මිනිසා මනසින් කොතරම් උසස් වුවද ඇතැම් අවස්ථාවලදී මිනිසුන් පරයන උසස් ගති ලක්ෂණ තිරිසන් සතුන් තුළින් විද්‍යමාන වේ. මේ අතරින් සුනඛයන්, අලි ඇතුන් වැනි සතුන් ප්‍රධාන ය.
එවැනි උතුම් සුනඛයකු පිළිබඳව මේ කතාව අපට දැනගන්නට ලැබුණේ උපේක්ෂා නම් යුවතියක වෙතිනි. උපේක්ෂාව අපට මුණ ගැස්වූයේ අනුරාධපුර සුනඛ මිතුරු සංසදයයි . මෙම සංසදය වෛද්‍යවරුන්, නීතිඥවරුන් වැනි සිවිල් සමාජයේ වගකිව යුතු පුරවැසියන් රැසක් සාමාජිකත්වය දරන අසරණ සතුන්ගේ හිමිකම් සම්බන්ධ ක්‍රියාකාරී සංවිධානයක් වේ.ප්‍රකට නීතිඥ වරයකු වන හේරත් බණ්ඩා රත්නායක මහතා එහි සභාපති වරයා ය.
උපේක්ෂා ගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ගොඩ මඩ ඉඩම් විශාල ප්‍රමාණයකට උරුමකම් කී ඔහුගේ එම වත්කම් අතරට වයඹ පළාතේ අක්කර ගණනාවක පොල් වත්තක් ද අයත් විය.
මෙම වත්ත බලා ගැනීම සඳහා මුර පවුලක් ද එහි රැඳී සිටියේය.
උපේක්ෂාට සිටියේ එක් සහෝදරියක් පමණි. ඇගේ පියා සතියකට වතාවක් දෙකක් මෙම පොල් වත්තට යන අතරේ ඔහු සමග මාසයකට දෙකකට වතාවක්වත් උපේක්ෂා මෙන්ම ඇගේ සොයුරිය සහ මවත් මේ පොල්වත්තට යාමට අමතක කළේ නැත. ඔවුනට ටොමියා හමුවූයේ එසේ ගිය අතරතුරදී ය.
ටොමියා එම වත්තට අහඹු ලෙස පැමිණි සුනඛයෙකි. මුරකරුවාගේ බිරිඳ තමන් කාබී ඉතිරි වූ දෙයක් මේ සුනඛයාට කුස පුරවා ගැනීම සඳහා දීම හේතුවෙන් අවසානයේ එම සුනඛයා එහිම පදිංචි වී වත්තේ සාමාජිකයකු බවට පත්වූයේ ඉබේම වාගේ ය. නමක් ගමක් නොදත් මේ අහිංසකයා ටොමියා යන නම ලැබුවේ මුරකරුගේ බිරිඳ වෙතිනි.
මුරකරුවා මෙන් වැටුප් නොලැබුවද,ටොමියා තමන්ගේ රාජකාරිය මුරකරුටත් වඩා ඉහළින් ඉටු කළේය. වත්තේ වැඩ කරන සේවකයන් කිහිප දෙනාට මිස අන් කිසිදු පිටස්තරයකුට වත්තට ඇතුළුවීමට ටොමියාගෙන් අවසර නොලැබිණි. තමන්ගේ රාජකාරිය තමන්ටත් වඩා ඉහළින් ඉටුකරන කීකරු සගයකු ලෙස මුරකරුට ටොමියාගෙන් ලැබී තිබුණේ මහත් සහයෝගයකි.
සතියකට දිනක් දෙකක් වත්තේ වැඩ කටයුතු සොයා බැලීමට යන උපේක්ෂා ගේ පියාව මෙන්ම මසකට දෙකකට වරක් එහි ගොස් ඒ මේ අත නිදහසේ ඇවිදීම ප්‍රිය කළ උපේක්ෂා සහ ඇගේ මවත් , සහෝදරියවත් ටොමියා පිළි ගෙන තිබුණේ පුදුමාකාර සතුටකිනි. තමා වෙනුවෙන් අමුතුවෙන් යමක් නොගෙනාවත් තම නළලට තට්ටු කර වචනයක් දෙකක් ආදරයෙන් කතා කරන මේ දෙසොහොයුරියන්ගේ එම ලෙන්ගතුකම ටොමියාට මහමෙරක් තරම් වන්නට ඇත.
මෙසේ මඳ කාලයක් ගත විය. ටොමියාද තමන් විසින් ස්වේච්ඡාවෙන් භාර ගෙන සිටි වත්තේ මුර රාජකාරිය අකුරටම ඉටු කරමින් සිටියේය. මත්පැනට ඇබ්බැහි වී සිටි මුරකරු හැන්දෑවට ඇඟ ටිකක් රත්කරගෙන බිරිඳ සමග දබර කිරීම එම පවුලේ සාමාන්‍ය දින චරියාවට අයත් අංගයක් විය.
