මිනීමැරුමක් නිසා ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක්

කැනඩාවේ අගමැතිවරයා ජස්ටින් ටෲඩෝ ය. ටෲඩෝ බොහෝ විට ලංකාවේ ද කතාබහට ලක්වන චරිතයකි. ප්‍රධාන වශයෙන්ම ඒ ඔහු ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන නිසා ය. ටෲඩෝ ලංකාවේ ජනවාර්ගික යුද්ධය ගැන කී කතාවක් නිසා මෙයට මාස කිහිපයකට පෙර ද මෙරට සමහරුන්ගේ බලවත් උදහසට ලක් විය. යුද්ධය අවසන්ව වසර 14 ක් පිරීම නිමිත්තෙන් පසුගිය මැයි මාසයේ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ යුද්ධයේ අවසන් භාගයේ දෙමළ සිවිල් වැසියන් ඉලක්ක කර මහා ජන සංහාරයක් දියත් වූ බවකි. එහි දී දස දහස් ගණනක් දෙමළ වැසියන් මරණයට පත් වූ බවත්, තවත් බොහෝ දෙනා අතුරුදන් වූ බවත්, තුවාල ලැබූවන් සහ අවතැන් වූවන් ද විශාල පිරිසක් සිටි බවත් ඔහු සඳහන් කර තිබිණි. ටෲඩෝ මෙවැනි ප්‍රකාශයක් කළේ ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදු වූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්‍ෂේප කිරීමට මෙරට රජයන් නිරන්තරයෙන් උත්සාහ ගනිමින් සිටින පසුබිමක ය. මෙම තත්ත්වය තුළ කැනඩා අගමැතිවරයාගේ ප්‍රකාශය ගැන බොහෝ පාර්ශ්වවල අප්‍රසාදය පළ වූ අතර ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ද මෙරට විදේශ අමාත්‍යංශයට සිදු විය.

කැනඩා අගමැතිවරයා දැන් නැවතත් මෙවැනිම ආන්දෝලනයක පැටලී සිටිනු දැකිය හැකි වේ. මෙවර ඔහු පැටලී සිටින්නේ අපේ අසල්වැසි ඉන්දියාව සමග යි. මෙම ආන්දෝලනය මතුව ඇත්තේ ඉන්දියාව සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් නිසා ය. මේ හේතුවෙන් මේ වනවිට ඉන්දියාව සහ කැනඩාව අතර උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් වර්ධනය වෙමින් තිබේ. මෙයට දින කිහිපයකට පෙර කැනඩාව එරට සිටි ඉන්දියානු තානාපති කාර්යාල නිලධාරියකු එරටින් නෙරපා හැරි අතර ඉන්දියාව ද ඊට එකට එක කරමින් කැන්ඩියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු රටින් නෙරපා හැරියේය. ඉන්දියාවේ සංචාරය කිරිමේ දී ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන මෙන් කැනඩාව සිය වැසියන්ට දන්වා තිබේ. කැනඩාවේ සංචාරය කරන තම රටවැසියන් වෙත ඉන්දියාව ද මේ වනවිට එබඳුම නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම ගැටුමට මුල් වූයේ කැනඩාවේ ජීවත් වූ සික් ජාතික දේශපාලන ක්‍රියාකාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියකි. කැනඩාවේ බි්‍රටිෂ් කොලම්බියා නැමැති පළාතේ සරේ නැමැති නගරයේ දී මෙම සික් ජාතිකයා ඝාතනය කරන ලද්දේ පසුගිය ජුනි 18 වැනි දින යි. හර්දීප් සිං නිජාර් නැමැති ඔහු ආගමික සිද්ධස්ථානයක රථගාලේ ඔහුගේ වාහනය තුළ සිටිය දී මුහුණු වසා ගත් තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි. නිජාර් ඝාතනය කිරීමත් සමග එරට සිටින සික් ජාතික කණ්ඩායම් ඊට එරෙහිව විරෝධතා දක්වන්නට ද පටන්ගෙන තිබිණි.

කෙසේ හෝ වේවා, ඉන්දියාව සහ කැනඩාව අතර දැන් ඇතිව තිබෙන ගැටුම ආරම්භ වූයේ මෙම ඝාතනය ගැන කැනඩා අගමැති ටෲඩෝ විසින් කරන ලද බරපතල ප්‍රකාශයක් නිසා ය. නිජාර් ඝාතනය ඉන්දියානු රජයේ ඒජන්තයන් විසින් සිදු කරන ලද්දක් විය හැකි බවට විශ්වාස කටයුතු තොරතුරු කැනේඩියානු බුද්ධි අංශ සතුව ඇතැයි ටෲඩෝ ප්‍රකාශ කළේය. මෙය ඉන්දියානු බලධාරීන් කෝප ගන්වන්නක් බවට පත්ව තිබිණි. ටෲඩෝගේ ප්‍රකාශය විකාර සහගත එකක් ලෙස හඳුන්වමින් වහාම එය ප්‍රතික්‍ෂේප කිරීමට ඉන්දියානු රජය පියවර ගත්තේය. කෙසේ නමුත් මේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව පුළුල් විමර්ශණයක් සිදු කරමින් සිටියි.

හර්දීප් සිං නිජාර් යනු සික් ජාතිකයන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීම සඳහා කලෙක සිට කෙරෙමින් ඇති බෙදුම්වාදී අරගලයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකි. කැනඩාව වැනි රටවල ද මෙම බෙදුම්වාදීහු කටයුතු කරමින් සිටිති. කැනඩාව සික් ජාතිකයන් විශාල වශයෙන් ජීවත් වන රටක් බව රහසක් නොවේ. ඉන්දියාවේ සික් ජාතිකයන් ජීවත්වන පන්ජාබ් ප්‍රාන්තයට පසු එම ජාතිකයන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ කැනඩාවේ බව සඳහන් ය. ඛාලිස්තානය නමින් වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමට මෙම බෙදුම්වාදීන් ගෙන යන ව්‍යාපාරයට ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ ඇතුළු බොහෝ පාර්ශ්ව දැඩි විරෝධයක් දක්වයි. නිජාර් ඝාතනයට ලක්වන්නේ එබඳු පසුබිමක් තුළ ය.

ඝාතනයට ලක් වූ නිජාර් ඉදිරියේ දී කැනඩාවේ සරේ නගරයේ ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටි බව සික් සංවිධාන පවසා තිබේ. ඒ වෙනම රාජ්‍යයකට සික් ජාතිකයන්ගේ කැමැත්ත අකැමැත්ත විමසා බැලීම සඳහා ය. තවත් රටවල් කිහිපයක ද එවැනි ජනමත විචාරණ පැවැත්වීමට ඔහු අදහස් කරගෙන සිටි බව සඳහන් වේ. නිජාර්ට එරෙහිව කාලයක සිටම ජීවිත තර්ජන එල්ල වෙමින් තිබූ බව ද මෙම සික් සංවිධාන සඳහන් කර තිබිණි.

කෙසේ හෝ වේවා, නිජාර්ගේ ඝාතනයත් සමග ඇතිව තිබෙන ඉන්දියා-කැනඩා ගැටුම දුරදිග යන ලකුණු මේ වනවිට පහළ වී තිබේ. දැන් කව්රුත් මහත් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ එය කොතනින් නතර වේවිද යන්න පිලිබඳව ය. මේ අතර ටෲඩෝ ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නිජාර් ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය රජයට එල්ල වන චෝදනා බැරෑරුම්ව ගන්නා ලෙස යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර