මිනිසෙකුට මිනිසකු හඳුනා ගන්නවාට වඩා ඉක්මනින් සුනඛයකුට මිනිසෙකු හඳුනා ගන්න පුළුවන්

ඉන්දියාවේ බැන්ගලෝරය ආශ්‍රිතව ජීවත් වන නිවාස අහිමි සුනඛ ප්‍රජාව මුල් කොට කරන ලද සමාජ පාරිසරික සමීක්ෂණයක දී අනාවරණය වූ අන්දමට මිනිසකුට තවත් මිනිසකු හඳුනා ගැනීමට ගත වන කාලයට වඩා අඩුවෙන් සුනඛයන්ට මිනිසුන්ගේ ඇතැම් ගති ගුණ වටහා ගැනීමේ විස්මිත හැකියාවක් තිබේ.සතුන්ට ප්‍රිය කරන හා අප්‍රිය කරන මිනිසුන් ක්ෂණිකව වෙන් කොට හඳුනා ගැනීමටත් ඒ අනුව ප්‍රතිචාර දැක්වීමටත් ඒ සුනඛයන් සමත් ව තිබේ.නමුත් බෞද්ධ යැයි මහත් උජාරුවෙන් කියා ගන්නා අපේ රටේ සතුන් සම්බන්ධ්යෙන් පළ කරන නොසැලකිලිමත් ස්වභාවය බොහෝ අබෞද්ධ රට වල වත් නොමැති බව කිව යුතුය.

ලෝක ප්‍රකට සත්ව හිමිකම් ක්‍රියාධරයකු වන ඇමරිකාවේ වගකීම් සහගත වෛද්‍ය වෘත්තික කමිටුවේ(Physicians committee for responsible medicine ) නිර්මාතෲ වෛද්‍ය නීල් බර්නාඩ් පවසන අන්දමට සතුන් ඔවුන්ගේ ජීවත් වීම පිළිබඳ මූලික හිමිකම් ඉල්ලා සටන් නොවදිනුයේ ඒ සඳහා ඇති බුද්ධිමය හැකියාව නොමැති නිසා මිස ඔවුන් තම හිමිකම් ගැන නොතකන නිසා නොවේ.මේ අතර මිහිතලයේ වෙසෙන බුද්ධිමත්ම ජීවියා වන මිනිසාට බුද්ධියේ ආධිපත්‍යය හිමි කර ගත හැකි වුවත් ඔහුට කිසිදු බුද්ධියේ ඒකාධිකාරී බලය හෝ සර්වාධිපත්‍යය හිමි කර ගත නොහැකි බව ප්‍රකට විද්‍යාඥ වරියක වන මොනාෂ් විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ සංජානනය, පරිසර විද්‍යාව සහ ජෛව අනුප්‍රාණ පර්යේෂණ කණ්ඩායම්(ICEB ) ප්‍රධානී ආචාර්ය  ස්කාලට් හොවාඩ් ප්‍රකාශ කොට තිබේ.

ඇය වැඩිදුරටත් පවසනුයේ විවිධ සතුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සහජ බුද්ධිය ඇතැම් විට මිනිස් බුද්ධිය ද අතික්‍රමණය කරන අවස්ථා තිබෙන බව ය. එමෙන්ම මිනිසා බුද්ධිය වශයෙන් අර්ථ නිරූපණය වන වදන සකසා ගෙන ඇත්තේ මානව කේන්ද්‍රීය ද්‍රෂ්ටියකින් බව පවසන ස්කාලට් හොවාඩ් වැඩිදුරටත් අවධාරණය කරනුයේ එය විශ්වයටම පොදු ස්වභාවික යුක්තිය නම් මූලධර්මයට පටහැනි බවකි. එමෙන්ම මිනිසා සතු බුද්ධි පරිමාව ලොව අන් කිසිදු සත්වයකු සතුව නොමැති බව පැවසීම ස්වභාවික යුක්තිය පසදිලීම පිණිස ඉදිරිපත් කෙරෙන එක් සාක්ෂියක් මිස එහි අවසන් නිගමනය හෝ තීන්දුව නොවන බව ද ඇය පෙන්වා දෙයි.”සතුන්ටත් හොඳට ක්‍රියාත්මක වන මොළයක් තියනවා.ඒත් ඒක සත්ව මොළයක් මිසක් මිනිස් මොළයක් නෙවෙයි.ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ටික තේරුම් ගන්න වත් සමහර මිනිස්සුන්ට මොළයක් නැති කමයි” ඇය කියයි.