මෙසේ දබරය නොසිතූ ලෙස දුරදිග ගිය එක් දිනෙක මුරකරු වත්ත ද හැර දමා කොහේදෝ යන්නට ගොස් තිබිණි . ටික දවසක් සැමියා නැවත එන තුරු බලා සිටි බිරිඳ, ඔහු ගේ යළි පැමිණීමක් සිදු නොවූයෙන් දරුවා ද කැටිව තම මහගෙදර බලා ගියේ ටොමියා වත්තේ එලෙසම සිටියදීය. මුරකරු තම රාජකාරිය අත හැර දමා ගියද , කිසිදු වැටුපක් නොලබා ස්වේච්ඡාවෙන් සිය කැමැත්තෙන් කරන රාජකාරිය, දේව කාරියකට වඩා උසස් ලෙස සැලකූ ටොමියා වත්තෙන් බැහැර යාමට කැමැත්තක් පළ නොකර තිබිණි .
කිසිදු මුරකරුවකු නැතිව වුවද ටොමියා තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරමින් සිටියේය. නමුත් මුරකරුවකු ගේ අවශ්‍යතාවය උපේක්ෂාගේ පියාට තදින් දැනී තිබිණි. ඒ අනුව එවර පොල්වත්තට පැමිණ තිබුණේ මුර පවුලක් නොව තනි පුද්ගලයෙකි.
නමුත් ඔහු පැමිණි දා සිටම ටොමියා සහ ඔහු අතර කිසිදු ඇයි හොඳයියක් ඇති වූයේ නැත.
තමන්ගේ වත්තට පැමිණි පිටස්තරයෙකු ලෙස මුරකරුවා පිළිබඳව සැලකූ ටොමියා නිතරම ඔහු ට බුරන්නටත් ගොර වන්නටත් පටන් ගත්තේය. දිනක් ටොමියා තමාව සපා කෑ බවට උපේක්ෂා ගේ පියාට පැමිණිලි කළ මුරකරු, ටොමියා මරා දමන බව කීවේ දැඩි කෝපයකිනි.
නමුත් තමාට බෙහෙවින් ඇඟෑලුම්කම් පාන මේ අහිංසක සුනඛයා ට එවැනි ඉරණමක් අත් වනු දකින්නට උපේක්ෂා ගේ පවුලේ කිසිවකු කැමැති වූයේ නැත. මේ නිසා ටොමියාව ගෙදරට ගෙන එමු යැයි උපේක්ෂාත් ඇගේ සොයුරියත් කොතෙක් ඇවිටිලි කළද පියා ඊට එකඟ නොවුණි. අවසානයේ පියාගේ අදහස වූයේ රුවන්වැලි සෑය අසල වාහන අංගනය වෙත ටොමියා ගෙනගොස් ඇරලවීමය. එහි බොහෝ සෙයින් සුනඛයන් සිටින අතර ඔවුනට කෑම බීම වලින් ද හිඟයක් නොවිණි.
ඒ අනුව ටොමියා එහි නිරුපද්‍රිතව කල්ගත කරනු ඇතැයි උපේක්ෂා ගේ පියා කල්පනා කළේය. අකමැත්තෙන් වුවත් ඊට එකඟ වන්නට උපේක්ෂාටත් ඇගේ සොයුරියට සහ මවටත් සිදුවී තිබිණි.
ඒ අනුව එක්තරා දිනයක ටොමියාව රැගෙන ගොස් අනුරාධපුර රුවන්වැලි සෑය අද්දර වාහන අංගනයෙහි අතහැර දමා ආවේ උපේක්ෂා සහ සොයුරිය හඬද්දී ම ය.
උපේක්ෂා ගේ පියාගේ ඇස් පෑදෙන්නට තවත් ටික කලක් ගත විය. එම මුරකාරයා වත්තේ තිබූ පොල් පමණක් නොව අනෙකුත් සියලු ඵලදාවත් උපේක්ෂා ගේ පියාට නොදැනෙන සේ හොරෙන් විකුණා තිබිණි. නමුත් ඒවා මිලදී ගන්නට පැමිණෙන කිසිවකුටවත් වත්තට ඇතුළු වන්නට ටොමියා ඉඩ දුන්නේ නැත. තමන්ගේ හොර මැරකම් වලට ටොමියාගෙන් ඉඩක් නොලැබෙන නිසා මුරකරුට අවශ්‍ය වූයේ ටොමියා එම වත්තෙන් ඉවත් කිරීමට ය.
