙක් නම් ඔබට ඒ කතා මාලාව හොඳින් මතකයේ තිබෙනවා විය හැකිය. අලුත් පරම්පරාවන් වුව මේ පිළිබඳ අසා නැතිවා විය නොහැකිය. ඒ කතාවෙන් කියවෙන්නේ අපරාධ සොයා යන රහස් පරීක්ෂකයකු සහ ඔහුට ඒ සඳහා සහාය වන අපූරු මෝටර් රථයක් පිළිබඳ ය. ඒ මෝටර් රථයට රියදුරෙක් අවශ්‍ය නැත. බොහෝ කාරණා සම්බන්ධව තනිවම සිතා තීරණ ගත හැකි ය. කතා කළ හැකිය. ඉතා පැහැදිලි ලෙස මිනිසුන් සමග අදහස් හුවමාරු කර ගනී. නො දන්නා කාරණයක් නැත. ඒ කතා මාලාව ගුවන් ගත වූ කාලය වන විට එය අරුම පුදුම සහගත මෝටර් රථයක් ලෙස අප දුටු බව සැබෑ මුත් තවදුරටත් ඒවා අරුමයක් නොවේ. ඒ මේ වන විට එවැනි මෝටර් රථ නිෂ්පාදනය වෙමින් පවතින බැවිනි. මේ අපූරු මෝටර් රථය පසුපස ඇති තාක්ෂණය අන් කිසිවක් නොව මේ දිනවල අතිශය ජනප්‍රිය මාතෘකාවක් බවට පත් ව ඇති ‘කෘත්‍රිම බුද්ධිය’ (AI – Artificial Intellegence) යි. කෘත්‍රිම බුද්ධිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ බුද්ධිමත් ජීවියකුට පමණක් සිදු කළ හැකි කාර්යයන් කිරීම සඳහා ඩිජිටල් පරිගණක මගින් කෘත්‍රිම වශයෙන් නිර්මාණය කර ගන්නා ලද උපක්‍රමයකි. මේ කෘත්‍රිම බුද්ධියට තර්කනය, අර්ථකතන ලබා දීම, පැරණි අත්දැකීම්වලින් ඉගෙන ගැනීම කාර්යයන් සිදු කළ හැකි ය. මේ තාක්ෂණය යාන්ත්‍රික මිනිසකුට හෙවත් රොබෝවකට සම්බන්ධ කළ විට මිනිසා විසින් කරනු ලබන කාර්යයන් බොහොමයක් ඉතා පහසුවෙන් මෙන්ම වේගයෙන් සිදු කර ගත හැකි ය. මේ වන විටත් මහා පරිමාණ කර්මාන්ත සඳහා මේ තාක්ෂණය යොදා ගනු ලබයි. කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ගත් මානව සමරූපී ආකෘති මගින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ද මේ වන විට බොහෝ රටවල් සිදු වෙමින් පවතින බව ඔබ දැක තිබෙනවා විය හැකිය. මේ අනුව බලන විට කෘත්‍රිම බුද්ධිය අපගේ අනාගතය වඩාත් පහසු දායක කරන්නට ඉවහල් වෙමින් පවතින බව පෙනේ.
රියදුරන් නොමැති වාහන මේ වන විට නිෂ්පාදනය කොට අවසන් අතර බහුල වශයෙන් නොවුනත් යම් මට්ටමකින් ඉතා සාර්ථක ලෙස ලෝකයේ ඇතැම් රටවල මේවා භාවිතයේ පවතී. රියදුරකුගේ කාර්යභාරය වසර ගණනාවක් තිස්සේ අධ්‍යයනය කොට නිර්මාණය කර ගත් පරිගණක වැඩසටහන් ඔස්සේ රියදුරන් නොමැති වාහන නිපදවා තිබේ. සැබවින්ම මේවා රියදුරන් සිටින වාහනවලට වඩා ආරක්ෂාව අතින් පියවර කිහිපයක් ම ඉදිරියෙන් පවතී. එමෙන්ම දැනට වෙළෙඳ පළේ මිලට ගන්නට ඇති රථවාහනවල ද කෘත්‍රිම බුද්ධිය යම් යම් ප්‍රමාණවලින් භාවිත වන බව පෙනේ. මෙවැනි මෝටර් රථයක් කිසිදා නොසැලකිලිමත් රිය ධාවනයක යෙදෙන්නේ නැත.
