ඇමරිකාව යළිත් වරක් මිනිසුන් සඳ වෙත යැවීමට සූදානම් වෙයි. මීට අදාළ ඉතා වැදගත් සිදුවීමක් පසුගිය 16 වැනි දින සිදු විය. එනම් ඇමරිකාවේ අභ්‍යවකාශ කටයුතු පිලිබඳ ආයතනය වන නාසා ආයතනය ආටෙමිස්- 1 නැමැති අභ්‍යවකාශ චාරිකාවක් දියත් කිරීමයි. එය ඉදිරියේ දී සඳට මිනිසුන් යැවීම ඉලක්ක කර සිදු කළ අත්හදා බැලීමේ චාරිකාවක් ලෙස හැඳින්විය හැකිය.
ඇමරිකානු නාසා ආයතනය පළමු වරට සඳ මත මිනිසකු ගොඩ බැස්සවූයේ 1969 වසරේ ය. සඳ මත පා තැබූ පළමු මිනිසා ලෙස ඉතිහාසයට එක් වූයේ නීල් ඒ. ආම්ස්ට්‍රෝන් නැමැති අජටාකාශගාමියා යි. මෙම ඓතිහාසික සඳ ගමන සිදු වූයේ නාසා ආයතනයේ ඇපලෝ වැඩසටහන හරහා ය. එම වැඩසටහන යටතේ සිදු වූ අවසන් සඳ ගමන වූයේ ඇපලෝ- 17 ය. එම ගමන සිදු වූයේ 1972 වසරේ යි. එයින් පසු ගත වූ වසර 50 ක කාලය තුළ කිසිවකු සඳ මත පා තැබුවේ නැත. ඇමරිකාව නැවතත් මිනිසුන් සඳට යැවීමට සූදානම් වන්නේ 1972 න් පසු පළමු වතාවට ය.
මෙවර මෙම වැඩසටහන ඔවුන් නම් කර ඇත්තේ ආටෙමිස් (Artemis) යනුවෙනි. පසුගිය දා ආටෙමිස්- 1 මෙහෙයුම දියත් කෙරුණේ ඒ යටතේ යි. ආටෙමිස්- 1 චාරිකාවට අමතරව ආටෙමිස්-2 සහ ආටෙමිස්-3 යනුවෙන් තවත් චාරිකා දෙකක් සැලසුම් කර තිබේ. ආටෙමිස්-2 2024 වසරේ ද, ආටෙමිස්-3 2025 වසරේ ද දියත් කිරීමට නියමිත ය. මිනිසුන් සඳ වෙත යැවෙන්නේ ආටෙමිස්- 3 මගිනි.
නොවැම්බර් 16 වැනි දින දියත් කරන ලද ආටෙමිස්-1 අත්හදා බැලීමේ චාරිකාවක් ලෙස හැඳින්විය හැකිය. ඉදිරියේදී සඳ වෙත මිනිසුන් ගෙන යාමට නියමිත යානාවල ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදුවන්නේ ද යන්න මෙහිදී අත්හදා බැලෙනු ඇත. මෙම චාරිකාව දින 26 ක චාරිකාවක් වන අතර මෙයට අජටාකාශගාමීන් කිසිවකු සහභාගි වන්නේ නැත. නමුත් මිනිසුන්ට සමාන ආකෘති තුනක් මෙහි ගමන් කරයි. ඔවුන් හැඳ සිටින්නේ ද සැබෑ අජටාකාශගාමීන් හැඳීමට නියමිත ආකාරයේ ඇඳුම්ම ය. මෙවැනි ගමනක දී සැබෑ අජටාකාශගාමීන්ට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් පිලිබඳ තොරතුරු ඔවුහු ඉහත කී සංවේදක හරහා උකහාගෙන විද්‍යාඥයන් වෙත ලබා දෙති. සැබෑ අජටාකාශගාමීන් ගමන් කරන ඉදිරි චාරිකා වඩාත් හොඳින් සැලසුම් කිරීමට මේ නිසා විද්‍යාඥයන්ට හැකියාව ලැබේ.
ආටෙමිස්-1 මෙහෙයුම හරහා සඳ වෙත යවන්නේ ඔරායන් (Orion) නැමැති යානයකි. එය අභ්‍යවකාශයට විදින ලද්දේ Space Launch System යනුවෙන් හැඳින්වෙන දැවැන්ත රොකට්ටුවක් මගිනි. රොකට්ටුවක් යනු යම් අභ්‍යවකාශ යානයක් අභ්‍යවකාශයට විදීමට උපයෝගි කරගන්නා එන්ජිමක් වැනි කොටසකි. මෙවර භාවිත කළ Space Launch System රොකට්ටුව මීටර 100 ක් පමණ උස දැවැන්ත රොකට්ටුවක් වන අතර නාසා ආයතනය නිපද වූ ජවසම්පන්නම රොකට්ටුව එයයි.
ආටෙමිස්-1 චාරිකාවේ දී ඔරායන් යානය සඳ මත ගොඩ බසින්නේ නැත. එය සඳ වටා ගමන් කර නැවත පෘථිවියට පැමිණේ. යානය නැවත පෘථිවියට සේන්දු වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 11 වැනි දින යි. එහිදී එය ඇමරිකාව ආසන්න පැසිෆික් සාගරයට පතිත වනු ඇත.
2024 වසරේ දියත් කිරීමට නියමිත ආටෙමිස්- 2 චාරිකාවට අජටාකාශගාමීන් සහභාගි කර ගැනේ. නමුත් එය ද සඳ මත ගොඩ බසින්නේ නැත. සඳ වටා ගමන් කර විවිධ අධ්‍යයනයන් සිදු කර නැවත පෘථිවිය වෙත පැමිණේ. අජටාකාශගාමීන් සඳ මත ගොඩ බසින්නේ ආටෙමිස්-3 චාරිකාවේදී ය. අජටාකාශගාමීන් දෙදෙනකු ඊට සහභාගි වනු ඇති අතර සතියක කාලයක් ඔවුන් සඳ මත ගත කරනු ඇත. එතරම් කාලයක් අජටාකාශගාමීන් සඳ මත ගත කරන පළමු අවස්ථාව මෙයයි. ආටෙමිස්-3 චාරිකාව තවත් අතකින් විශේෂත්වයක් ගැනීමට නියමිතය. පළමු වරට කාන්තාවක සඳ මත පා තැබීම මෙහි දී සිදු වනු ඇති බව සඳහන් වේ.
මෙම අජටාකාශගාමීන් ගොඩ බැසීමට නියමිතව ඇත්තේ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට යි.
නිහාල් පීරිස්