මිනිසුන්ට යොදන අපහාස නමකින් හඳුන්වන මේ දෙවියා කවුද?

මිනිසකු හට දේව නාමයකින් හැඳින්වීම ඔහුට දක්වන ගෞරවයක් බුහුමනක් බව අමුතුවෙන් කිව යුතු නැත.එහෙත්,අප සමාජයේ මිනිසුන්ට අපහාස පිණිස දේව නාම වලින් හැඳින්වෙන අවස්ථා ද තිබේ.මේ ඒ සම්බන්ධයෙන් ම`විසින් ගොනු කර ගත් රසවත් තොරතුරු බිඳකි.

අප රටේ අදහනු ලබන ප්‍රධාන දේවතා ගණයට අයත් නොවුණ ද ‘කම්බිලි’ යනු යක්ෂ සම්භවයකට අයත් දෙවිවරුන් තුන් කට්ටුවකි. මොවුන් පණ්ඩුකාභය රජු දවස ඇදහීම්වලට ලක් වූ චේතිය නම් යක්ෂණියකගේ පුතුන් තිදෙනා ලෙස ද හඳුන්වනු ලැබේ. කළු කම්බිලි, සැඩ කම්බිලි සහ රත්න කම්බිලි යන දෙවිවරුන් සම්බන්ධයෙන් මම විශේෂ විමසුමක් සිදුකොට ඇත්තෙමි.

ඇතැම් ජන කතාවලට අනුව මෙම කම්බිලි තුන් කට්ටුව පණ්ඩුකාභය රජු දවස විසූ චේතිය යක්ෂණියගේ පුතුන් ලෙස හඳුන්වා තිබුණ ද රත්න කම්බිලි යනු ඉන්දියාවේ සිට ගල් නැවකින් ලංකාවට පැමිණියකු ලෙස ද ඇතැම් තැනක සඳහන් වෙයි.

මෙම කම්බිලි තුන් කට්ටුව අතුරින් රත්න කම්බිලි දෙවියන්ට ඒ නම ලැබී ඇත්තේ රතු පැහැති කම්බිලියක් හෙවත් සාටකයක් පොරවා හිඳින නිසා බව කියනු ලැබේ. එමෙන්ම තමන් කෙරෙහි ගෞරවාදරයෙන් යුතුව පුද පිළිවෙත් කරන්නවුන් හට පිහිටාධාර සලසන කම්බිලි දෙවියන් තමන්ට එරෙහි වන්නවුන්ගෙන් ‘එළව එළවා පළි ගැනීමට’ නොපසුබට වන්නකු බව ද පැවසෙයි.

ඒ නිසාම විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී ප්‍රධාන පෙළේ දෙවිවරුන් කෙරෙහි මෙන් සුවිශේෂ ගෞරවාදරයක් නොදක්වන ගැමියන් කම්බිලි දෙවියන් සම්බන්ධයෙන් පළ කරනුයේ ගෞරවාදරයකට වඩා භීතියක් බව ද පෙනෙන්නට තිබේ. එනිසාම අදටත් හත් කෝරලය, වන්නි හත්පත්තුව ආදී ප්‍රදේශවල ගැමියෝ කම්බිලි දෙවියන් හැඳින්වීම පිණිස ‘කම්බිලි උන්නැහේ’ යන නම ද යොදති. කම්බිලි දෙවියන් හා ඍජුවම සබැඳුණු දේව නාමය වනුයේ කඩවර යන්නය.

යක්ෂ සම්භවයක් සහිත කඩවර දෙවියන් ද ජනතාවට පිහිට වීමට වඩා සතුරන්ගෙන් පළි ගැනීමට සමත්කම් දක්වන්නකු බව පෙනෙයි. එනිසාම වත්මන් සමාජයේ වුව කුප්‍රකට පුද්ගලයන් දෙදෙනකු එක්ව ගමන් කරනු දකින සෙසු ගැමියන් ‘කොහෙද මේ දෙන්නා? කඩවරයයි කම්බිලියයි වගේ’ යනුවෙන් ඇසී‍මේ සිරිතක් අදත් පවතී.

එමෙන්ම යමකු අසීමාන්තික ලෙස කෝප ගැන්වී සිටින අවස්ථාවක එය උපහාසයට ලක් කරනු පිණිස”මොකද බොල; තෝ මේ කම්බිලියා ආවේස වෙලා වගේ?”යනුවෙන් ඇසීමේ පුරුද්දක් වන්නි හත් පත්තුවේ ගැමියන් තුළ තිබේ.නමුත් එය කම්බිලි දෙවියන්ට කරන අපහාසයක් සේ ඔවුහු නොසිතති.

මන්ත්‍ර, ගුරුකම් සඳහා අප රටේ සුවිශේෂ ප්‍රසිද්ධියක් ඉසිලූ කොණ්ඩදෙණියේ සීලරතන නමින් ප්‍රකටව සිටි කඩම්බාවේ සීලරතන හිමියන්ගේ වතගොත සෙවීම පිණිස මම මීට වසර කීපයකට ඉහත උන්වහන්සේ වැඩ සිටි යාපහුව කොණ්ඩදෙණිය රජමහා විහාරයට ගියෙමි. එහි දී උන්වහන්සේගේ ශිෂ්‍ය යතිවරයාණන් වහන්සේ නමක වන එම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ හිමිපාණෝ මට සුවිශේෂ අනුග්‍රහයක් දැක්වූහ.