අධ්‍යාපන ක්ෂේත්‍රය ගතහොත් මේ වන විට ද අප කෘත්‍රිම බුද්ධිය පරිහරණය කරන්නන් බවට පත් ව සිටින්නෙමු. ඔබ අන්තර්ජාලය ඔස්සේ භාවිත කරන ගූග්ල්, යාහූ වැනි සෙවුම් යන්ත්‍ර (Search Engines) කෘත්‍රිම බුද්ධියේ ප්‍රතිඵලයකි. මේවා පසුපස පවතින තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය වේ. චැට් ජීපීටී (ChatGPT) වැනි තාක්ෂණයන් දෙස බලන්න. මේවා මේ වන විට අධ්‍යාපන කටයුතු සඳහා මහා පරිමාණයෙන් සහාය වෙයි. ලෝකයේ දියුණු රටවල් පන්ති කාමර සඳහා ද කෘත්‍රිම බුද්ධිය යොදාගනු ලබන අතර උගන්වමින් සිටින ගුරුවරයාට යම් පාඩමක් යම් කොටසක් මග හැරුණ හොත් ඒ බව මතක් කර දෙන්නට තරම් මේවා බුද්ධිමත් ය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද කෘත්‍රිම බුද්ධිය බහුල වශයෙන් භාවිතයට ගැනේ. කොරෝනා වසංගතය දැඩිව පැවති සමයේ රෝගීන්ගේ වැඩකටයුතු සඳහා ප්‍රාථමික මට්ටමේ රෝබෝ යන්ත්‍ර අප රටේ පවා නිපදවා තිබෙනු ඔබ දකින්නට ඇත. මේවා හා සමානවම අතිශය සියුම් කාර්යයන් කළ කෘත්‍රිම බුද්ධිය සහිත යාන්ත්‍රික මිනිසුන් ලෝකයේ දියුණු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භාවිතයට ගැනේ.
ඔබට ‘රොබෝකොප්’ චිත්‍රපටය මතකයේ ඇතිවාට සැක නැත. එයින් කියවෙන්නේ රොබෝ පොලිස් නිලධාරියකු පිළිබඳ කතාවකි. මේ සංකල්පය තවදුරටත් හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක් ම නොවේ. මේ වන විට අත්හදා බැලීමේ මට්ටමේ ඇති රොබෝ පොලිස් සහ හමුදා සෙබළුන් නිර්මාණය කොට තිබේ. දුෂ්කර භූගෝලීය පිහිටීමක් ඇති ප්‍රදේශවල හමුදාවන් සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන්නට සතුන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් අනුකරණය කළ හැකි රෝබෝවරු නිපදවා තිබේ.
මේ අනුව බලන විට කෘත්‍රිම බුද්ධිය මිනිසුන්ගේ ජීවිත සැපවත් කරන්නට මහත් මෙහෙයක් ඉටු කරන්නට සැදී පැහැදී සිටින බව පෙනෙන්ට තිබේ. කෙසේ නමුත් ඕනෑම තාක්ෂණයක වාසි මෙන්ම අවාසි ද තිබේ. එය කෘත්‍රිම බුද්ධියට කියා වෙනසක් නැත. කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් සිදුවන සංවාද සේම එය නිසා මානව සංහතියට සිදුවන්නට නියමිත අගතිය පිළිබඳ සංවාදයන් ද දැන් මතුවෙමින් පවතී. මේවා අපට සිතාගත නොහැකි දරුණු ව්‍යසනකාරී කාරණා ද තිබේ. ඒවා අපට මෙසේ පෙළගැස්විය හැකි ය.
පක්ෂපාතී කෘත්‍රිම බුද්ධිය
මිනිසා හා සමානවම සිතා මතා තර්කානුකූලව තීරණ තැනීමේ හැකියාව කෘත්‍රිම බුද්ධයට තිබුණ ද මේ තුළ අපට නොපෙනෙන ව්‍යසනකාරී තත්ත්වයක් ද ගැබ් වී තිබේ. කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක කරන පරිගණක වැඩසටහන් හෙවත් ඇල්ගොරිදමයන් (Algorithm) ලියනු ලබන්නේ මිනිසුන් විසිනි. එනම් කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක විය යුත්තේ කුමනාකාරයෙන් ද යන්න තීරණය වන උපදෙස් සහිත වැඩසටහන් ගොඩනැගීම ය. යම් පුද්ගලයකු විසින් සර්ව සාධාරණ බවක් නොමැතිව, කුමක් හෝ කාරණයක් කෙරෙහි පක්ෂපාතී වන අන්දමින් මේ වැඩසටහන් ලියනු ලැබුවහොත් එයින් සිදු වන්නේ මහත් විනාශයකි. මෙය මයික්‍රොසොෆ්ට් සමාගමේ ට්විටර් චැට්බොට් සම්බන්ධව සිදු විය. මේ සඳහා ඇල්ගොරිතමය සකස් කොට තිබුණේ ජාතිවාදී ස්වරූපයකින් බවට චෝදනා එල්ල විය. යම් හෙයකින් කෘත්‍රිම බුද්ධිය සහිත පොලිස් නිලධාරියකුට ලබාදෙන උපදෙස් තුළට විනාශකාරී යමක් ඇතුළු කළහොත් ඇතිවෙන්නේ වෙනස්ම තත්ත්වයකි.