නමුත් මරා දැමීමෙන් මිස ඌ එම වත්තෙන් ඉවත් කළ නොහැකි බව දැනගත් මුරකාරයා ඒ සඳහා පිඹුරුපත් සකසමින් සිටියේය. ඒ අනුව ඔහු මුලින්ම කළේ තමන්ගේ පාදය තමන් විසින්ම තුවාල කරගෙන ටොමියා තමාව සපා කෑ බව උපේක්ෂා ගේ පියාට දැන්වීමයි. මේ ආකාරයට ඉතා සූක්ෂම ලෙස උපේක්ෂාගේ පියාව නම්මවාගෙන ටොමියා වත්තෙන් පිටමං කිරීමට මුරකාරයා සමත් විය. අවසානයේ සිදු වුයේ ටොමියා අතරමං වීමත්, වත්තේ තිබූ බොහෝ දෑ මුරකරු සොරකම් කිරීම නිසා උපේක්ෂා ගේ පියාට වත්තේ ආදායමෙන් සෑහෙන කොටසක් අහිමි වී යාමත්ය.
සියල්ල හොඳින් අවබෝධ කරගත් පසු උපේක්ෂා ගේ පියා නැවත ටොමියා කැඳවාගෙන එන්නට තීරණය කළේය. ඒ අනුව දිනක් ඔහු තම සේවකයකුද සමග අනුරාධපුර බලා පිටත් විය. ඉතාමත් අනපේක්ෂිත ලෙස එහිදී ඔහු තදබල ලෙස රෝගාතුර වූයෙන් ටොමී ගැන සෙවීම පැත්තක තබා ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරිණි.
අසනීපයට හේතුව මොළයේ නහරයක් පුපුරා යාමයි. කෙසේ හෝ ඔහුගේ ජීවිතය බේරී තිබුණත් අංශභාග රෝගය වැළඳීම නිසා සිරුරේ එක් පැත්තක් අප්‍රාණිකව ගොස් තිබූ අතර කතා කළේද ඉතා අසීරුවෙන් මුඛයේ පැත්තකිනි. ඒ දින කිහිපයේ පියාව බලන්නට උපේක්ෂා මෙන් ම ඇගේ සොයුරිය සහ මවත් රෝහලට නිතර නිතර ගියත් පියාගේ රෝගී තත්ත්වය හමුවේ ටොමියා පිළිබඳව සොයා බැලීමට ඔවුන්ට කල්පනාවක් ඇති වූයේ නැත.
සුව වී නිවසට පැමිණි පියා පැවසූ කතාවකින් ටොමියා පිළිබඳව ඔවුන්ගේ මතකය නැවත අලුත් විය.
උපේක්ෂා ගේ පියා ටොමියා බලන්නට ගිය දිනයේ රුවන්වැලිසෑය අවට සෝදිසි කරන විට කොහේදෝ හිඳ පැමිණි ටොමියා පියාගේ පාදයක් ලෙව කා ඇත.
ඒ වන විට ටොමියා බොහෝ දිරා ගොස් හඳුනා ගන්නටත් බැරි තරමටම විරූපීව සිටි බව පියා පවසා තිබෙන්නේ දරාගත නොහැකි වේදනාවකින් සහ පසුතැවිල්ලකිනි. පියා ටොමියාට කතා කරන්නට උත්සාහ කරන විටම එකවරම ඔහුගේ හිසේ හට ගත් දැඩි වේදනාව සමගම ඔහු අසාධ්‍ය තත්ත්වයට පත්විය. ඉන්පසු ටොමී පිළිබඳ අවධානය පසෙක තබා උපේක්ෂාගේ පියාව රෝහල්ගත කිරීමට ඔහු සමග ගිය අනෙක් තැනැත්තාට සිදුවිය. මේ හේතුවෙන් ඔවුනට ටොමීව මඟ හැරිණි.
නමුත් ඉන්පසු උපේක්ෂා සහ ඇගේ මවත් නැගණියත් කිහිප වතාවක්ම අනුරාධපුර රුවන්වැලිසෑය අවට සොයා බැලුවත් ටොමී ගැන දන්නා කියන කිසිවකුවත් සිටියේ නැත.
කෙසේ හෝ ටොමීව සොයාගෙන ආපසු නිවසට රැගෙන ඒම ඔවුන් සියලු දෙනාගේම එකම අපේක්ෂාව විය. නමුත් ටොමියා සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔවුහු මේ පුවත අනුරාධපුර සුනඛ මිතුරු සංසදයට දන්වා උපකාරයක් පැතූහ. එම සංසදයද ටොමියා සොයා ගැනීම උදෙසා මහත් වෙහෙසක් දරන ලද මුත් ඒ කිසිවෙකුටවත් ටොමියා හමුවී තිබුණේ නැත .
ඉන්දු පෙරේරා