නමුදු එම විහාරස්ථානයට තරමක් නොදුරින් ‘කඳුබඩගම’ නම් ගම්වරයක් තිබෙන බව දැන ගැනීමෙන් පසු මගේ සිතට මහත් විමතියක් පිවිසුණි. ඊට හේතුව කම්බිලි දෙවියන් හා මුහුණට මුහුණ ගැටුණු ‘කඳබඩගම මහ වෙදා’ නම් මහා බල සම්පන්න මන්ත්‍රකරුගේ කතාව මට එසැණින් සිහිපත් වීම ය.

ඇහැටුවැව, දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රාජ මහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වූ පූජ්‍ය පොතානේගම ධීරානන්ද නාහිමියන් විසින් අසා දැනගත් බව පවසමින් පසුව ඒ කඳුබඩගම මහ වෙදාගේ රසවත් කතා ප්‍රවෘත්තිය මා වෙත හෙළි කරන ලද්දේ පසු කලෙක එහි විහාරාධිපතිව වැඩ විසූ ගල්ගමුව යූ.බී. වන්නිනායක ජාතික පාසලේ හිටපු විදුහල්පති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන් විසිනි.

කම්බිලි දෙවියන් හා මුහුණට මුහුණ ගැටීමට තරම් ප්‍රබල යන්ත්‍ර මන්ත්‍ර හැකියාවක් තිබූ බව පැවසේන එම කඳුබඩගම මහ වෙදා සම්බන්ධයෙන් දැනට මහා බ්‍රිතාන්‍ය රාජකීය පුස්තකාලයේ සංරක්ෂණය කෙරෙන හියු නෙවිල් කාව්‍ය සමුච්චයේ ‘කම්බිලි දෙවියන්ගේ කවි’ වල ද සඳහන්ව තිබේ. එබැවින්, මෙතෙක් අප්‍රකටව පවතින ඒ කම්බිලි දෙවියන් හා සටන් වැදුණු විස්මිත මිනිසාගේ කතාව සුල මුල සහිතවම අනාවරණය කරගත යුතු යැයි මම ඒ වන විට ද සිතා සිටියෙමි.

එහෙත්, මට පසුව දැනගත හැකි වූයේ ඒ කඳුබඩගම මහ වෙදා ජීවත් වූ ගම්වරය යාපහුව කඳුබඩගම නොවන බවත් එය කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් සාලියගම හරහා වැටී ඇති ගල්ගමුව, මොරගොල්ලාගම මාර්ගයට යාබදව පිහිටි වෙනම ගම් පියසක් බවත් ය.

ඒ අනුව ඊට පසු කලෙක එහි ගිය මම අද වන විට මුළුමනින්ම පාහේ යටපත්ව ඇති කම්බිලි දෙවියන් හා මුහුණට මුහුණ සටන් වැදුණු කඳුබඩගම මහ වෙදාගේ වෘත්තාන්තය ඒ එක් එක් සිද්ධිය හා සබැඳුණු ස්ථාන නාම ද සමග අනාවරණය කර ගතිමි.සැබැවින්ම එය අද්භූත රසයෙන් පිරි සිනමා තිර නාටකයකට සුදුසු වෘත්තාන්තයකි.

බාහිර පෙනුමින් පවා නපුරු කෘෘරතර බවක් පළ කරන රත්න කම්බිලි සමාජයේ සෑම ජන කොටසකම ගෞරව බහුමානයට ලක් වන දෙවි කෙනෙක් නොවේ. මා කළ ගවේෂණවලට අනුව මෙම කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන්නි හත්පත්තුවේ ඇතැම් ගම්මානවල ව්‍යාප්ත වී ඇති මෙම රත්න කම්බිලි ඇදහීම එම ගම්මුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය හා ඍජුවම බැඳී පවතී.

කුරුණෑගල දිස්ත්‍රික්කයට හා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිනෝගම අතීතයේ සිට එවන් රත්න කම්බිලි ඇදහීම ප්‍රකටව තිබූ ගම්වරයකි. ඇහැටුවැව, දිවුල්ගනේ විසූ එච්.එම්. ගුණතිලක මහතා කී අන්දමට රත්න කම්බිලි දෙවියන් අරක් ගත් ගම්මානවලට එතුමන්ගේ සර්වාධිකාරී බලයට යටත් වීමට සේම එහි ගැමියන්ට සර්වාකාර ආරක්ෂාව නොඅඩුව අත් විඳීමට ද සිදු වෙයි.

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා තම ගම් උදා වැඩසටහනකට සමගාමීව මෙම රත්න කම්බිලි දෙවොල ප්‍රතිසංස්කරණය කළ අතර එලෙස දෙවොලේ පැරණි ස්වරූපය වෙනස් කිරීමට පෙර එතුමන්ගෙන් ඊට අවසර ගත යුතු වුව ද ඒ අවස්ථාවේ එවැන්නක් සිදු නොවූ බවත් එබැවින් ඊට පසු කාලීනව එම ගම් ප්‍රදේශයට ස්වභාවික ආපදා වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූ බවත් එම ප්‍රදේශයේ කතා පැතිර තිබිණ.

එහෙත්, ඒවායේ සත්‍යතාව පිළිබඳ සහතික වීමට මට නොපුළුවන. ඒ කෙසේ වුව රත්න කම්බිලි යනු දෙවියන් අතර හිඳින යක්ෂ ගෝත්‍රික චණ්ඩියකු බව නම් ඒ සම්බන්ධයෙන් කළ සෑම හැදෑරීමකින්ම පසක් කර ගැනීමට මට අවකාශ ලැබිණ.

තිලක් සේනාසිංහ

 

උරුමයක අසිරිය