ඇතැම් රැකියා අහිමි වීම
කෘත්‍රිම බුද්ධිය නිසා ඇතැම් රැකියාවන් නිර්මාණය වුව ද, මිනිසුන් විසින් මෙතෙක් කරගෙන ආ කාර්යයන් කෘත්‍රිම බුද්ධිය අතට පත් වීම නිසා ඒ රැකියා අහිමි වී යාමේ අවදානමක් තිබෙන බැව් පෙන්වා දෙයි. තවත් පිරිසක් පවසන්නේ ඒ අහිමි වන රැකියාව ප්‍රමාණයට සමානව ම කෘත්‍රිම බුද්ධිය නිසා නව රැකියාවන් බිහිකර ගත හැකි බව ය. අතීතයේ මෝටර් රථ එකලස් කිරීම සඳහා මිනිසුන් සිටි ද වර්තමානයේ එය කෙරෙන්නේ රොබෝ තාක්ෂණයෙනි. බොහෝ කර්මාන්ත ශාලාව ද එය සිදුවෙයි. රියදුරන්ගේ කාර්යභාරය ද කෘත්‍රිම බුද්ධිය විසින් අත්පත් කර ගත් පසු ‘රියදුරු’ යනුවෙන් රැකියාවක් තවදුරටත් නොපවතිනු ඇත. මේ නිසා අනාගත ශ්‍රම බලකාය කුමන ස්වභාවයකින් යුක්ත වේ ද යන්න මේ මොහොතේ සිටම පුරෝකථනය කොට එයට ගැළපෙන අධ්‍යාපන රටාවක් සහ පුහුණු ක්‍රමවේද නිර්මාණය කර ගත යුතු ය. අප රටේ වැනි යල්පැන ගිය, සාම්ප්‍රදායික, ප්‍රායෝගික නොවන අධ්‍යාපන රටාවක් තවදුරටත් අනුගමනය කළ හොත් කෘත්‍රිම බුද්ධිය හමුවේ මහත් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකි ය.
‘හැක් කිරීමේ’ තර්ජනය
පරිගණක මෘදුකාංග නිර්මාණය කිරීමේ දී කෙතරම් ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කළ ද ඒවා තුළට රිංගා සිදුකරන විනාශකාරී ක්‍රියාවන් හෙවත් ‘හැක් කිරීම්’ (Hacking) වල අඩුවක් නැත. තාක්ෂණය සමග හැක් කිරීමේ ක්‍රමවේදයන් ද ඒ සමාන වේගයකින් වර්ධනය වෙයි. රියදුරෙක් නොමැති මෝටර් රථයක පරිගණක පද්ධතිය මෙවැනි හැක් කිරීමකට ලක් කළ හොත් එය විනාශකාරී ප්‍රතිඵලයක් දක්වා ඉදිරියට ගමන් නොකරනු ඇතැයි සිතිය නොහැකි ය. රොබෝ පොලිස් නිලධාරියකුගේ කෘත්‍රිම බුද්ධිය වෙනස් කොට මිනිස් ඝාතන සඳහා පක්ෂපාතී වන අන්දමට වෙනස් කරන්නට බැරි කමක් නැත. අප සිතනවාට වඩා මේවා පසුපස ඇති ආරක්ෂණ ක්‍රමවේදයන් සූක්ෂ්ම විය හැකි නමුත් මෙවැනි දේවල් සිදුවීමේ අවදානමක් නැතැයි කිව නොහැකි ය.
කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු ත්‍රස්තවාදය
කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරන්නේ මිනිසුන් ය. ත්‍රස්තවාදීන් බවට පත්වන්නේ ද මිනිසුන් ය. එවැනි මිනිසුන් අතින් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ගැළපෙන කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කරන්නට ඕනෑ තරම් ඉඩකඩක් තිබේ. එසේ වුවහොත් එය අතිශය විනාශකාරී ය. අවසන් ප්‍රතිඵලය පිළිබඳ අපට සිතාගත නොහැකි ය. ඩ්‍රෝන සේනාවක් මගින් යම්කිසි නගරයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමක් සිදුවිය හැකි ය. යම්කිසි වෛරස් ප්‍රහාරයක් එල්ල විය හැකි ය. කෘත්‍රිම බුද්ධියේ පාලනට ලෝකය නතු කරන්නට පෙර මේවා සිතිය යුතු ය. කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කළ මිනිසා එහිම ගොදුරක් නොවී අනාගත ලෝකය ජීවත් වන්නට වඩාත් හිතකාමී වටපිටාවක් කරා ගමන් කරවිය හැක්කේ එවිට පමණි.
නිරංජන් චාමින්ද කරුණාතිලක