යම් කිසිවක් ආඝ්‍රාණය කොට ඒ ඔස්සේ එම ආඝ්‍රාණය හා සම්බන්ධ වෙනත් සාධකයක් වෙත යොමු වීම හෙවත් ‘ඉව’ සම්බන්ධයෙන් සුනඛාදීන් සතුන්ට ඇති හැකියාව ඔවුන් ගේ සහජ බුද්ධිය මත පදනම් වන්නක් බවත් එය ඔවුන් තම ජීවිතාරක්ෂක යෙදවුමක් ලෙස භාවිතා කරන බවත් ඇමටිකානු සුනඛ චර්යාවේදඥ කේපර් මිලන් ප්‍රකාශ කරයි.

සතුන් තුළ පවත්නා මෙම සහජ බුද්ධිය හා සම්බන්ධ විශේෂිතම තත්වය ලෙස සතුන් පරිසරය කෙරෙහි දක්වන සංවේදීතාවය විශේෂයෙන් හුවා දක්වන බොහෝ නූතන සත්ව විදාඥයන් පෙන්වා දෙනුයේ එම පරිසර සංවේදීතාව සම්බන්ධ සහජ බුද්ධිය අතින් ඇතැම් කෘමි සතුන් පවා මිනිසුන්ට වඩා ඉදිරියෙන් සිටින බවකි. තමන් ගේ ජීවිතාරක්ෂාව උදෙසා කාලගුණය,සම්බන්ධ සංවේදීතාව දිශානතිය හඳුනා ගැනීම ආදී වන සියලු හැකියාවන් ඔවුන් ගේ බුද්ධිමය පරිමාව තුළ පවතින බවත් එය මොළය හා කේන්ද්‍ර ගත වීම හෝ නොවීම ප්‍රශ්නයක් නොවන බවත් ඔව්හු පෙන්වා දෙයි.

එමෙන්ම පොදුවේ සෑම සත්වයකුම පාහේ ආහාර, වාසස්ථාන සහ ලිංගිකත්වය මුල් කොට ඇති කර ගන්නා මමායනය මුල් කොට ගත් මූලික චිත්තාවේග මත ඔවු`නොවුන් අතර ගැටුම් අරගල ඇති කර ගැනීම ද සතුන් තුළ පවත්නා මෙම සහජ බුද්ධිය විදහා දැක්වෙන අවස්ථාවක් බව සත්ව චර්යාවේදීහුවැඩිදුරටත් පෙන්වා දෙති.එහෙත්, මිනිස් බුද්ධියේ අග්‍රඵලයන් වන විචාරශීලීත්වය, නිර්මාණශීලීත්වය ,පරිකල්නය වැනි කුශලතාවයන් සත්ව බුද්ධිය තුළින් හුවා නොදැක්වීම මත ඔවුනට කිසිදා මිනිසාට අභියෝග කළ නොහැකි මුත් ඇතැම් විට ඉතා කලාතුරකින් සිදුවිය හැකි ජානමය විපරිනාමීය තත්වයන් යටතේ සත්ව බුද්ධි පරිමාවේ ද හැඩතල වෙනස් විය හැකි බව ද ඔව්හු අවධාරණය කරති.

එමෙන්ම මානව පරිනාමයේ දී ඉගැන්වෙන වානරයාගෙන් මිනිසා බිහි වූ බවට වන සිද්ධාන්තය සත්ව බුද්ධියට අදාල නොවන බවත් වානර කුලයට අයත් නොවන බොහෝ සත්ව කොට්ඨාශ බුද්ධි ඵලය අතින් ඊට ඉහළ තලයක පසුවන බව නූතන විද්‍යාඥයෝ අනාවරණය කරති.

දමයන්ති ගමගේ

ඉරා අදුරුපට